ගස් නැගීමට පුරුදුව සිටි 11 හැවිරිදි දැරිය රඹුටන් ගසේ දෙබලයකට සිර වී මරුට

648

*  දුව නිවසේ නැති නිසා විපරම් කරද්දී ඉදිරිපිට රඹුටන් ගසේ කරුවක ගෙල සිරවී සිටියා – දැරියගේ මව සාක්ෂි දෙමින් කියයි

බළන්ගොඩ – එන්.එච්. පියසේන

ගස් නැගීම විනෝදාංශයක් ලෙස පුරුදුව සිටි බළන්ගොඩ මාමල්ගහ ප‍්‍රදේශයේ දැරියක් රඹුටන් ගසකින් වැටී එහි දෙබලයකට ගෙල සිර වී ශෝචනීය ලෙස මරණයට පත් වී ඇත. මෙසේ මිය ගිය ජී.කේ. මලීෂා තත්සරණි බොතේජු නැමැති 11 හැවිරිදි පාසැල් දැරියගේ මරණය පිළිබද පරීක්ෂණය කහවත්ත මූලික රෝහලේදී පෙරේදා (12දා) පවත්වන ලදී. එහිදී සාක්ෂි දුන් මියගිය දැරියගේ මව වූ පී.කේ. මනෝරි ප‍්‍රියන්ගනී පේමසිරි නැමැති අය මෙසේ පැවසුවාය. ‘‘මියගොස් සිටින්නේ මගේ වැඩි මහල් දියණියයි. ඇය මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වීමට සූදානම්ව සිටියා. සිද්ධිය වූ දින (11) මම වතුර මෝටරය තිබූ ළිද ළගට ගියා. දුව ජෑම් සමග පාන් කන්න ඕනි කිව්ව නිසා මගේ අම්මා දුවගේ ආච්චි පාන් ගේන්න ගියා. මේ අතරේ නිවසේ මාගේ දුවත් පුතාත් ටී.වී. බලමින් සිටියා. ආපසු නිවසට ඇවිත් බලන විට දුව හිටියේ නැහැ. විපරම් කරද්දී ගෙය ඉදිරිපිට තිබූ රඹුටන් ගසේ කරුවක ගෙල සිරවී සිටියා. මම උදව් ඉල්ලා කෑගසන විට අසල්වැසි අයෙකු පැමිණ ඇයව ගසින් බිමට ගෙන වහාම රෝහලට ගෙන ගියා. ඒ වනවිටත් දුව මියගොස් සිටියා. මේ දරුවා පුරුද්දක් වශයෙන් ගස් නගිනවා. නිවසේ කණුවල පවා නගිනවා. කෙතරම් දුරට එම පුරුද්දෙන් වළකින්න කීවත් ගණන් ගත්තේ නැහැ.’’ පශ්චාත් මරණ පරීක්ෂණය කහවත්ත මූලික රෝහලේ නීති වෛද්‍ය නිලධාරි එස්.එම්. දිසානායක මහතා විසින් සිදු කළ අතර සාක්ෂි මෙහෙයවීම පො.සැ. (42897) ආයුවර්ධන මහතා සිදුකළේය. මෙය අඩි 20 පමණ උස ගසකින් වැටෙන අතරේදී කරුවක ගෙල සිර වී සිදු වූ හදිසි මරණයක් බවට බළන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජයතිලක මහතා තීන්දු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment