අරගලයට ප්‍රහාරයක්: කාන්තාවක් ඇතුළු 14 කට තුවාල

544

අරගලකරුවන් විසින් දින 104ක් තිස්සේ අත්පත්කර ගෙන සිටි ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය එහි පිවිසුම සහ ඒ අවට ප්‍රදේශය ඊයේ (22 දා) අලුයම ආරක්‍ෂක අංශ විසින් සිය පාලනයට ගැනීමට කටයුතු කරන ලදී.

අරගලයට ප්‍රහාරයක්: කාන්තාවක් ඇතුළු 14 කට තුවාල
ප්‍රහාරයට එරෙහිව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා – පිංතූරය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිය අරගලකරුවන්ට පහරදී ඔවුන් ඉවත් කර එම ස්ථානයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල සහ කූඩාරම් සියල්ලද කඩා ඉවත් කිරීමට ත්‍රිවිධ හමුදාව පොලිසිය ප්‍රමුඛ ආරක්‍ෂක අංශ පියවර ගත්හ.

අරගලයට ප්‍රහාරයක්: කාන්තාවක් ඇතුළු 14 කට තුවාල

මෙහිදී ආරක්‍ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් කාන්තාවක ඇතුළු අරගලකරුවෝ 14 දෙනෙක් තුවාල ලැබූහ. මෙම අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන් දසදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු කළහ.

කොළඹ කොටුව බාලදක්‍ෂ මාවතේ සහ ගාලුමුවදොර පිටියේ සිටින අරගලකරුවන් සහ කූඩාරම් ඉවත් කිරීමට ආරක්‍ෂක අංශ කටයුතු නොකළ අතර ඊයේ දහවල්වන විටත් තරුණ තරුණියෝ විශාල පිරිසක් එම භූමියේ රැඳී සිටියහ.

ඊයේ අලුයම 1.00ට පමණ ත්‍රිවිධ හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ගාලුමුවදොර පිහිටි ජනාධිති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වූහ.

එහිදී එම භූමියේ රැස්ව සිටි අරගලකරුවන් ආරක්‍ෂක අංශ වෙත දැඩි විරෝධයක් පළකළ අතර එම විරෝධය ගණනකට නොගත් ආරක්‍ෂක අංශ අරගලරකැවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළහ.

එහිදී අරගලකරුවන් සහ ආරක්‍ෂක අංශ අතර දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගතවිය. අරගලකරුවන් පිරිසක් ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක්වූ අතර නීතිඥවරු හා මාධ්‍යවේදීහු ද ඒ අතර වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන දොරටුව අවහිර කර දින 104ක් තිස්සේ ඉදිකර තිබූ අට්ටාලය ආරක්‍ෂක අංශ විසින් කඩා ඉවත් කළ අතර ඒ අවට ඉදිකර තිබූ තාවකාලික කුටි කූඩාරම් සියල්ලද ඉවත් කිරීමට ඔවුහු කටයුතු කළහ.

අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කළ ආරක්‍ෂක අංශ ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ගවල වැටවල් යොදා ඒවා අවහිර කර එහි පාලනය සියතට ගත්හ.

මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් මරදාන සහ කොටුව පොලිසිය වෙත රැගෙන ගිය අතර ඔවුන් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඊයේ දහවල් වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අවට ප්‍රදේශයේ දැඩි සාමකාමී තත්ත්වයක් පැවතිණි.

මේ අතර අරගලකරුවන්ට පහරදී ජනාධිපති ලේකම් කාර්යාලය අවට පරිශ්‍රයෙන් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කිරීමට එරෙහිව අරගලකරුවන් සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට රැස්වී සිය විරෝධතාව පළ කළහ.

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදී ඉවත් කිරීමට එරෙහිව මානව හිමහිකම් කොමිසම පරීක්‍ෂණයක් ආරම්භ කර තිබිණි.

මේ අතර මෙම ප්‍රහාරය හෙළාදකිමින් ඇමරිකාව, බි්‍රතාන්‍ය, ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද ට්විටර් පණිවිඩ නිකුත් කර තිබිණි.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දිවයින කළ විමසීමක දී වෙනසක තාරුණ්‍යයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර මෙසේ කියා සිටියේය.

තාවකාලිකව අපි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා අරගල භූමියෙන් අද ජූලි 22 වැනිදා පස්වරු 2.00ට ඉවත් වෙන බව ආරක්‍ෂක අංශ දැනුවත් කරලා තිබියදී රනිල් වික්‍රමසිංහ හමුදා භටයෝ දාහකට වැඩි පිරිසක් දම්මලා ගැහුවා. අරගලයේ යෙදුණු අපේ සියයකට වැඩි පිරිසක් තුවාල ලැබුවා. යැයි වෙනසක තාරුණ්‍යයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර “දිවයින”ට ඊයේ (22 වැනිදා) පැවැසීය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ගොස් පැමිණිලි කරන බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ ළහිරු වීරසේකර මෙසේද කීය.

අරගල භූමියේ කොල්ලන්ට, කෙල්ලන්ට හමුදාවේ භටයින් හා පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරීන් බිම දාගෙන තුවක්කු බටවලින් හා පොලු මුගුරුවලින් ගැහුවා තිරිසන් විදිහට. පිනා චාන්ස් එකක් වැදිච්ච රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදය මේකයි. නිරායුධ මිනිසුන්ටයි මේ අය ගැහුවේ. මේ රටේ ගෑස් නැහැ. ඉන්ධන නැහැ. පෝලිම් හැමතැනම. මිනිසුන්ට කන්න නැහැ. මේ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලලයි අපි විශේෂයෙන් අරගලය කළේ.

අපි ඊයේ ජූලි 21 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ බැනර්, කළුකොඩි සැරසිලි, පුස්තකාලය ඉවත් කළා. අපි අද 22 වැනිදා පස්වරු 2.00ට තාවකාලිකව අරගල භූමියෙන් ඉවත් වෙනවා කියලා ආරක්‍ෂක අංශ දැනුවත් කළා. එහෙම දැනුවත් කරලා තිබියදී තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ. අපි බැලුවේ රනිල් වික්‍රමසිංහ මාස තුනක් රට කරන හැටි බලලා තීරණයක් ගන්නයි.

මැයි 09 මහින්ද රාජපක්‍ෂ මැරයෝ දාලා ගෝඨාගෝගමට ගැහුවා. අද මහින්දලාව ආරක්‍ෂා කරන්න ආපු රනිල් වික්‍රමසිංහ හමුදා භටයෝ දම්මලා අරගලකරුවන්ට තිරිසන් විදිහට ගැහුවා.

හේමන්ත රන්දුණු, ප්‍රදීප් සමරකෝන්, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment