ගිය වසරේ සිට මේ දක්වා ළමා ලාදුරු රෝගීන් 250 ක් – විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර

213

මෙරට ළමා ලාදුරු රෝගීන්ගේ වාර්තාවීම මේ වසරේ දී ඉහළ අගයක් ගෙන ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. පසුගිය වසරේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළදී මෙරටින් ළමා ලාදුරු රෝගීන් දෙසියපනස් දෙනකු පමණ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි එම ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි. සෑම වසරකදීම මෙරටින් ලාදුරු රෝගීන් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තාවන අතර ඉකුත් වසර තුනක කාලසීමාවේදී එය අඩු අගයක් සටහන් වූ බවත් හෙතෙම කීවේය. 2021 වසරේදී ලාදුරු රෝගීන් 1036 ක් වාර්තා වූ බවත් මේ වසරේ මේ වනවිට වැඩිහිටි ලාදුරු රෝගීන්ගේ වාර්තාවීම 800 කට ආසන්න බවත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා – 2021 සහ 2022 මේ දක්වා වයස අවුරුදු 14 ට අඩු ළමා ලාදුරු රෝගීන් 250 ක් පමණ අපේ රට තුළ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. වැඩිහිටි ලාදුරු රෝගීන්ගේ වැඩි වාර්තාවීමක් පෙන්නුම් කර තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්. පසුගිය වසර 03 ක කාලය තුළ ලාදුරු රෝගීන් හඳුනාගැනීමේ යම් අඩුවක් වාර්තා වුණේ කොවිඩ් තත්ත්වය නිසා.

නමුත් අපි ජනතාවගෙන් මේ මොහොතේ ඉල්ලා සිටිනවා ලාදුරු රෝගය ඇතිවීමේ මූලික ලක්‍ෂණ වන සමේ පැහැයට වඩා අඩු පැහැයෙන් යුතු ලප හෝ එම ලපවල දැනීමේ අඩුවක් ඇත්නම් අතපය හිරිවැටීමේ තත්ත්වයක් ඇත්නම් එම දරුවන්ව ආසන්නම රෝහලේ සමේ රෝග සායනයට පැමිණ වෛද්‍ය පරීක්‍ෂණයන්ට යොමුකරන්න කියලා. නමුත් ඔබට ලාදුරු රෝගය වැළඳී ඇත්නම් බියවීමට විශාල කරුණක් නැහැ. ප්‍රතිකාර මගින් ලාදුරු නිට්ටාවට සුව කළ හැකියි.

වැදගත්ම කරුණ ලාදුරු රෝගියකු සතියක් පමණ නියමිත ඖෂධ ලබාගත් පසු ඔහුගෙන් මෙම රෝගය තවකෙකුට බෝ නොවීමයි.
සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment