රණසිංහ ප්‍රේමදාස ජනතා හදවත් තේරුම්ගත් ජන ප්‍රසාදය ඉහළින්ම ලැබූ විශිෂ්ට නායකයෙක් – නියංගොඩ විජිතසිරි අනුනාහිමි

177

රණසිංහ ප්‍රේමදාස 30 වන ගුණානුස්මරණය

රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා එතුමාගේ දේශපාලන කාලවකවානුවේදී ජනතා ප්‍රසාදය දිනාගනිමින් ජාතික, ආගමික, සමාජයීය, සංස්කෘතික මෙන්ම ආර්ථික සේවාවන් රාශියක් අප රට වෙනුවෙන් සිද්ධ කිරීමට තරම් වාසනාවන්ත වූ බව ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වන ගුණානුස්මරණය පැවැති ඊයේ (01 දා) අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ඒ වගේම රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා ජනතාවගේ හදවත් තේරුම්ගෙන තිබුණා. ජනතාවගේ ආකල්ප තේරුම්ගෙන තිබුණා. පොදු මහජනතාවට බලපාන විවිධාකාර දුෂ්කරතාවයන් පිළිබඳව ජීවිතයෙහි විවිධ පැතිකඩයන් පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. තමන් ලද ජීවිත පරිඥානය අනුවත්, තමන් නායකයකු වශයෙන් සිදුකරන කල්පනාව අනුවත් වර්තමානය දක්වාම ආර්ථික ක්‍ෂේත්‍රයේ ඇඟලුම් කර්මාන්ත ආදිය සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට තේරුම් ගැනීමට හැකියාව ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ. එනිසාම එතුමා රටට දැයට සමයට සිදුකළ සේවාවන් කෘතවේදීව අගය කිරීම යුතුකමක් සහ වගකීමක් බව ද පැවසූහ.

30 වසරක, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගුණානුස්මරණය සනිටුහන් වන මේ මොහොතේ, එතුමාට කළ හැකි ඉහළම කෙළෙහිගුණය වන්නේ වැටී තිබෙන ප්‍රපාතයෙන්, අගාධයෙන් මේ රට ගොඩනැඟීම බව සමගි ජන බලවේගයේ නායක, විපක්‍ෂ නායක, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රට භාර ගන්නකොට දෙපැත්ත පත්තුවෙන විලක්කුවක්. ත්‍රස්තවාදී යුද්ධ දෙකක් තිබියදී මේ රට ශක්තිමත් කරන්නට කර්මාන්ත දියත් කළා. දුප්පත්කම තුරන් කරන්න ජනසවියත්, ලක්‍ෂ 43 කට නිල ඇඳුම් සහ දිවා ආහාර වගේම නව තාක්‍ෂණය තුළින් නව කර්මාන්ත තුළින් දැවැන්ත විප්ලවයක් ඇති කළා. ඒ වගේම කෘෂිකර්මාන්තය, ස්වයං රැකියා, සංචාරක කර්මාන්තය, රබර්, පොල්, අපනයන භෝග ආර්ථිකයක් ඇතිකරන්නට යුහුසුළුව කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.

ඒ නිසා මේ මොහොතේ අප එකාමෙන් එකට එකතුවී ලක්‍ෂ 220 කගේ ශක්තිය ජාතික ශක්තිය බවට පත්කරමින් වෙනස්කම් නැති, කොටස්කිරිලි නැති, කොන්කිරිලි නැති මුළුමහත් ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ හැරවුම්ලක්‍ෂ්‍යය රණසිංහ ප්‍රේමදාස නාමයෙන් ප්‍රවේශ වීමට අදිටන් කර ගනිමු යැයි ඒ මහතා කීවේය.

මෙම අවස්ථාවට කොළඹ විශ්වවිiාලයේ කුලපති අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන්, හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment