රාජගිරියේ ඝාතන නඩුවේ විත්තිකරු වසර 24කට පසු නිදොස් කොට නිදහස්

1443

ආර්.එම්.වී. එකෙන් තොරතුරු ගත්තේ ඉරිදා බව නිලධාරියා කියයි

මනුෂ්‍ය ඝාතනයක් සඳහා යොදාගත් ත්‍රීරෝද රථයේ හිමිකරු පිළිබඳ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් ලබාගන්නේ එම කාර්යාලය වසා තිබූ ඉරිදා දිනයක බවට විමර්ශන සිදුකළ පොලිස් පරීක්ෂකවරයා විත්තියේ නීතිඥවරයාගේ හරස් ප්‍රශ්නවල දී ප්‍රකාශ කිරීම නිසා මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක විත්තිකරුවකු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියෝග කළේය.

සිද්ධිය සිදුවී වසර 24කට පසුව එලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ ලියාස් මුතුවෙල් නමැත්තෙකි. 1999.09.18 වැනිදා රාජගිරියේ දී සිල්වන් රාජේශ්වරි අම්මාල් නමැති කාන්තාව ඝාතනය කිරීම හා ඇගේ රන් ආභරණ ඇතුළු දේපොළ කොල්ලකෑම ඇතුළු චෝදනා යටතේ එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

එම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස පෞද්ගලික බස්රථ රියැදුරකු හා කොන්දොස්තරවරයකු නම් කර තිබූ අතර ඔවුන් එදින අලුයම එම පෞද්ගලික බස් රථයෙන් ගමන් කරමින් සිටිය දී වෙල්යායක් අසල දී යම්කිසි පුද්ගලයකු කාන්තාවක ඇදගෙන යන අයුරු සහ පසුව ත්‍රීරෝද රථයකින් පලායන අයුරු දැක ත්‍රීරෝද රථයේ අංකය බස් ටිකට්ටුවක ලියා පොලිසියට භාර දී තිබූ බව පැමිණිල්ලෙන් කියැවිණි.

තමා පසු දිනම නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් එකී ත්‍රීරෝද රථය පිළිබඳ හා හිමිකරු පිළිබඳ තොරතුරු ලබාගෙන විත්තිකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන සිදුකළ පොලිස් පරීක්ෂක අබේරත්න මහතා සාක්ෂි දෙමින් පවසා තිබිණි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතා 1999 වසරේ දින දර්ශනය එම සාක්ෂිකරුට ඉදිරිපත් කරමින් ඔහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගොස් ඇත්තේ එය වසා තිබූ ඉරිදා දිනයක බව පෙන්වා දී නැඟූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිව නිරුත්තර වීම මෙන්ම මරණකාරිය ඇදගෙන යනු ලැබුවේ එම විත්තිකරුම බවට බස්රථ රියැදුරුගේ හෝ කොන්දොස්තරවරයාගේ සාක්ෂි මගින් නිශ්චිතව අනාවරණය නොවීම මත විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.

එම ඝාතනය සඳහා භාවිත කළ ත්‍රීරෝද රථය වැල්ලම්පිටිය පොලිස් වසමේ දමා ගොස් තිබිය දී සොයාගෙන තිබූ අතර පිහිය කලපළුවාව වෙල්යායක තිබී සොයාගෙන තිබිණි. මරණකාරියගේ රන් ආභරණ බොරැල්ල ටිකල් පාරේ පිහිටි කොට්ටන් ගසක් යට වළලා තිබියදීත් ඇය පැලඳ සිටි රන් මාලය සහ තැල්ල උකස් මධ්‍යස්ථානයකට උකස් තබා තිබිය දී සොයාගත් බවද පැමිණිල්ලෙන් කියැවිණි.

19 වැනි දින ත්‍රිරෝද රථය පිළිබඳ තොරතුරු ලබාගෙන පසුදින සිය පෞද්ගලික ඔත්තුකරුවකු වන බස්රථ රියැදුරු ගෙන් ප්‍රකාශ සටහන් කළේ නම් නිවසක මෙහෙකාරියක ලෙස සේවය කළ එම මරණකාරියගේ ඝාතකයා ලෙස හඳුනාගත් මරදාන ප්‍රදේශයේ පදිංචි විත්තිකරු අත්අඩංගුවට ගැනීමට 21 වැනි දින දක්වා කල්ගත කළේ ඇයි දැයි විත්තියේ නීතිඥවරයා නැඟූ හරස් ප්‍රශ්නයට ද එම විමර්ශන නිලධාරියා නිරුත්තරව සිට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment