අනුර – දුමින්ද – වසන්ත යාපාත් කෝප් හැරයති

391

රෝහිතව දැම්මේ ‘ගේමට’ – අනුර කුමාර කියයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, දුමින්ද දිසානායක සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරු ද ඊයේ (20දා) ඉල්ලා අස්වූහ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සේවය කිරීමට ඉහත මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පත් කළ බව නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට ඊයේ (20) උදෑසන දැනුම් දුන් අතර මන්ත්‍රීවරයා එම මොහොතේදීම ඉන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කථානායක නිවේදන යටතේ අදාළ පත් කිරීම සිදු කළ බව නිවේදනය කළ අතර ඒ සමගම වහාම නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මහතා තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව වාචිකව ප්‍රකාශ කළ අතර ඊට අදාළ ඉල්ලා අස්වීම ලිඛිතව ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

එහි සභාපති ධුරය විපක්ෂයට ලැබිය යුතු බව තම මතය යැයිද හෙතෙම කීය. මේ අතර කෝප් කමිටුවෙන් ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරු ද ඉල්ලා අස්වන බව පසුව ප්‍රකාශයට පත් කළහ.

ආණ්ඩුව විසින් රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටු සභාපති ලෙස පත් කරන ලද්දේ හිටපු සභාපති රංජිත් බණ්ඩාර එපා නම් රෝහිතව දානවා කියන ‘ගේමට ගේම’ යන ස්ථාවරයෙන් බව අනුර කුමාර මහතා සිය ඉල්ලා අස්වීම ගැන කියමින් පැවසීය. රෝහිත ගැන තිබෙන සමාජ මතය ගැන සලකලා ඔහු සභාපති දරන කෝප් කමිටුවේ වාඩි වීම සුදුසු නැති බව තම විශ්වාසය යැයි ද හෙතෙම වැඩිදුරටත් කීය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 30ක් වන අතර ඉන් 10 දෙනකු මේ වනවිට ඉල්ලා අස්වී තිබේ. ගාමිණී වලේබොඩ, ෂානක්කියන් රාසමාණික්කම්, ඉරාන් වික්‍රමරත්න, හේෂා විතානගේ, එස්. එම්. මරික්කාර්, චරිත හේරත්, දයාසිරි ජයසේකර මින් පෙර ඉල්ලා අස්වූ මන්ත්‍රීවරුය.

මේ අතර නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ ආරම්භයත් සමග පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පෙරේදා (19) පළමුවරට නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විණ.

කෙසේ වෙතත් සෙසු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැති කෝප් කමිටු රැස්වීමේදී රාජ්‍ය වැවිලි සංස්ථාවේ කටයුතු පිළිබඳව සාකච්ඡාවට ගැනුණු අතර අද (21දා) දින ලංකා විදුලිබල මණ්ඩලය කැඳවා ඇත.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment