සිව් හැවිරිදි දරුවා බලා සිටියදීම දෙමාපියන් මැරූ දෙදෙනාට වසර හතළිස්පහක සිරදඬුවම්

1123

දඩ හා වන්දි ගෙවීමටත් නියෝග

පවුල් ආරවුලක් මත වසර 13කට පෙර කතරගම දේවාලේගමදී වයස අවුරුදු 04ක දරුවා බලා සිටියදීම මවට හා පියාට පොලුවලින් පහරදී පිහියකින් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියකට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනකුට රුපියල් 30000ක දඩ මුදලක් හා පිළිවෙළින් වසර 15 ක හා වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් හම්බන්තොට මහාධිකරණය පෙරේදා (05) සවස නියම කෙරුණි.

මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ කතරගම පෙරගිරිගම පදිංචි 65 හැවිරිදි තිදරු පියකු වූ දියුණුගලගේ තිලකරත්න හා ඔහුගේ වගාවක සේවකයකු ලෙස කටයුතු කළ 39 හැවිරිදි වික්‍රමආරච්චිගේ සුමින්ද කුමාර නමැති අවිවාහක පුද්ගලයෙකුටය.

චූදිතයන් දෙදෙනා 2010 අගෝස්තු මස 23 වන දින කතරගම දේවාලේගමදී පවුල් ආරවුලක් දුරදිග ගොස් කතරගම පෙරගිරිගම පදිංචි පානමුල්ල ආරච්චිගේ කීර්ති කුමාර (සැමියා) හා දේවාලේගම බඩල්ගේ ශිරෝමි (බිරිඳ) දෙපළට සිය වයස අවුරුදු 04ක දරුවා බලා සිටියදීම පොලුවලින් පහරදී පිහියකින් ඇණ ඝාතනය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කතරගම පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී තිබුණේ පවුල් ආරවුලක් දුරදිග ගොස් මෙම මිනීමැරුම සිදුව තිබූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් 2018.02.06 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා දෙකක් යටතේ චූදිතයන් දෙදෙනාට එරෙහිව නඩු පවරන ලදී. ඒ අනුව පැවති නඩු විභාගය අතරතුරදී චූදිතයන් දෙදෙනා විවෘත අධිකරණයේදී අදාළ චෝදනාවන් සඳහා වරද පිළිගනු ලැබීය. ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චූදිතයන්ට ඉහත අයුරින් දඬුවම් නියම කෙරුණි.
මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment