දුමින්ද නාගමුව ඇතුළු තිදෙනෙක් යළි රිමාන්ඩ් 5 දෙනකුට ඇප

115

පසුගිය 20 වැනිදා පස්වරුවේ කොළඹදී ජන අරගල ව්‍යාපාරයෙන් පැවැති විරෝධතා ව්‍යාපාරයකදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පෙරමුණේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හිමියන් ලබන 03 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27දා) නියෝග කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් වී නොමැති බවත් එම විරෝධතාවය ආවරණය කළ විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් සංස්කරණය නොකළ දර්ශන ලබාගෙන තවදුරටත් විමර්ශන සිදුකළ යුතුව ඇති බවටත් කියමින් පොලිසිය කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. පොලිසිය ඉල්ලා සිටින වීඩියෝ දර්ශන ලබාදෙන ලෙසටද එහිදී රූපවාහිනී මාධ්‍ය කිහිපයකට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා යොමුකර රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි සෙසු සැකකරුවන් පස්දෙනා රුපියල් ලක්‍ෂය බැගින්වූ ශරීර ඇප මත මුදාහැරීමටද නියෝග කළේය. ඊයේ (27දා) පැවැත්වීමට නියමිතව තිබූ එම සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කිරීමටද අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

එම ජනඅරගල විරෝධතාවේදී 33 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් 24 දෙනකුට පසු දිනම ඇප ලැබුණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment