සනීපාරක්‍ෂක තුවා මිල ඉහළ යෑම සිසු දැරියන්ට බරපතළ ප්‍රශ්නයක් වෙලා – ස්ටාලිං කියයි

100

මිල ඉහළ යෑම නිසා ඇතිවූ පාසල් සිසුවියන්ගේ සනීපාරක්‍ෂක තුවා ප්‍රශ්නය මේ වනවිට බරපතළ අර්බුදයක් බවට නිර්මාණය වෙමින් ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා “දිවයිනට” ට පැවැසීය.

විශේෂයෙන් උතුරු මැද, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර යන පළාත්වල මෙන්ම වතුකරයේ දුෂ්කර ප්‍රදේශවල පාසල් යන බොහෝ සිසුවියන් සනීපාරක්‍ෂක තුවා ගැටලුවට මුහුණ දී සිටින බවද හෙතෙම කීය.

සනීපාරක්‍ෂ තුවා මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑම මේ සඳහා බලපා ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මෙය මානුෂීයව බැලිය යුතු කාරණාවක් වුවද සමහර දේශපාලනඥයන් සනීපාරක්‍ෂක තුවා ප්‍රශ්නය දේශපාලනීකරණය කරමින් හැසිරීම කනගාටුදායක බවද හෙතෙම කියා සිටියේය.

බොහෝ පාසල් සිසුවියන් ආර්තවහරණය සිදුවන කාලයට සනීපාරක්‍ෂක තුවා මිලදී ගැනීමට නොහැකිව පාසල් නොපැමිණෙන බවද ඔහු සඳහන් කළේය.

මෙම ගැටලුව විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට වඩා පියවර ගතයුතු බවද හෙතෙම කීය.

මේ අතර පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට අවුරුදු 15ත් 47ත් අතර වයසේ පසුවන කාන්තාවන් සියයට 40ක් පමණ කාන්තා සනීපාරක්‍ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇතැයි නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment