රජයට ඇති අනුමැතිය 7% දක්වා පහළට – වෙරිටේ රිසර්ච් කියයි

68

රජය පිළිබඳ ජනතා අනුමැතිය පසුගිය මාසයේදී 7%ක් දක්වා පහත බැස ඇතැයි ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ නවතම සමීක්ෂණ වාර්තාවෙන් හෙළිව තිබේ.

2023 වසරේ ඔක්තෝබර් මාසයේ මෙම අගය 9% ක්ව පැවැතිණි.

එම සමීක්ෂණ වාර්තාවන්ට අනුව මෙරට වත්මන් ආර්ථික තත්ත්වය විශිෂ්ට හෝ හොඳ මට්ටමක පවතින බවට අදහස් දක්වා ඇත්තේ ජනතාවගෙන් 9%ක ප්‍රතිශතයක් වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එම අගය 16%ක්ම පැවැතිණි.

‘රට හිතන හැටි’ නමින් පවත්වා ඇති මෙම නවතම සමීක්ෂණ ප්‍රතිඵලයන්ට අනුව මෙරට ජනතාවගෙන් 91%ක් ආර්ථික තත්ත්වය දුර්වල බව කියා ඇත. ආර්ථිකයේ ඉදිරි දැක්ම හොඳ අතට හැරෙමින් පවතින බවට 9%ක් කියා තිබෙන බවද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම නවතම සමීක්ෂණය බහු – අදියර සසම්භාවි ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද විවිධ කුටුම්භයන්හී වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,044 දෙනකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීප ව්‍යාප්ත ප්‍රතිචාර නියැදියක් පදනම් කර ගනිමින් 2024 පෙබරවාරි 16 සිට 25 දක්වා කාලයේදී සිදුකර ඇත.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment