බිඳ වැටුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩගන්න ජපානයේ පූර්ණ සහාය – ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි

76

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය නිතැතින්ම හිමිවන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා සඳහන් කළේය.

ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ශ්‍රී ලංකාව ජපානයෙන් උගත යුතු ආර්ථික සංවර්ධනය හා නවීකරණය පිළිබඳ පාඩම්’ යන මැයෙන් ජාත්‍යන්තර පර්යේෂණ පදනම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 21 දා කොළඹ ග්‍රැන්බෙල් හෝටලයේ දී සංවිධානය කර තිබූ විද්වත් කතිකාවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

“Geopolitical Cartographer” යනු ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂිත අවධානයක් යොමු කරනු ලබන ජාත්‍යන්තර පර්යේෂණ පදනමක් වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘවරයා වෙයි.

ගෝලීය දේශපාලන පිළිවෙළ ප්‍රතිනිර්මාණය කරනු ලබන ඉන්දියන් සාගරය, පැසිෆික් සාගරය සහ ඒ හා සම්බන්ධිත රාජ්‍යයන්හි භූ දේශපාලනික, භූ ආර්ථික සහ සමුද්‍රීය කටයුතු වර්ධනයන් පිළිබඳ අධ්‍යයනය කිරීම, පර්යේෂණ සහ විශ්ලේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම ‘Geopolitical Cartographer’ හි අරමුණයි.

මෙහිදී සිය දේශනය පවත්වමින් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානයට ජාත්‍යන්තර වශයෙන් මුහුණ දීමට සිදුවූ අභියෝගකාරී තත්ත්වය පිළිබඳ සිහිපත් කළ තානාපතිවරයා සමස්ත ලෝකයම ජපානයට එරෙහිව නැගී සිටියදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එදා සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවට සහභාගී වූ දිවංගත හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය නිසා පශ්චාත් යුද සමය තුළ ජපානයට නැවත ජාත්‍යන්තර ප්‍රජාවට ඒකාබද්ධ වීමට මාර්ගය සකසා දුන් බව කෘතවේදීව සිහිපත් කළේය. එලෙස හිමිවූ අවස්ථාව ජපානය සිය රටේ ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් භාවිතා කළ බවද ඔහු සඳහන් කළේය.

බිඳ වැටුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩගන්න ජපානයේ පූර්ණ සහාය - ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි

වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කැප වී සිටින ශ්‍රී ලංකාවට, ජපානය ආදර්ශයට ගනිමින් මෙම අභියෝග රටේ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා භාවිතා කළ හැකි බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ජපානයේ මෙන් තරගකාරී කර්මාන්ත ගොඩනැගීමේ වැදගත්කම පෙන්වාදුන් තානාපතිවරයා තරගකාරී අපනයන කර්මාන්ත බිහිකිරීම සඳහා කාර්මික ප්‍රතිපත්ති සැකසීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත්, ඒ තුළ තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ අවශ්‍යතාවත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ජපානයේ ආධාර ලබාදීමට කටයුතු කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු ඇතුළු විවිධ ප්‍රයත්නයන් සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය වැනි ආයතන හරහා සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බවත් හේ සඳහන් කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් ජපානයේ ආයෝජන සිදු කිරීම සඳහා අවස්ථාව උදාවනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

හිටපු කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, කාවින්ද ජයවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පර්යේෂණ ආයතන නියෝජිතයන්, සම්භාවනීය ආරාධිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment