ලිංගික නීති ගැන සජිත්ගේ කතාව ඇමැති ප්‍රසන්නගේ අවධානයට

106

දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධන මගින් ලිංගික සේවනයේ යෙදිය හැකි ගැහැනු දරුවන්ගේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට හා පිරිමි වරදකරුවකුගේ වයස අවුරුදු 22ට අඩු නම් දඬුවම් ලිහිල් කිරීම පිළිබඳ යෝජනාවක් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණ ඇමැතිවරයාග් අවධානයට යොමු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) දින නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇති වූ සංවාදය මෙසේයි.

සජිත් ප්‍රේමදාස මහතා-

2024 පෙබරවාරි 13 දින ප්‍රකාශයට පත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 වගන්තියේ 19 වන පරිච්ඡේදයේ සංශෝධනය කිරීම පිළිබඳ පනත් කෙටුම්පත මම ප්‍රසන්න රණතුංග ඇමැතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. මේ පනත් කෙටුම්පත හරහා ලිංගික සේවනයට බාල වයස්කාර ගැහැනු දරුවන්ගේ වයස අවුරුදු 16 සිට 14 දක්වා අඩු කිරීම, ඒ වගේම පිරිමි වරදකරුවකුට අවුරුදු 22 ට අඩු නම් දඬුවම් ලිහිල් කිරීම, ඒ වගේම 363 දණ්ඩ නීති සංග්‍රහයේ පිරිමි සහ ස්ත්‍රී දූෂණය එකට දානවා වෙනුවට ස්ත්‍රී දූෂණය වෙනුවෙන් වෙනම අණපනත් සහ පිරිමින්ට තිබිය යුතු ඒවා වෙනම සංශෝධන හරහා ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත් කරුණු හැටියට ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට මම යොමු කරනවා. ඒ වගේම මම රජයෙන් ඉල්ලීමක් කරනවා මේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 හා 364 වගන්ති ඉවත් කර ගන්නා ලෙස. ළමා, කාන්තා ඒ වගේම පුරුෂ පක්ෂයේ අපි හැමෝගෙම අයිතීන් සුරක්ෂිත කරන්න.

ප්‍රසන්න රණතුංග මහතා –

එතුමාගේ ඉදිරිපත් කිරීම මම අධිකරණ ඇමැතිතුමාගේ අවධානයට යොමු කරනවා. මම දන්නේ නැහැ ඒක විපක්ෂයේම මතය ද කියලා. මොකද ජනතා විමුක්ති පෙරමුණ ගණිකා වෘත්තිය නීතිගත කරන්න හදන නිසා ඒ අය ඒකට ප්‍රතිචාරය දෙන්නේ කොහොමද දන්නේ නැහැ. මේක සංකීර්ණ ගැටලුවක්. මෙය සාකච්ඡා කළ යුතු දෙයක්. එම නිසා එය කරන්න ඕන. ඒකට කතා දෙකක් නැහැ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment