ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය බෙල්ලන සේවක අඩස්සියට!

311

පොලිස් ආරක්‍ෂාව යටතේ එළියට

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය භාවිතා කර රාජකාරියේ යෙදෙන බවට කළ හෙළිදරව්වට විරෝධය පළ කරමින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්‍ෂාන් බෙල්ලන මහතාගේ නිල කාමරය වටකරගත් සුළු සේවකයන් තුන්සියයක් පමණ ඊයේ (19 වැනිදා) විරෝධතාවක නිරත වීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

බෙල්ලන මහතාට සිය නිල කාමරයෙන් පිටතට යෑමට ඉඩ නොදී පැය හතරක් පමණ තිස්සේ එහි සිරකර තබාගැනීමට ජාතික රෝහලේ සුළු සේවකයෝ පිරිසක් කටයුතු කළහ.

පසුව විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යටතේ රෝහලින් එළියට ගත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව මරදාන පොලිසිය වෙත රැගෙන ගොස් ඇත.

පැය 4ක පමණ කාලයක් ඔහු කාමරයේ හිරකරගෙන සිටි අතර ඔහු සවස පහට පමණ පොලිසිය විසින් රැගෙන යන ලදි.

ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය බෙල්ලන සේවක අඩස්සියට!

මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් එහි පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර එහි ඇති වී තිබූ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළහ.

ජාතික රෝහලේ සේවය කරන සුළු සේවකයන්ගෙන් වැඩි පිරිසක් රාජකාරි කාලය තුළ මත්ද්‍රව්‍ය පානය කරන බවත් තවත් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවත් රුක්‍ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබිණි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ සේවකයන් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන ඇතුළු වටිනා දේ සොරා ගන්නා බවද ඒ මහතා හෙළිකර තිබිණි. රාජකාරියේ යෙදී සිටින සුළු සේවකයන් මත්ද්‍රව්‍ය පානය කරන ආකාරය දැක්වෙන වීඩියෝපට පවා මාධ්‍ය වෙත ලබා දීමට බෙල්ලන මහතා කටයුතු කර තිබිණි.

රෝහලේ විරෝධය දැක්වූ සුළු සේවකයන් පවසන්නේ අස්ථාන චෝදනා එල්ල කරන වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ඉවත් කළ යුතු බවයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment