උණවටුණ හෝටලයකදී රුසියානුවන්ගෙන් ලක්‍ෂ 57ක විදෙස් මුදල් උස්සලා

99

හිමිකරු- කළමනාකරු ඇතුළු 4 දෙනෙක් අත්අඩංගුවට

උණවටුණ, යද්දෙහිමුල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයින් තිදෙනකුගේ රුපියල් ලක්ෂ 57ක් පමණ වටිනා විදේශ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනකු ඊයේ (18 දා) අත්අඩංගුවට ගත් බැව් හබරාදුව පොලිසිය පවසයි.

මෙකී රුසියානු ජාතිකයින් තිදෙනා මෙම හෝටලයේ කාමර මුදල් ගෙවා ලබා ගෙන නතර වී සිට ඇත. මෙකී හෝටලයේ විදේශීය ජාතිකයින්ගේ මුදල් සුරක්ෂිතව තබන සේප්පුවේ එක් යතුරක් නවාතැන් ගෙන සිටි විදේශිකයින්ට ලබා දී ඇත. අමතර යතුර හෝටලයේ හිමිකරු හෝ කළමනාකරු භාරයේ තිබී ඇත. හෝටලයේ නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයින් තිදෙනාගේ සේප්පුවේ තිබූ මුදල් ඉකුත් 01 වැනිදා සොරකම් කර තිබුණි.

එක් රුසියානු ජාතිකයකුගේ ඇමරිකානු ඩොලර් 10000ක්, සහ අනික් රුසියානු ජාතිකයාගේ ඇමරිකානු ඩොලර් 2800ක් සහ රුසියන් රූබල් 95000ක් සොරකම් කර තිබුණි. අනික් රුසියානු ජාතිකයාට අයත් ඇමරිකානු ඩොලර් 3300ක්, යුරෝ 200ක්, රුසියන් රූබල් 100000ක විදේශ මුදල් සොරකම් කොට තිබුණි. මේ පිළිබඳ උනවටුණ සංචාරක පොලිස් මුරපොළ මගින් විශේෂ විමර්ශනයක් සිදුකොට මෙකී මුදල් සොරකමට සැකපිට හෝටලයේ හිමිකරු සහ කළමනාකරු වන හෝටල් හිමියගේ පුතු මෙන්ම හෝටලයේ සේවකයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බැව් හබරාදුව පොලිසිය පවසයි.

සැකකරුවන් සිව් දෙනා ඊයේ (18 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි- ගාල්ල, හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment