ගබ්සා කිරීම් සම්බන්ධයෙන් පවතින නීති කාන්තාවන්ට සාධාරණය ඉටුවන ලෙස වෙනස් විය යුතුයි

188

ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමන්

ගබ්සා කිරීම් සම්බන්ධයෙන් පවතින නීති කාන්තාවන්ට සාධාරණය ඉටුවන ලෙස වහා වෙනස් කළ යුතු යැයි ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කළේය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පසුගියදා එම අදහස් පළ කළේ කාන්තා කටයුතු, ළමා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳව අදහස් දක්වමින්ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ජීවන් තොණ්ඩමන් මහතා මෙසේද කීය.

මෙම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේදී කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසනය දැඩි ලෙස සාකච්ඡා වුණා. අවාසනාවකට, මගේ සහෝදර මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් විසඳුම් යෝජනා කරනවා වෙනුවට කළේ තත්ත්වය දේශපාලනීකරණය කිරීම පමණයි. එය කණගාටුදායකයි. ස්ත්‍රී දූෂණය දේශපාලනීකරණය කිරීමෙන් සිදු වන්නේ ඊට තුඩුදෙන තත්ත්වයන් පාලනය කිරීම නොවෙයි. ඊට විසඳුම නම් එය විසඳීමට නිශ්චිත පියවර

ගැනීමයි. ඒ නිසයි මේ සම්බන්ධයෙන් අපි හඬ නගන්නේ. ළමුන් සහ තරුණ වැඩිහිටියන් සඳහා ලිංගික අධ්‍යාපනය ලබාදීම තුළ ඔවුන්ට ඒ පිළිබඳ දැනුවත් තීරණ ගැනීමට අවස්ථාව ලබාදිය හැකියි. ඒ වගේම ගබ්සාව සම්බන්ධයෙන් ඇති අපරාධ නීතිය ඉවත් කිරීම වැදගත් කටයුත්තක්. මොකද කාන්තාවන්ට තම සිරුර සම්බන්ධයෙන් තීරණ ගැනීමට බලය ඔවුන්ට ලැබෙන පරිදි නීති වෙනස් විය යුතුයි. දිනකට අනාරක්ෂිත ගබ්සා කිරීම් 650ක් පමණ සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා පෙන්වා දෙනවා. ඇත්තටම ඉන් අදහස් කරන්නේ අපගේ පවතින නීති සෑම වසරකම කාන්තාවන් 250,000කගේ ජීවිත අවදානමට ලක් කරන බව නොවේද?

කාන්තාවන් සහ ළමුන් සඳහා අධිකරණ ආරක්ෂාව වැඩි කිරීම තවදුරටත් සිදුකළ යුතුයි. ඒ තුළ ඔවුන්ගේ ආරක්ෂාව තවදුරටත් වැඩි කිරීමට ලක් කළ හැකියි. ස්ත්‍රී දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාළ නඩු ඉක්මනින් විසඳීමටත් වහා කටයුතු කළ යුතු වෙනවා. සාමාන්‍ය ළමා දූෂණ නඩුවක් විසඳීමට වසර 7-10 ක් ගතවන බව සඳහන්. ඒ තුළින් වින්දිතයන් කිසිදු සාධාරණයක් නොමැතිව තව තවත් බලපෑමකට ලක්වෙනවා. කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ලිංගික හිංසනයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛන තැතිගන්වන සුළු බව සඳහන් කළ යුතුමයි. සෑම පැය 2 කට වරක් දරුවෙකු ලිංගික අතවරයට ලක්වන බව වාර්තා වෙනවා. එසේම සෑම විනාඩි 90 කට වරක් කාන්තාවක් දූෂණය වන බවත් එම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. තවත් වැදගත් කරුණක් වන්නේ මෙරට ඝාතනය කරන ලද කාන්තාවන්ගෙන් 62% ක් සමීප සහකරුවෙකු, හිටපු සහකරුවෙකු හෝ පවුලේ සාමාජිකයෙකු විසින් සිදුකර ඇති බවයි.

තවත් වැදගත් කරුණක් මෙහිදී පෙන්වා දෙන්න කැමතියි. 2013 ශ්‍රී ලංකාවේ පිරිමි ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමීක්ෂණයකින් සිදුකර තිබෙනවා. එහිදී සම්මුඛ පරීක්ෂණයට ලක් වූ පිරිමින්ගෙන් 15% ක් අවම වශයෙන් එක් වරක් හෝ දූෂණය කළ බව පිළිගත් බවයි. ස්ත්‍රී දූෂණය පිළිගත් බහුතරයක් ඔවුන් එසේ කළේ ඔවුන්ට හිමිකම නිසා බවත් එම වාර්තාවේ සඳහන්. ඒ වගේම තවත් වැදගත් කරුණක් වන්නේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 20% ක් විනෝදය සඳහා හෝ කම්මැලිකම නිසා දූෂණය කළ බව පිළිගෙන ඇති බවයි.

මේ රටේ, පීඩකයන් ආරක්ෂා කිරීමේ ඉතිහාසයක් තිබෙන්නේ. ස්ත්‍රී දූෂණ හෝ ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ද එය බොහෝ දුරට සමාන යි. එහිදී පොලිසිය වින්දිතයින්ට වඩා ස්ත්‍රී දූෂකයන් සමඟ වැඩි අනුකම්පාවක් දැක්වීමට නැඹුරු වෙනවා. මම සඳහන් කළ ඉහත අධ්‍යයනයේ දී ස්ත්‍රී දූෂණ කළ බව පිළිගත් අයගෙන් 3% ක් පමණක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. එය කම්පන සහගත තත්ත්වයක්. තවද, 2021 කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකට අනුව, 2013-2017 අතර ඝාතනය වූ කාන්තාවන් සම්බන්ධ සිද්ධීන්වලින් අවසන් වී ඇත්තේ 5%ක් පමණක් බව සඳහන්. ඇත්තටම මෙම සංඛ්‍යා ලේඛන පිළිබඳ අප ලැජ්ජාවට පත්විය යුතුයි. අපගේ කාන්තාවන්ට සහ ළමයින්ට සුරක්ෂිත සහ වඩා සාධාරණ රටක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිසංස්කරණවලට සහාය වීමට මා කැපවී සිටින්නේ එබැවින්.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment