කොළඹ ගොඩනැඟිලි බිමට සමතලා වෙයි!…දරුණු භූ කම්පනයක්…

853

ඇත්තම කතාව ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්නගෙන්ම අහමු….

ශ්‍රී ලංකාවට ගිණිකොණ මුහුදේ භූ කම්පන තල මායිමක් අලුතෙන් හැදීගෙන එනවා

සියලු කරදර මැද්දේ ලංකාවටත් භූ කම්පන අවදානමක්දැයි නැවතත් කතා බහක් මතුව තිබේ. ඉකුත් සතියේ එහි නවතම අර්ථ දැක්වීම ඉදිරිපත් වූයේ ලංකාවේ කොළඹ ප්‍රධාන නගරයද කම්පන අවදානමෙන් මිදී නැති බවට ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න ගෙන ආ මතයත් සමගම පසුගිය සතිය පුරාම මේ ගැන විශාල වශයෙන් අවධානය යොමු වූ කාරණයක් බවට පත්විය.

කොළඹට එපිටින් මුහුදේ ගැඹුරේ දක්නට ඇති අලුතෙන් හඳුනාගත් පැලුම් රටාවක් ගැන මහාචාර්ය අතුල සේනාරත්න මූලිකවම මතුකළ කාරණය විය. මෙහි වඩාත් බරපතළ කාරණය වූයේ පැලුම් ඔස්සේ භූකම්පන හට ගැනීමේ අවදානමක් සහ අනතුරුදායක තත්ත්වයක් මතුවිය හැකිවීමය. මෙකී අවදානම් සහිත ප්‍රදේශ ආශ්‍රිතව භූ කම්පන මාන සහ වෙනත් සංවේදී විද්‍යාත්මක උපකරණ ක්‍රියාත්මක කිරීම මගින් භූ කම්පන පිළිබඳ සමීප මෙන්ම දිගුකාලීන නිරීක්ෂණයකට ඉක්මනින් යොමුවිය යුතු බවට මහාචාර්යවරයා කරුණු ඉදිරිපත් කර තිබිණි.

භූකම්පා පිළිබඳ ශ්‍රී ලංකාවේ වෙසෙන අප මෑත කාලීනව පළමු වරට කම්පාවට පත් වූයේ 2004 දෙසැම්බර් 26 වැනිදා ය. ඒ සුමාත්‍රාවේ ඇති වූ භූ කම්පාවකින් සුනාමි ව්‍යසනයට ගොදුරු වීම නිසා ය. එහෙත් අපේ අත්තම්මලා, මී මුත්තලා පොළොව හෙල්ලෙන අයුරු දැනුණු බවට කී කතා අපේ ඉතිහාසයේ පවතී. සුනාමියට පසු අවස්ථා ගණනාවකදී මධ්‍යම, දකුණ, නැගෙනහිර පළාත්වල පොළොව තැනින් තැන සෙලවී තිබිණි.

ශ්‍රී ලංකාවට ගිණිකොණ දිගින් වූ මුහුදේ පසුගිය සති අන්තයේ පස්වරු 12.59ට කොළඹින් කිලෝමීටර් 1260ක් පමණ දුරින් වූ මුහුදු සීමාවේ කිලෝමීටර් 10ක ගැඹුරේ රිච්ටර් මාපාංක 5.8ක ප්‍රබලත්වයකින් යුතුව ඇති වූ භූමි කම්පනය කොළඹ වැල්ලවත්ත වෙරළ තීරයට, බත්තරමුල්ල, ගාල්ල, අකුරැස්ස, ඇඹිලිපිටිය යන ප්‍රදේශවලට හොඳින් දැනී තිබිණි. 1600 වර්ෂයේදී පමණද කොළඹ නගරය තුළ දරුණු භුකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

අතුල සේනාරත්න මහාචාර්යවරයා පහත දැක්වෙන සංවාදයේදී ඉදිරිපත් කරන්නේ එකී කාරණා විශ්ලේෂණය කොට ඉදිරි සැලසුම් සකස් කරගත යුතු ආකාරයයි.

ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න, නව තාක්ෂණය ඔස්සේ ලබාගත් පෘථිවි චුම්බකත්ව ප්‍රබලතා දක්වන සිතියම් සහ විශේෂයෙන් ගුරුත්වාකර්ෂණ ප්‍රබලතාව දක්වන සිතියම් අධ්‍යයනයේදී පැහැදිලිව දිස්වෙන අනතුරුදායක කලාපයක් තුළ කොළඹ පවතින බව සනාථ වන බවට කරුණු ඉදිරිපත් කරන්නේය. ඔහු පවසන්නේ, මේ කලාපය තුළ භූ-චුම්බකත්වය වෙනත් තැන්වලට සාපේක්ෂව ඉහළ බවත් එය එසේ වීමට පොළෝ අභ්‍යන්තරයේ සිදුවන වෙනසක් හෝ කැළඹීමක් හෝ හේතුවිය හැකි බවය.

ලංකාවට පහළින් කොළඹ දෙසට වැටෙන භූ පැල්මක් දක්නට ලැබෙන බවත් ඊට අමතරව දකුණෙන් විහිදෙන මළ කොත් මුදුන් වැනි කඳු වැටි බඳු පිහිටීම් නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු පෙන්වා දෙන්නේ නව සිතියමකට අනුව ය. මෙහිදී මහාචාර්යවරයා මතුකරන කරුණු කාරණා ලෙහෙසියෙන් බැහැර කළයුතු ඒවා නොවේ. කවර වගකිවයුත්තෙකු වුව කවර බලධාරියෙකු වුව මේ ගැන බරපතළ ලෙස අවධානය යොමු කළයුතු බව අපේ අදහසයි. මහාචාර්ය අතුල සේනාරත්න කියන්නේ මෙම සැකසහිත වූ පිහිටීම් මෙන්ම ඒවා නිසා සිදුවිය හැකි හානිකර බලපෑම කෙබඳුද යන්න නිශ්චිතවම තීරණය කළ හැක්කේ දීර්ඝකාලීනව මේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් අධ්‍යයනයෙන් පසු බවය. ඒ නිසා වහා ක්‍රියාත්මක වන පරිදි මේ සියලු කලාප ආවරණය කළ හැකි ආකාරයේ විද්‍යාත්මක නිරීක්ෂණ සහ සංවේදක උපකරණ සවිකිරීම අත්‍යවශ්‍ය යැයි ඔහු අවධාරණය කරන්නේය.

කොළඹ ගොඩනැඟිලි බිමට සමතලා වෙයි!...දරුණු භූ කම්පනයක්…

නිකමට කල්පනා කර බැලුවහොත් මෙහි අවදානම තේරුම් බේරුම් කරගත හැකිය. කොළඹ වටා පිහිටා ඇති තට්ටු නිවාස කන්දරාවත්, උස ගොඩනැඟිලි සමූහයත් දකින විට මේ බිය දෙගුණ තෙගුණ වනු නොඅනුමානය.

● ශ්‍රී ලංකාව භූ කම්පන අවදානම් කලාපයක් බවට පත් වුණා ද…?

“ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ භූ කම්පන සිදු විය හැකි භූ තල මායිමක නෙවෙයි.

ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු භූ තලය මත යි. භූ තල මායිම් ආශ්‍රිතව සිදු වන ආකාරයේ භූ කම්පන ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නැහැ. ශ්‍රී ලංකාව ආශ්‍රිත ව සිදු වන්නේ භූ අභ්‍යන්තර කම්පන යි. පසුගිය වසරවල ශ්‍රී ලංකාවේ පොළොව අභ්‍යන්තරයේ භූ කම්පන ඇති වුණා. මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ජලාශ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක, ත්‍රිකුණාමලය සිට උස්සන්ගොඩ දක්වා වන භූමි රේඛාවේ තැනින් තැන, ලංකාවට දකුණු මුහුදේ, ලංකාවට බස්නාහිරින් වන මුහුදට ඔබ්බෙන් සහ ලංකාවට ගිණිකොණ දෙසින් මින් පෙර කම්පන සිදු වී තිබුණා. පොළොවේ පිහිටා තිබෙන තල භූ කාරක පථයක ක්‍රියාකාරිත්වය අනුව භූ කම්පන ඇති වෙනවා. තල භූ කාරක පථයේ සිදු වන චලනයන් නිසා ඇති වන ගට්ටන හේතුවෙන් භූ කම්පන ඇති වන බව මීට වසර පනහකට හැටකට පෙර සිට තහවුරු කරගෙන තිබෙනවා. ලෝකයේ බොහෝ තැන්වල මෙවැනි තල භූ කාරක පථ සරල නොවූ රේඛා වශයෙන් පිහිටා තිබෙනවා. ඒවා ආශ්‍රිතව ගිනි කඳුත් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ එවැනි තල භූ කම්පන මායිමක නෙවෙයි. ශ්‍රී ලංකාවේ සිදු වන්නේ පොළොව අභ්‍යන්තර භූ කම්පන යි.”

● පසුගිය සති අන්තයේ ඉන්දියන් සාගරයේ ඇති වූ භූ කම්පනය ශ්‍රී ලංකාවට පූර්ව අනතුරු ඇඟවීමක් නෙවෙයි ද…?

“භූ කම්පනයක ප්‍රබලත්වය අනුව තමයි එහි බලපෑම ලංකාවට දැනෙනවාද නැද්ද කියලා කියන්න පුළුවන් වෙන්නේ. රික්ටර් පරිමාණ 8ක පමණ ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් ඉන්දියන් සාගරයේ සිදු විය හැකි බවට ඉන්දියාවේ භූ කම්පන විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබෙනවා. භූමි කම්පාව ප්‍රබල වුණොත් ගොඩනැගිලිවලට හානි වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ කිසිවක් එසේ ම සිදු වෙනවා කියලා නිශ්චිත ව කියන්න බැහැ.”

● ශ්‍රී ලංකාවේ සිදු වන භූ කම්පන නිශ්චිත ව හඳුනා ගැනීමේ හැකියාවක් තිබෙනවා ද…?

“භූ කම්පන මාන හතරක් අප සතුව තිබුණා. මධ්‍යම කඳුකරයේ ජලාශ ආශ්‍රිත ව භූ කම්පන කිහිපයක් සිදු වූ අවස්ථාවේ ඒ ගැන සෙවීමට කමිටුවක් පත් කළා. තව කම්පන මාන අවශ්‍ය යි කියා ඒ අවස්ථාවේදී මම ඉල්ලීමක් කළා. ඒ අනුව පහසුකම් පුළුල් වී තිබෙනවා. නමුත් භූ කම්පන මාන තව බොහෝමයක් අවශ්‍ය වෙනවා. කැලෑවල භූ කම්පන සිදු වෙනවා. ඒ ගැන අපට දැන ගන්න විදිහක් නැහැ. සතුන් ඇවිත් අපට ඒ ගැන කියන්නේ නැහැනේ. සෑම තැනක ම භූ කම්පන මාන සවි කළ යුතුයි.”

● ශ්‍රී ලංකාවේ සිදු වන භූ කම්පනවල ස්වාභාවය කෙබඳු ද…?

“ශ්‍රී ලංකාවට භූ කම්පන සිදු වන ආකාර කිහිපයක් තියෙනවා. මධ්‍යම කඳුකරයේ ජලාශ ආශ්‍රිතව භූ කම්පන බහුල බව සොයා ගෙන තිබෙනවා. වර්ෂා කාලවලදී ජලය පිරෙනවිට පාෂාණ තට්ටු මතට වැඩිපුර බරක් යෙදෙද්දී ඒවා නැවෙන්න බලනවා. එවිට පාෂාණ තට්ටු මත තෙරපුමක් ඇති වෙනවා. නැවත එම ජලය විදුලි බලයට සහ කෘෂි කර්මාන්තයට මුදා හැරීමේදී පාෂාණ තට්ටුව යථා තත්ත්වයට පත් වෙන්න උත්සාහ කරනවා. මේ අවස්ථා දෙකේ දී ම පාෂාණ තට්ටු අතර සුළු කම්පන ඇති විය හැකියි.

ඊට අමතර ව මධ්‍යම කඳුකර ප්‍රදේශය වඩාත් වැඩි වේගයකිනුත්, මුහුදුබඩ කලාපය අඩු වේගයකිනුත් ඉතා සියුම් ව ඉහළට එසවෙන බව 1971 දි විතර සොයා ගෙන තිබෙනවා. ඒ එසවීම පියවි ඇසට නොපෙනෙන තරම් ඉතා කුඩා ප්‍රමාණ එසවීමක් වුණත් එහි බලපෑමෙන් භූ පැලුම් තල, පැලුම් රේඛා ආශ්‍රිතව පොළොව අභ්‍යන්තරයේ යම් යම් කම්පන තත්ත්වයන් ඇති වෙනවා. ඒ අනුව මධ්‍යම කඳුකරයේ දිගන, මහියංගනය, කුණ්ඩසාලේ යන ප්‍රදේශවල භූ කම්පන ඇති වෙනවා.

1984දී පමණ හඳුනා ගැනුණු ත්‍රිකුණාමලය සිට උස්සන්ගොඩ දක්වා වන භූ පැලුම් රේඛාවට අයත් වන මිණිපේ, බිබිල, බුත්තල, වැල්ලවාය, ඇල්ල, උස්සන්ගොඩ, කිරින්ද යන ප්‍රදේශ ආශ්‍රිතව භූ කම්පන සිදු වී තිබෙනවා.

කොළඹ ගොඩනැඟිලි බිමට සමතලා වෙයි!...දරුණු භූ කම්පනයක්…

ලංකාවේ බටහිර මුහුදේ දැනට වාර්තාගත දරුණුම භූ කම්පනය සිදු වී තිබෙන්නේ 1615දී යි. ඒ පිළිබඳ ව පූජකතුමකු විසින් ලියන ලද වාර්තාවක් ලිස්බන් කෞතුකාගාරයේ තියෙනවා. එහි සඳහන් වන ආකාරයට එම භූ කම්පනය බස්නාහිර පළාතේ කොළඹ ආශ්‍රිතව සිදු වීමෙන් පුද්ගලයන් දහස් ගණනක් මියගොස්, ගොඩනැගිලි පවා කඩාවැටී තිබෙනවා. එයින් පසු මෙතෙක් එවැනි ප්‍රබල භූ කම්පන වාර්තා වී නැහැ. ලංකාවේ මුහුදු කලාපයේ දකුණ හා නැගෙනහිරට බරව ගිණිකොණ දෙසින් භූ කම්පන සිදු වන විශාල ප්‍රදේශයක් අලුතෙන් ඇතිවෙමින් තිබෙනවා. එය භූ තල මායිමක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ ආශ්‍රිතව බොහෝ වශයෙන් කම්පන සිදු වෙනවා. පසුගිය දවසක රිච්ටර් මාපාංක 5.8ක කම්පනයක් ඇති වුණේ ඒ ප්‍රදේශයේ යි. එය තරමක් ප්‍රබලයි. කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනුනේ එය යි. එවැනි කම්පන ඉදිරියේදීත් සිදුවිය හැකියි.”

● නව මුහුදු භූ කම්පන තල මායිමේ භූ කම්පනයකින් සුනාමි ඇති විය හැකියි ද…?

“නැහැ. ගිණිකොණ දිග කලාපයේ කිලෝමීටර් 1500ක් පමණ ඈතින්, කිලෝමීටර් තුනක් හතරක් ගැඹුරින් එම භූ තල මායිම පිහිටා තිබෙන නිසා ඒ ආශ්‍රිත ව සිදු වන භූ කම්පනයකින් ශ්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇති වෙන්න ඉඩක් නැහැ. නමුත් කම්පනය හොඳින් අපට දැනෙනවා.”

● ශ්‍රී ලංකාවේ අනෙකුත් මුහුදු ප්‍රදේශවල ඇති වන භූ කම්පනයකින් සුනාමි තත්ත්වයක් ඇති විය නොහැකි ද…?

“ශ්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇති වන්නේ සුමාත්‍රා දූපත්වල උතුරු කෙළවරේ නොගැඹුරු භූ තලවල සිදු වන ප්‍රබල භූ කම්පනයකින් පමණයි. ඒකට හේතුව එම ප්‍රදේශයේ මුහුදු ජල තට්ටුව ඉතා තුනී නිසා කම්පනයකින් එම තුනී ජල තට්ටුව තල්ලු කරලා ඉහළට ඔසවා විශාල ජල තරංග ඇති කරවීමෙන් සුනාමි ඇතිවීම යි.”

● මෙතෙක් කාලයක් නොතිබූ භූ කම්පන දැන් ඇති වන්නේ ඇයි…?

“කාලයක් අක්‍රිය ව තිබෙන මහා පරිමාණයේ ගැඹුරු භූ කම්පන පැලුම් තල වරින් වර සක්‍රිය වන අවස්ථාත් තිබෙනවා. ශ්‍රී ලංකාවත් මීට වසර මිලියන 200කට පමණ පෙර භූ පැලුම් තල මායිමක පිහිටා තිබුණා. නමුත් පොළොවේ සිදු වූ වෙනස්කම්වලින් ලංකාව ඉන්දියාවෙනුත් වෙන් වෙලා ඈතින් ඈතට ඇදී යෑමෙන් මේ වනවිට එකී පැරණි භූ පැලුම් තල මායිමෙන් දුරස් ව පිහිටා තිබෙනවා. භූ පැලුම් තල මායිම් ආශ්‍රිත ව සිදු වන ආකාරයේ දරුණු භූ කම්පන ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නැහැ.”

භූ කම්පන අවදානම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කෙරෙහි ඇති කරන බලපෑම කෙබඳු ද…?

“භූ කම්පන අවදානම සහිත ප්‍රදේශවල දැනට පවතින නිවාස හා ඉදිකිරීම් සම්බන්ධයෙන් වර්ගීකරණයක් කළ යුතුයි. විශේෂයෙන් බස්නාහිර හා දකුණු පළාතේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වර්ගීකරණයක් අවශ්‍ය යි. උස් ගොඩනැගිලි පිහිටි භූ විද්‍යාත්මක කලාප, ගොඩනැගිල්ලේ වයස, යොදා ගෙන ඇති ඉදිකිරීම් තාක්ෂණය අනුව වර්ගීකරණයක් කළොත් ඒ අනුව එකී ගොඩනැගිලිවලට භූ කම්පනවලින් බලපෑමක් තියෙනවාද කියා සොයා ගත හැකියි. ඒ වගේම නව ඉදිකිරීම් සිදු කිරීමට පෙර භූ කම්පනවලට ඔරොත්තු දීමට ඇති හැකියාව පිළිබඳ නිසි අධ්‍යයනයකින් යුතුව නිසි ප්‍රමිතියට අනුව ඉදිකිරීම් කළ යුතු යි. ඒ වගේම භූ පැලුම් කලාපවලින් දුරස් විය හැකි නම් වඩාත් ආරක්ෂිත යි.

තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment
advertistmentadvertistment