බේරේ වැව පිරිසිදු කරන ව්‍යාපෘතියට අවසර ගෙන නෑ – පරිසරවේදීහු කියති

168

බේරේ වැව පිරිසිදු කිරීම සඳහා විදේශ ආධාර මත ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ව්‍යාපෘතියක් අද (07) ආරම්භ කිරීමට නියමිත නමුත්, මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පාරිසරික ආයතනවල අනුමැතිය ලබාගෙන නොමැති බව පරිසරවේදීහු කියා සිටිති.

බේරේ වැවේ දූෂණය අවම කිරීම සඳහා යම් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩයක සහාය ලබා ගැනීමට මෙම ව්‍යාපෘතියේදී බලාපොරොත්තු වන බවට තොරතුරු ඇති බවත්, එසේ නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය හා අධීක්ෂණය අවශ්‍ය බවත් පවසන එකී පරිසරවේදීන් කියා සිටින්නේ එවන් අවසරයක් හෝ දැනුවත් කිරීමක් තවමත් මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කර නොමැති බව තමන් අධ්‍යයනය කර ඇති බවයි.

මේ පිළිබඳව අප පරිසර අමාත්‍යංශයේ හා මධ්‍යම පරිසර අධිකාරියේ උසස් නිලධාරීන්ගෙන් කළ විමසීමේදී ඔවුන් කියා සිටියේ එවන් ව්‍යාපෘතියක් පිළිබඳව තමන් හරි හැටි නොදන්නා බවයි.

ජලයේ දූෂණය අවම කිරීම සඳහා යම් ක්ෂුද්‍ර ජීවියකු නිදහස් කරන්නේ නම් එම ක්ෂුද්‍ර ජීවීන් කවුරුන්ද යන්න හා මෙය කුමන ආකාරයේ ව්‍යාපෘතියක් ද යන්න අදාළ ආයතන දැනුවත් විය යුතුව ඇතැයි ද පරිසරවේදීහු කියා සිටිති.
ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment