දූෂණ විරෝධී පනත දිනවන්න විපක්ෂය එක්වෙයි…ආණ්ඩුව ඇතුළේ බෙදීමක්

392

පසුගිය සතියට පෙර සතියේ පාර්ලිමේන්තුව ඇතුළේ දී පොලිස්පති ගැටලුව උග්‍ර වූයේ ය.

පසුගිය මාසයේ 26 වැනිදායින් පොලිස්පති ධුරය පුරප්පාඩු විය. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සිය සේවා දිගුව ද අවසන් වී විශ්‍රාම ගොස් රට තොට ඇවිදින්නට පටන් ගත්තේය.

ඊළඟ පොලිස්පති පත්කිරීමට ලොකු ලොකු ගැටලු ඇතිවිය. මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නිර්දේශය වූයේ දේශබන්දු තෙන්නකෝන් එම ධුරය සඳහා පත් කිරීම සුදුසු බවය. අධිකරණයෙන් වරදකරු කොට දඩයක් ගසා තිබුණත් නිලන්ත ජයවර්ධන මහතාද සුදුසුකම් අතින් ඉදිරියෙන් සිටියේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතාද සුදුසුකම් අතින් ඉදිරියෙන්ම සිටියේය.

එහෙත් ඔවුන් කිසිවකුටත් එම තනතුර නොදී ඉන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතුව හේතු රැසක් තිබිණි. ඔහු පසුගිය සතියේ පැවැත්වුණු මඟුල් ගෙදරකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් කෙළින්ම කීවේ නියෝජ්‍ය පොලිස්පති ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින ඔය කියන තුන්දෙනාටම තමන් කිසිවිටකත් පොලිස්පති තනතුර භාර නොදෙන බවකි.

මෙම සති අන්තයේ පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ ලොකු ගාලගෝට්ටියක් ඇතිවිය. විපක්ෂයේ මන්ත්‍රීවරු පොලිස්පති නැතිව අයාලේ යන පොලිසිය ගැන දැඩි විවේචන ගෙනඑමින් ජනාධිපතිවරයාගේ නොහැකියාව ප්‍රශ්න කළේය. මේ අවස්ථාවේදී ඉදිරිපත් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පොලිස්පති ගැටලුවට ජනාධිපතිවරයා ඉතා ඉක්මන් විසඳුමක් ලබාදීමට ඉදිරි දින දෙක තුන ඇතුළත පියවර ගනු ඇතැයි පැවසීය.

මෙහිදී විපක්ෂ නායක සජිත් අගමැතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් වාදයක් ඇති කර ගත්තේය.

“ජනාධිපති කොහොමද එහෙම කඩිනමින් පත් කිරීමක් කරන්නේ. පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවට එවන්න ඕන. ව්‍යවස්ථාදායක සභාවෙන් අපි අනුමත කළොත් තමයි පත් කිරීම නීත්‍යනුකූලව කළ හැක්කේ. ව්‍යවස්ථාදායක සභාව රැස්වෙන්නේ ඊළඟ පාර්ලිමේන්තු වාරයේ..” සජිත් පෙන්වා දුන්නේය.

“මේ වගේ හදිසි අවශ්‍යතාවකට කථානායකවරයාට පුළුවන් ඕනෑම වෙලාවක ව්‍යවස්ථාදායක සභාව රැස් කරන්න…” අගමැති කරුණු පැහැදිලි කළේය.

මේ අතර ජනාධිපතිවරයා හා මහජන උපයෝගිතා අමාත්‍ය ටිරාන් අලස් අතර ප්‍රශ්නය සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡාවක් ඇති විය. ඉකුත් ඉරිදා දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාර්යාලය වෙත පැමිණ මේ ගැටලුවට කඩිනම් විසඳුමක් දෙන්නට සූදානම් වූයේය. ටිරාන්ට ද ජනාධිපතිගේ යෝජනාවට එකඟ වනවා හැර වෙන විකල්පයක් නැතිවිය. ඒ අනුව හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ට නැවතත් මාස තුනක සේවා දිගුවක් ලබා දෙන්නට ජනාධිපතිවරයා තීරණය කළේය.

ඒත් එතන නීතිමය ගැටලුවක් තිබෙන බව මුලදී බොහෝ දෙනෙක් දැන සිටියේ නැත.

ගැටලුව වූයේ 26 වැනිදා පොලිස්පති සී. ඩී. විශ්‍රාම ගෙන තිබීමය. විශ්‍රාම ගත් අයෙක්ට සේවා දිගුවක් කළ නොහැක. ඔහුව පත් කරන්නට අවශ්‍ය නම් කළ හැකි එකම විසඳුම නව පත්වීමක් ලෙස කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන ඊට ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ද අනුමැතිය ලබාගැනීමයි.

ප්‍රශ්න එසේ තිබියදී පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වැඩ භාරගන්නට ගියේ නැත. ව්‍යවස්ථාමය හා නීතිමය ගැටලු සියල්ල විසඳා නිසි පරිදි පත්වීම ලබා දෙන තුරු ඔහු බලා සිටියේය.

ඉන් පසුව රටේ ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කිහිපයක් පැවති අතර ජනාධිපති උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ඇතුළු මහ බැංකු නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියහ.

සඳුදා හවස සිරිත් පරිදි ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්වුණු අතර ඉන් පසුවත් ජනාධිපතිවරයා ආණ්ඩුවට සහාය දෙන මැති ඇමැතිවරු පිරිසක් සමඟ එක්වී රටේ පවතින ප්‍රධාන ප්‍රශ්න කීපයක් ගැන සාකච්ඡා කරමින් සිටියේය. මෙහිදී මූලිකව අවධානය යොමු වූයේ රටේ පවතින සෞඛ්‍ය ගැටලුව ගැනය. හිඟයකින් තොරව ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබාදීමට සල්ලි වෙන් කරන්නැයි ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට ඒ මොහොතේම උපදෙස් දුන්නේය.

ඉන් අනතුරුව “අස්වැසුම” සම්බන්ධයෙන් රටේ පවතින ගැටලු කිහිපයක් ගැන සාකච්ඡාවක් ඇති විය.

“අස්වැසුම ට වැඩිපුරම ගහන්නෙ සජිත්. ප්‍රේමදාස මහත්තයා හදපු ජනසවිය අයින් කරලයි සමෘද්ධිය

ගෙනාවේ. අද එයා මතයක් අරන් යනවා සමෘද්ධිය අහෝසි කරලා අස්වැසුම ගේනවා කියලා. එතුමන්ට තියෙන්නේ රනිල් විරෝධය…” බන්දුල ගුණවර්ධන කීවේය.

“ප්‍රේමදාසට විරුද්ධව ගෙනාපු දෝෂාභියෝග වෙලාවේ එතුමාව ඒකෙන් ගලවා ගත්තේ අපේ ජනාධිපතිතුමා. මේ දුෂ්කර වෙලාවේ රට ගොඩනගන්න ජනාධිපතිතුමා ගන්න මහන්සියට හරිනම් සජිත් උදව් කරන්න ඕන.” වජිර කීවේය.

ඕව ගැන කියලා ඕගොල්ලා කවුරුවත් විපක්ෂ නායකතුමාට වෛරයෙන් උත්තර දෙන්න යන්න එපා. ඕවට උත්තර දෙනවට වඩා හොඳම දේ අස්වැසුම කියන්නේ මොකක්ද ඒකෙන් කෙරෙන්නේ මොකක්ද කියලා ඇත්ත කතාව ජනතාවට පෙන්වලා දෙන්න. ජනතාව දැනුවත් කරන එක තමයි වඩාත් වැදගත්..” ජනාධිපති කීවේය.

● අවනඩු හා තීන්දු නිසා
මෛත්‍රිපාල අර්බුදයක

පසුගිය සතියේ අපේ දේශපාලන කරළියේ විශේෂයෙන් දක්නට ලැබුණු කාරණාවක් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල මුහුණ දී තිබෙන අර්බුදයයි. එහි නායක මෛත්‍රිපාල සිරිසේන මහතා පහුගිය දිනවල බලවත් ගැටලු රැසක සිරවී සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබුණත් එය වළක්වා ගන්නට පියවර නොගත්තේ යැයි කියා පාර්ශ්ව කීපයක් ගොනු කරන ලද පෙත්සම් 13 විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජනවාරි 12 වැනිදා තීන්දුවක් දුන්නේය. තීන්දුවට අනුව එතැන් පටන් මාස හයක් යන්නට මත්තෙන් ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ගෙවිය යුතුය. පූජිත් ජයසුන්දර, හේමසිරි ප්‍රනාන්දු, නිලන්ත ජයවර්ධන හා සිසිර මෙන්ඩිස් යන හතර දෙනාටද මිලියන 75 මිලියන 75 මිලියන 50 මිලියන 10 යන ආදී වශයෙන් වන්දි මුදලුත් නියම වූහ.

කෙසේ වෙතත් ජනාධිපති සිරිසේන මහතාට නියමිත කාලය ඇතුළත ගෙවා ගන්නට පුළුවන්ව තිබුණේ මිලියන 15 ක වන්දි මුදලක් පමණි. වන්දිය සඳහා ලබාදුන් කාලය (මාස 6) පසුගිය 12 වැනිදායින් අවසන් විය.

මේ පිළිබඳව ආණ්ඩුවට සම්බන්ධ විවිධ පාර්ශ්ව සමඟ ද හිටපු ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබුණි. ඒ අනුව අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් ඔහු තමන්ගේ මාසික වත්කම් ගැන පැහැදිලි කිරීමක් කළේය. ජනාධිපති ලෙස විශ්‍රාම වැටුප රුපියල් 97,500 කි. දැනට හිමි මන්ත්‍රී වැටුප 54, 285 කි. මේ හැර වෙනත් කිසිදු ආදායමක් තමන් වෙත නැතැයි පෙන්නුම් කළ ජනාධිපතිවරයා පාස්කු නඩුවේ වන්දිය ලෙස ගෙවීමට නියමිත ඉතිරි මුදල වූ මිලියන 85 ලබන වසරේ සිට අවුරුදු දහයක් ඇතුළත වාරික 10 කින් ගෙවා නිම කරන්නට අවසර දෙන්නැයි ඉල්ලා තිබිණි.

මෙම තත්ත්වය මත හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලවත් අවුලක පැටලී සිටියේය. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේද ඔහුට විවිධ අභියෝග පැනනැගී තිබිණ. ඊට එක හේතුවක් වූයේ ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරු නමදෙනා සමග ඒ වන විට ඔහු ඇතිකරගෙන තිබූ සංහිඳියාවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය හා නිලතල තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලැබූ විනය තීන්දුව ගැන නඩුවක් ගියේය. නිමල් සිරිපාල ද සිල්වා දමා තිබූ එම නඩුවෙන් නිමල් ජයගත්තේය. පක්ෂ සාමාජිකත්වය හා නිලතල සියල්ල ආපසු ඔහුට ලබාදීම නඩුවෙන් තීන්දු විය.

මේ අවස්ථාවේ පක්ෂයත් ඔවුන් නම දෙනාත් අතර යම් සාකච්ඡාවක් හටගත්තේය. සාකච්ඡාව ප්‍රධාන වශයෙන් පක්ෂයේ ඉහළ නිලධාරීන් සමග පැවැත්වුණු අතර එමගින් ඇතිකරගත් එකඟතාවන් ගණනාවක් තිබිණ.

මහ ලේකම් දයාසිරි ඇතුළු පිරිසක් නඩු තීන්දු අනුව නිමල්ට පක්ෂයට එන්නට ඉඩ හැරියේය. සෙසු පිරිස පක්ෂයට ගැනීම හෝ ඔවුන්ගේ නිලතල ආපසු දීම සම්බන්ධයෙන් මතවාද ඇතිවිය.

පක්ෂයේ අනෙකුත් අයගේ මතය නොවිමසා පක්ෂ නායක මෛත්‍රිපාල දිගින් දිගටම පක්ෂය හැරදා ගිය මෙම නමදෙනා ඇසුරු කිරීම හා ඔවුන් හා සබඳතා පවත්වාගෙන යෑම තිලංග ලා දයාසිරිලා රිස්සුවේම නැත. ඒ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා තම නිල නිවස කාර්යාලය කොට ගත්තේය. මධ්‍යම කාරක සභාවෙන් හෝ පක්ෂයේ නිලධාරීන්ගෙන් නොවිමසා ඔහු යම් යම් තීන්දු ගත්තේය. සංවිධායක පත්වීම් 25ක් ඔහු දුන්නේ පක්ෂයේ අන් අයගේ කැමැත්ත හෝ අනුමැතියකින් තොරවය. මේ නිසා පක්ෂ අභ්‍යන්තරයේ තිබූ ගැටලු දිනෙන් දිනම ඔඩු දුවන්නට විය.

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය මන්ත්‍රීවරු නම දෙනාත් පක්ෂ නායකයා දයාසිරි තිලංග ඇතුළු පක්ෂයේ ඉතිරිව සිටින නිලධාරී කණ්ඩායමක් අතර ලොකු සාකච්ඡාවක් පැවැත්විණි. සාකච්ඡාවේදී තදින්ම රජය හා එක් වූ කණ්ඩායම පෙන්වා දුන්නේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් බැවින් පක්ෂයේ සාමාජිකත්වය හා නිලතල තමන්ට අවශ්‍ය බවය.

දයාසිරි සහ තිලංග මෙහිදී තදින් සිට උත්තරයක් දුන්නේය.

“එනවානම් ඇමැතිකම් නිලතල ඔක්කොම අතැරලා එන්න. නැත්තං ආණ්ඩුවත් එක්ක ඉන්න. කරුණාකරලා විපක්ෂයක් හැටියට අපේ පක්ෂයට විපක්ෂයේ භූමිකාව කරගෙන යන්න ඉඩ දෙන්න.

මේ තත්ත්වය තුළ තීන්දුවක් ගැනීමට සිකුරාදා හවස පහට පක්ෂ කාර්යාලයේදී මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් කැඳවන්නට මෛත්‍රිපාල සිරිසේන තීන්දු කළේය. එය අනුව සිකුරාදා හවස ආණ්ඩුව සමඟ එක් එක් වූ මන්ත්‍රීවරු නවදෙනාගෙන් අටදෙනකුවත් සහභාගි වන විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වූහ.

පක්ෂයේ ප්‍රකාශකයකු කීවේ මෙහිදී හොඳ හොඳ ගැටුම් කිහිපයක් ඇති වීමට නියමිතව ඇති බවයි.

● ඇමැති කෙහෙළියටත්
සෞඛ්‍ය ප්‍රශ්නයක්

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉවත්කොට රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැති ලෙස පත්කරන්නට යනවාය කියන කතාව දැන් පරණ කතාවකි. දැන් ඒ පිළිබඳව අවධානයක් නැති සේය.

එහෙත් දැන් මාස කිහිපයක සිට කෙහෙළියට බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට සිදුවූයේ ඖෂධ හා වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් වූ ගැටලු රාශියක් නිසා ය.

මේ අතර ඔහුගේ කුමන අවාසනාවට දෝ රජයේ රෝහල්වල නිරපරාදේ රෝගීන් මියයන සංඛ්‍යාව ඉහළ ගියේය. නිර්වින්දන එන්නත් හා ප්‍රතිශක්ති කාරක එන්නත් නිසා පසුගිය මාස දෙක තුන තුළ රජයේ රෝහල්වල දහ දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් රෝගීන් මිය ගියේය. පේරාදෙණි රෝහලේ හතරක් මිය ගියේය. ලේඩි රිජ්වේ රෝහලේ දෙදෙනකු මිය ගියේය. රාගම එක් අයකු මිය
ගියේය. සිරිමාවෝ රෝහලේ දෙදෙනකු මිය ගියේය. මේ අයුරින් රෝගීන් මිය යන්නේ බාල බෙහෙත් ගෙන්වීම නිසා යැයි කියා චෝදනා ඇති විය. පසුගිය කාලයේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව හා ප්‍රමිතියකින් තොරව බේත්හේත් ගෙන්වන්නට ක්‍රියා කිරීම නිසා ප්‍රමිතියකින් තොර බෙහෙත් වර්ග සෞඛ්‍ය ක්ෂේත්‍රයට පැමිණ ඇතැයි කියා සෘජුව ම චෝදනා එල්ල වූයේ කෙහෙළියට ය.

පසුගිය බ්‍රහස්පතින්දා මේ සම්බන්ධයෙන් විමසන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිලධාරීන්ගේ හා වෘත්තිකයන්ගේ හමුවක් කැඳවූයේය. රාජිත සේනාරත්න වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත් ඇමැතිවරු හා වෛද්‍යවරු ද ඊට පැමිණ සිටියහ.

එහිදී රවි කුමුදේශ්ලා චමල් සංජීවලා කෙලින්ම ඇමැතිවරයාට ඇඟිල්ල දිගු කරමින් කතා කළේය.

“මේ බාල බෙහෙත් රටට ආවේ ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක අනුව ගෙනාපු බේත් නිසා. ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් ණය දෙනකොට කොන්දේසි වගයක් දැම්මා බඩු ගන්න කොට ඉන්දියානු සමාගම්වලින්ම ගත යුතුයි කියලා. ඒ අනුව ඉන්දියානු සමාගම්වලින් ගෙනාපු බෙහෙත්වලින් තමයි ගැටලුව උග්‍ර වුණේ…” නිලධාරීන් නිදහසට කරුණු කියන්නට වූහ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද මේ පිළිබඳ අදහස් පළ කළේය.

“කිසිදු පාලනයකින් තොරව බාල බෙහෙත් වර්ග රටට එනවා. ගොඩක් ඒව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ ඖෂධ. මේ වන විට එවන් ලියාපදිංචි නොකළ සැක සහිත ඖෂධ 785 ක් අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් පද්ධතිය තුළ තියෙනවා.”

මෙහිදී බොහෝ දෙනෙක් කතා කළේ මෙම අර්බුදය අතරේ බොර දියේ මාළු බාන්නවුන් නිසි ඵල ප්‍රයෝජන නෙළා ගන්නා බවය. මේ නිසා රෝහල්වල මැස්සො මදුරුවො ගාණට රෝගීන් මැරෙන්නට පටන් ගෙන ඇති බව දේශපාලනඥයෝ පෙන්වා දුන්හ. ඇතැමකු දොස් කීවේ රජය රටට අවශ්‍ය ප්‍රමාණයේ ඖෂධ සංචිත තියා ගන්නට අසමත් වීම බරපතළ අර්බුදයක් බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අවධානය යොමු වූ තවත් කාරණාවක් වූයේ දූෂණ විරෝධී පනතයි. දූෂණ විරෝධී පනත පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සංශෝධනවලට යටත්ව අනුමැතිය ලබා ගත්තේය.

දූෂණ විරෝධී පනත ගැන රටේ සංවාදය මේ සතියේත් සක්‍රීය විය. විපක්ෂය චෝදනා කළේ ආණ්ඩු පක්ෂයේ පොහොට්ටුවේ කණ්ඩායම දූෂණ විරෝධී පනත නිසි පරිදි පාර්ලිමේන්තුවේ සම්මත වීමට අකුල් හෙලූ බව කියමිනි. ඔවුන් මේ සම්බන්ධයෙන් රට තුළ කතිකාවක් ඇති කරන්නට වෙනම වැඩසටහනක් සූදානම් කළේ විපක්ෂයේ අනෙකුත් පක්ෂවල ද සහභාගිත්වය හා සහයෝගය ඇතිවයි. සජිත් මේ වැඩපිළිවෙළ භාර කළේ මුජිබර් රහුමාන් හිටපු මන්ත්‍රීවරයාටය. ඔහුගේත් නිරෝෂන් පාදුක්කගේත් මෙහෙයවීමෙන් රට පුරා විද්වත් කතිකාවක් ඇති කරන්නට වැඩපිළිවෙළක් සකස් විය. උගතුන් වියතුන් හා බුද්ධිමතුන් සහභාගී වන සම්මන්ත්‍රණ මාලාවක් ලෙස මෙය රටපුරා ව්‍යාප්ත කරන්නට සැලසුම් කර තිබිණි.

මේ අතර තවත් කතාවක් පැතිර ගියේය. දූෂණ විරෝධී පනත ආණ්ඩුවේ පනතකි. එහෙත් අවසානයේ පනත සම්මත වනවාට විරුද්ධ වූයේ ද ආණ්ඩුවේ පිරිසක් යැයි කතාවක් පැතිර ගියේය.

මේ පනත සම්මත වෙලා ගිය ආණ්ඩුවේ ලොක්කෝ හොරාකාපු ධනය හොයන්න පටන් ගත්තට පස්සේ රාජපක්ෂලාට වැඩවරදීවි. හොරාකාලා පිටරටවල්වලට ඇදපු ධනය ආපහු ගේන්න වේවි. අයථා අන්දමින් උපයා ගත් ධනය වෙනුවෙන් ලොක්කන්ට හිරේ යන්න වේවි. ඒ හින්දයි පොහොට්ටුවේ සොක්කො දම්මලා පොහොට්ටුවේ ලොක්කෝ මේ පනතට අකුල් ඇද්දේ.

මේ චෝදනාව රට පුරා පැතිර යන්නට වූ විට මාධ්‍යවේදීන් ඒ ගැන කරුණු සොයන්නට වූහ. අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ගෙන් විමසන්නට වූහ. ඒ අතර පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් ගෙන්ද විමසන්නට වූහ. එහිදී සාගර කාරියවසම් ඉතා විශේෂ කරුණක් හෙළිදරව් කළේය.

● අසාධාරණ වැටලීම්
පනත නිසා වැඩි වෙයි

පොහොට්ටුවක් පනත සම්මත වනවාට විරුද්ධ වුණේ නැහැ. ඇමැතිවරයා හැමෝගෙන්ම පනත සඳහා සංශෝධන භාරගත්තා.

ඉතින් පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසකුත් දැන උගත් නීතිඥයො හැටියට සමාජ ක්‍රියාකාරීන් හැටියට යම් යම් සංශෝධන යම් යම් අදහස් ඉදිරිපත් කළා. හැබැයි පනත කෙටුම්පත් කරපු ඇමැතිතුමා ඒ සංශෝධන අපේ අදහස් පිළිගන්න කැමැති වුණේ නෑ….”

“උදාහරණයක් කියන්න පුළුවන්ද…” මාධ්‍යවේදියෙක් ඇසුවේය.

මෙතෙක් තිබුණු පනත්වල විමර්ශන නිලධාරීන්ට චූදිතයන් අත්අඩංගුවට ගැනීමේ බලයක් තිබුණේ නෑ. හැබැයි අලුත් පනතෙන් චූදිතයන්ව කෙලින්ම අත්අඩංගුවට ගන්න බලය කොමිසමේ සාමාජිකයන්ට තියෙනවා.

අපි හිතමු යමෙක් අල්ලසක් ඉල්ලුවා කියල. ඒ වෙලාවේ වින්දිතයාට පුළුවන් කොමිසම හමුවේ පැමිණිල්ලක් කරලා ඔවුන් සමග ගොස් උපාය දූතයෙක් යවා අල්ලස ලබා දෙන වෙලාවෙදි අදාළ නිලධාරීන්ව අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට ගන්න මහෙස්ත්‍රාත්වරයකු ගේ අවසරයක් ගන්න ඕන. අලුත් පනතේ එහෙම එකක් නෑ. කවුරුහරි පැමිණිල්ලක් කළ පමණින්ම විමර්ශන නිලධාරීන්ට ඔහු අත්අඩංගුවට අරන් පරීක්ෂණ පවත්වන්න පුළුවන්. එවන් අවස්ථාවක විරුද්ධවාදීන්ට පුළුවන් තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව මේ වගේ අල්ලස් දූෂණ පැමිණිලි කරන්න.

උදාහරණයක් වශයෙන් මේ තත්ත්වය ලිංගික අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් වඩාත් තදින් බලපාන්න පුළුවන්.

සැබැවින්ම මේ සම්බන්ධයෙන් මධුර විතානගේ, ශාන්ත බණ්ඩාර, අනුප පැස්කුවෙල්, සරත් වීරසේකර ආදීන් සංශෝධන ඉදිරිපත් කර තිබිණා. එවැනි යෝජනා ලිඛිතව භාර දෙන්නයි දන්වා තිබිණි. එහෙත් සාගර කාරියවසම් කියනා පරිදි ඇමැතිවරයා ඒ සංශෝධන පිළිගන්නට නම්‍යතාවක් දක්වා නැත.

ලබන 19 වැනිදා මෙම පනත සංශෝධන සහිතව සම්මත කර ගන්නට කාරක සභා අවස්ථාවේදී ඉඩ ඇතැයි කියැවේ. එහිදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා සලකා නොබලා ඉන්න නම් ඒ සඳහා පියවරක් ගන්නට මන්ත්‍රීවරුන් ඉදිරිපත් වනු ඇතැයි පොහොට්ටුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

● නගරෙන් නගරෙට
පොහොට්ටු මෙහෙයුම

පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් ඇතුළු කණ්ඩායමක් දැන් පළාතෙන් පළාතට යමින් සිටිති.

පසුගිය සතියේ මොනරාගල, බදුල්ල, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇවිදිමින් දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම් පැවැත්වූ ඔවුන් බදාදා හවස මහනුවරට පැමිණියහ. සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන හා රේණුක පෙරේරා මේ කණ්ඩායමට අයත් වූහ.

ඔවුන් නුවර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකයින් කැඳවා ප්‍රදේශයේ ඉදිරි වැඩ කොටස ගැන සාකච්ඡා කරන්නටය. එහෙත් එහි සම්බන්ධීකරණ කටයුතුවල ලොකු අවුලක් සිදුව තිබිණි. රාත්‍රියේ ලොහාන් රත්වත්තේගේ නිවසේ තිබූ සාකච්ඡාව සඳහා මහින්දානන්දට ආරාධනා කිරීම කුමන හෝ හේතුවක් නිසා වැළකී ගොස් තිබිණි. ඇතැමුන් සූදානම් වූයේ මහින්දානන්ද නැතිව වුවත් රැස්වීම පවත්වන්නට ය.

එහෙත් නාමල්ලාගේ සාගරලාගේ අදහස වූයේ මෙවන් තීරණාත්මක කටයුත්තක් කරද්දි එවන් අඩුපාඩු හා දුර්වලතා අවම කර ගත යුතු බවයි.

“අපි ඒ රැස්වීම වෙන දවසක දාගමු. ආසන සංවිධායකයෝ අඩුයි නම් දිස්ත්‍රික්කයේ ප්‍රතිසංවිධාන කටයුතු ගැන කතා කරලා වැඩක් නෑ…” එසේ කියා අදාළ රැස්වීම කල්තබා පොහොට්ටුවේ නායකයෝ විසිර ගියහ.

එහෙත් පසුවදා මේ රැස්වීම නො පැවැත්වීමට හේතුව අර්බුදයක් බව මාධ්‍යවල පළව තිබුණි. කෙහෙළිය, අනුරාධ හා දිලුම් අමුණුගම රැස්වීම වර්ජනය කිරීම හේතුවෙන් සාකච්ඡාව අසාර්ථක වී ඇයි ඇතැම් මාධ්‍යවල පළව තිබිණි.

● වෘත්තීය සමිති නියෝජිතයෝ
අගමැති මැඳුර වටලති

රාජ්‍ය සේවයේ මෙන්ම පොදුවේ වෘත්තීන්වල කරුණු රැසක් සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන අවස්ථාවක, වෘත්තීය සමිති නායකයේ 50කට ආසන්න පිරිසක් අරලියගහ මන්දිරයේ බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවට එක්ව සිටියහ. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ යන මහත්තුරු ද අගමැති සමග මේ සාකච්ඡාවට සහභාගි වූහ.

“ආ කොහොමද?” තමන් දීර්ඝ කාලයක් තිස්සේ දන්නා වෘත්තීය සමිති නායකයෝ, දිනේෂ් උණුසුම් ලෙස පිළිගත්තේය.

“මේ අයට කරුණු ගණනාවක් කතා කරන්න තියෙනවා” සිසිර ජයකොඩි කියද්දී

“අපි කතා කරමු” ලොකුගේ සිනහවෙමින් කීය.

අගමැති දිනේෂ් කතාව ඇරඹීය.

“රාජ්‍ය සේවකයන්ට බොහෝ ප්‍රශ්න තියෙනවා, ආණ්ඩුව එක්ක බේරගන්න. ඒවා ඔක්කොම එන්නෙ වෘත්තීය සමිති නායකයෝ වන ඔය සහෝදරයන්ගේ කරපිටට.

“රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණයේදී, වෘත්තීය සමිති සමග අදහස් හුවමාරුව බොහෝම මදි” එක් වෘත්තීය සමිති නියෝජිතයෙක් පෙන්වා දුන්නේය.

“ඒ අදහස් බෙදාගැනීම, විය යුතුයි. නැත්නම් ඔය සහෝදරවරු කොහොමද තමන්ගෙ සාමාජිකයො අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ.” දිනේෂ්, ඒ ගැන විශේෂ අවධානය යොමු කළේය.

ඊළග වැදගත් ප්‍රශ්නය පැන නැගුනේ කම්කරු නීති ගැනය.

“ප්‍රකාශයට පත්වන කම්කරු නීති, අධ්‍යයනය කරන්න අපිට ප්‍රමාණවත් කාලයක් ලැබෙන්නෙ නෑ.”

“අගමැතිතුමත් වෘත්තීය සමිති නායකයෙක් විදියට මේක තේරෙනවා ඇතිනෙ.”

“ඔව්, නීතියක් වෙන්න ඉස්සෙල්ලා වෘත්තීය සමිති එක්ක යම් එකඟතාවක් හදාගත්තෙ නැති නිසා, අතීතයේදිත් අපිට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා.”

මේ ප්‍රධාන කරුණුවලට අමතරව වර්තමාන තත්ත්වය ගැන කම්කරු නියෝජිතයන් දැක්වූ අදහස් සියල්ලට සාවධානව සවන් දුන් දිනේෂ්, ඒ සියල්ල ගැනම විශේෂ සැලකිල්ලක් දැක්වීය.

කෙසේ වෙතත් පසුගිය සතිය දේශපාලනමය වශයෙන් උණුසුම් සතියක් විය. වැඩ අධික සතියක් විය. ජනාධිපතිවරයාත් වැඩ අධිකව සිටියේ මේ මස විසි එක් වන දිනට පසු ආරම්භ කරන ඉන්දීය සංචාරය නිසාය. මේ ඉන්දීය සංචාරය අපේ රටට තීරණාත්මක සංචාරයක් වනු ඇතැයි බොහෝ දේශපාලන නිරීක්ෂකයෝ ද මත පළ කර තිබේ.

මේ අතර සිකුරාදා උදේ ව්‍යවස්ථාදායක සභාවේ

රැස්වීමක් පවත්වන්නට කථානායකවරයා තීරණය කළේය. බොහෝ විට මෙම හදිසි රැස්වීම පවත්වන්නට ඇත්තේ පොලිස්පතිවරයාගේ අවුල ලිහා ගන්නට විය යුතුය.

අගමැති, විපක්ෂ නායක, කථානායක සහ ඔවුන්ගේ නියෝජිතයෝ මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් ගෙන් සැදුම්ලත් ව්‍යවස්ථා සභාවේ නියෝජිතයෝ රැස්ව සිය රාජකාරි කටයුතු අවසන් කර තිබිණි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment