පුංචි ඡන්දය පවත්වන්න කොමිසම කඹ ඇදිල්ලක… සජබ – ජාජබ ගැටුමක!

505

මේ ගෙවී ගියේ 2023 වසරේ පළමු සතියයි. 2022 අවසන් වී 2023 ට කාලය පියමන් කළ අවස්ථාව මෙන්ම නව වසරේ වැඩකටයුතු ආරම්භ කිරීම කෙරෙහි බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබුණේ ඒ පසුබිමේ පැවැති දේශපාලන සිදුවීම් රැසක් නිසා ය.

එහිදී දෙසැම්බර් 31 වැනිදා පරණ වසර අවසන් වී අලුත් අවුරුද්ද උදාවීම පසුබිම් කරගෙන සිදුවූ සිදුවීම් ඉතා වැදගත්ය.

දෙසැම්බර් 31 වැනිදා වන විට ලංකාවේ දේශපාලනඥයෝ කැපී පෙනෙන සංඛ්‍යාවක් විදේශගතව සිටියහ. සැලකිය යුතු පිරිසක් නිවාඩු ගත කරන්නට පිට පළාත්වලට ගොස් සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවා එම අවස්ථාවේ සිටියේ කොළඹින් පිට ය. ඔහු නුවරඑළියේ විවේක සුවයෙන් කල්ගත කළ බව වාර්තා විය.

සාමාන්‍යයෙන් දෙසැම්බර් 31 වැනිදාට කැපීපෙනෙන ආගමික උත්සව පැවැත්වෙන්නේත් මහා සෙනඟක් ඒකරාශී වන්නේත් කතරගමය. මීට බොහෝ කලකට පෙර පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දෙසැම්බර් 31 දා රාත්‍රිය පුරා කතරගම පූජා භූමියේ පිරිත් පිංකමක් සිදු කරනු ලබයි. සිරිමාවෝ මැතිනියගේ මූලිකත්වයෙන් පටන්ගත් මේ පිරිත් පිංකම පසුකාලීනව දිගටම පවත්වාගෙන ගියේ මහින්ද රාජපක්ෂලාය. මහින්ද රාජපක්ෂලාගෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෙම පිංකම සංවිධානය කළේ මහින්ද අමරවීරය. එහෙත් 2022 පසුගිය 31 වැනිදා මේ පිංකම කවුරුන් විසින් සංවිධානය කළ යුතු දැයි කියා ප්‍රශ්නයක් ඇති විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වූයේ මෙම පිරිත් පිංකම තම පක්ෂය විසින් සංවිධානය කිරීමට වුවත් කතරගම පූජා භූමියේ ඇති විහාරස්ථාන දෙකෙහි හාමුදුරුවරු ඒ සඳහා අනුමැතිය පළ කළේ නැත. උන්වහන්සේලාගේ අදහස වූයේ කිසිදු දේශපාලන පිල් බෙදිල්ලකින් තොරව මහින්ද අමරවීර විසින්ම සුපුරුදු පරිදි එම පිරිත් පිංකම පවත්වනු ඇතැයි කියාය.

අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය 29 වැනිදා රාත්‍රියේ කැලණිය රජ මහා විහාරයේ දී එම පිරිත් පිංකම පවත්වනු ලැබීය. මහින්ද අමරවීර ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු කණ්ඩායමේ පිරිසක් කතරගම පිරිත සංවිධානය කළහ.

කෙසේ වෙතත් මහින්ද අමරවීර මෙයට සහභාගි වන්නැයි කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේනට ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනියට ද ආරාධනා කර තිබීම විශේෂත්වයකි.

කතරගම පූජා භූමියේ එදින ආලෝක පූජාව විවෘත කිරීමට මහින්ද රාජපක්ෂ ද පැමිණ සිටියේය. චමල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරු ගණනාවක්ම ඊට සහභාගි වී සිටියහ. මහින්ද ආලෝක පූජාවෙන් පසුව පුදබිමෙන් ඉවත්ව ගියත් චමල් ඇතුළු සියලුම දෙනා පිරිත් පිංකමට සහභාගි වෙමින් බොහෝ වේලාවක් රැඳී ඉන්නවා දැකගත හැකිවූහ.

මෙම පිංකමට චාමර සම්පත් පැමිණියේ විශාල පිරිසක් ද රැගෙනය. නිමල් සිරිපාල, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, දුමින්ද දිසානායක ඇතුළු ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් එදින කතරගම පුදබිම පිරී ඉතිරී ගොස් තිබුණා යැයි කීවොත් නිවැරැදිය.

චාමර සම්පත් ඔහු සමග ආ කණ්ඩායමට සලකන්නට වෙනමම සංචාරක බංගලාවක් ලබාගෙන තිබිණි. පූජා භූමියේ පුණ්‍යකර්ම සිදුවන අතරතුරම කතරගම ප්‍රදේශයේ තැන් තැන්වල පිහිටි සංචාරක බංගලා හා හෝටල්වල තර්ටිෆස්ට් නයිට් පාටි ද ගණනාවක්ම පැවැත්වුණු බැවින් දේශපාලනඥයන්ට විටින් විට ඒවාටද සම්බන්ධ වන්නට සිදුවිය.

නිමල් සිරිපාල ද සිල්වාගේ මැදිහත්වීමෙන් පසුවදා උදේ කතරගම අලුත් අවුරුදු කිරිබත් මේසය සූදානම් විය. ඔහුගේ පවුලේ කාගේදෝ උපන් දිනයක් නිසා උදේ ආහාර වියදමින් ඉන් හරි අඩක් ඔහු විසින් දැරූ අතර ඉතිරි මුදල අමරවීර වියදම් කළේය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුව පැවති අවස්ථාවේදී ද බොහෝ මැති ඇමැතිවරු කතා කළේ මෙවර කතරගම පිංකම ගැනය.

“ඔබතුමා ශ්‍රී ලංකා එකට අයිති පිංකම හයිජැක් කළා කියලයි ශ්‍රී ලංකා එකේ මහ ලේකම්තුමා කියන්නේ….” මාධ්‍යවේදියෙක් අමරවීරගෙන් එසේ ඇසුවේය.

එහෙම කියන්න එයා මීට කලින් අවුරුදු කීයක් ඔය පිංකම කරලා තියෙනවද කියලා අහන්නකෝ. මෛත්‍රිපාල මැතිතුමත් ගිය අවුරුද්දේ ආවෙ මම ආරාධනා කරලා…”

“ඔබතුමා චන්ද්‍රිකා මැතිනියට ආරාධනා කළේ නැද්ද..?”

“එතුමියට එන්න විදියක් නෑ කියලා මට කතා කරලා කිව්වා. එතුමියගේ දුවලා පුතාලා ඇවිත්. ඒක නිසා ඒ ගොල්ලො ඔක්කොම එදා නුවරඑළියෙ. දරුවන්ව එහෙම්මම එයාපෝට් ඇරලවලා තමයි ආපහු එනවා කිව්වේ. හැබැයි එතුමිය නාවට අත්තනගල්ලෙන් ලොකු පිරිසක් පිරිත් පිංකමට එවලා තිබුණා…” අමරවීර විස්තර කළේය.

● 2023 නව අවුරුද්දේ
ජනපතිගේ උපදේශය…

මෙම අවුරුද්දේ ජනවාරි පළමු වැනිදා ඉරිදා දිනට යෙදී තිබීම නිසා කාර්යාල සේවක පිරිස් මුලින්ම සේවය පිණිස වාර්තා කර තිබුණේ 2 දාය.

ජනාධිපති ලේකම් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සේවක පිරිස ද දෙවැනිදා වැඩට පැමිණි වහාම කළේ උදේ පාන්දරම ජනාධිපතිවරයා විසින් පවත්වනු ලබන උත්සවයට සහභාගි වීමයි.

මෙය විවෘත උත්සවයක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අතර මගතොට යන එන වුන්ට ද කිරිබත් කෑල්ලක් කෑම සඳහා ලේකම් කාර්යාලයට පැමිණිය හැකි විය.

ජාතික ධජය එසවීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පුංචි කතාවක් කළේය. ඒ සඳහා ඔහු වෙනදා මෙන් ඇතුළට ගියේ නැත. ලේකම් කාර්යාලය ඉදිරිපිට පඩිපෙළට ගොඩ වූ ජනාධිපති සේවක පිරිස අමතා කතා කළේය.

ඔහු මෙහිදී ඉතා විශේෂ කාරණාවක් කෙරෙහි අවධානය යොමු කළේය.

“රාජ්‍ය සේවය කරන හැම කෙනෙක්ම පැය අටේ සේවය, දින පහේ රාජකාරිය, කියන මානසිකත්වයෙන් මිදිලා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. එතකොටයි ඕගොල්ලන්ගේ සේවය ඵලදායී එකක් වෙන්නේ…”

ඉන් අනතුරුව ජනාධිපතිවරයා අවුරුදු කෑම මේසය වෙත ගියේ පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගේ ආරාධනාවෙනි. මෙවර ජනාධිපති කාර්යාලයේ කෑම මේස දෙකක් සූදානම්ව තිබිණි. එකක් ජනාධිපතිවරයාට සුබපතන්නට හා විශේෂ ප්‍රභූන් හා අමුත්තන් වෙනුවෙනි. දෙවැනි කෑම මේසය කාර්යාල සේවක සේවිකාවන් හා සාමාන්‍ය ජනතාව වෙනුවෙනි.

ජනාධිපති කෑම මේසය ළඟට පැමිණ අමුත්තන් හා ප්‍රභූන් සමඟ කතාබහ කරමින් සිටියේය. ටික වේලාවක් යන විට එම මේසයත් ස්ථානයත් විශේෂ අමුත්තන්ගෙන් පිරී ගියේ නව වසරේ ජනාධිපතිතුමාට සුබපතන්නට පැමිණි මැති ඇමැතිවරුන් හා නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සිටි නිසාය.

● ජනාධිපති හමුවන්න
එංගලන්තෙන් ආ මිතුරා…

මේ අතර එදින දහවල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවන්නට විශේෂ අමුත්තෙක් තම පවුලේ උදවියත් සමග පැමිණ සිටියේය. අමුත්තා බි්‍රතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ය. ජනාධිපතිවරයා ඉතා උණුසුමින් ඔහුව ඔහුගේ පවුලේ උදවියව පිළිගෙන ඉතා සාදරයෙන් කතාබස් කරමින් සිටියේය.

“ලංකාව කියන්නේ ලෝකයේ තිබෙන රටවල් අතරින් මම වඩාත්ම ආස කරන රටක්. මගේ පවුලේ අයත් එහෙමයි. නිවාඩුවක් ලැබුණම අපි මෙහෙ එනවා. අප්‍රසිද්ධියේ හැම තැනම ඇවිදලා යනවා. මේ පාරත් අපි ඉතා හොඳ නිවාඩුවක් ගත කළා…”

ඩේවිඩ් කැමරන් ඉතා නිහතමානීව එසේ කියද්දී ජනපති රනිල් මෙවන් දුෂ්කර සමයක ශ්‍රී ලංකාව සංචාරය සඳහා තෝරාගැනීම සම්බන්ධයෙන් කැමරන්ට ස්තුති කළේය.

මෙහිදී අප ජනාධිපතිවරයා මේ විශේෂ ප්‍රභූවරයා හා සාකච්ඡා කළේ ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන ආධාර උපකාර වේගවත් හා විධිමත්කරවා ගැනීම ගැනයි. එහිදී ජාත්‍යන්තරව තම සබඳතා ද පාවිච්චි කරමින් ලංකාවට ආධාර උපකාර කරන්නට කැමරන් ද කැමැත්ත පළ කළේය.

රටේ ජනතාව අතර අන්‍යොන්‍ය සුහදත්වය හා අවබෝධය ඇති කර ගනිමින් රටේ සංහිඳියාව පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා දරන උත්සාහය බි්‍රතාන්‍ය හිටපු රාජ්‍ය නායකයාගේ පැසසුමට ලක් විය. ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන්ද දෙදෙනා අතර අදහස් හුවමාරු විය.

නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම එදා හවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු ස්ථානයේම පැවැත්විණි. ඇමැතිවරු පැමිණ නව අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් හුවමාරු කර ගැනීම්වලින් අනතුරුව නිල රාජකාරි කටයුතු ආරම්භ විය.

බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූයේ විදුලි බිල වැඩිකිරීම සඳහා වන නව යෝජනාවලිය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි කියාය. මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල දිගින් දිගටම කංචන විජේසේකරට ලොකු විරෝධයක් ඇතිවිය. ඇමැතිවරු බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් සතුටින් සිටියේ නැත. රටේ ජනතාව විඳින දුෂ්කරතා සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමුකළ යුතු යැයි කෙලින්ම කී ඇමැතිවරු ද වූහ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාවරයාගේ උපදෙස් පරිදි මෙම සතියේ එම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන බව අදාළ ඇමැතිවරයා දන්වා සිටියේය. මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කර විසඳුමකට ඒම අවශ්‍ය බව සෙසු ඇමැතිවරුන්ගේ අදහස වූහ.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් රටේ පොදු ජනතාව අතර ද ඇමැතිවරයාට මෙන්ම විදුලිබල මණ්ඩලයට ද දැඩි විරෝධයක් නිර්මාණය වෙමින් පැවතිණි. විදුලි බල මණ්ඩලය පාඩුයි කියමින් ජනතාවගෙන් මුදල් අයකිරීම සඳහා අසාධාරණ පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් එක් පැත්තකින් ජනතා විරෝධය කුළුගැන්වෙමින් තිබිණි. ඒ අතර කංචන විජේසේකරගේ කළමනාකාරීත්වයෙන් පාලනය වන හා රාජ්‍ය ආයතන දෙකක් ඇතුළු ආයතන තුනක් ගිය වසර අවසානයේ ප්‍රසාද දීමනා ලබාදීම ගැන ද ලොකු විරෝධයක් තිබිණි. ජනතාව කතාබහ කළේ තවදුරටත් පාඩුයි පාඩුයි යැයි කියන විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලංකන් ගුවන් සේවය කෝටි ගණනින් මුදල් වැය කරමින් සේවකයන්ට බෝනස් ගෙවීම සාධාරණ ද කියා තර්ක කරමිනි.

මීට පෙර මුදල් ඇමැතිවරයා මෙන්ම රටේ ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ විසින් පාඩු ලබන කිසිදු ව්‍යවස්ථාපිත හා අර්ධ රාජ්‍ය ආයතනයක් සඳහා ගෙවීම් නොකරන්නැයි කියා විශේෂ නිවේදනයක් ද නිකුත් කොට තිබිණි. එසේ තිබියදීත් මෙම ආයතන තුනට බෝනස් ගෙවීම ගැන ලොකු ප්‍රශ්නයක් මතුවිය.

විදුලිබල මණ්ඩලයේ ඒ සඳහා ඉල්ලීමක් වෙතත්, පාලනාධිකාරිය බෝනස් ගෙවා නැතැයි කියා අදහසක්ද මතුවිය. කෙසේ වෙතත් එබඳු චෝදනා ඇති ආයතනවල සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු කැඳවන්නට ජනාධිපති තීරණය කළේය.

මෙම ආයතනවලින් බෝනස් ඉල්ලා තිබුණේ වෘත්තීය සමිති විසිනි. රටේ පාඩු ලබන ආයතනවල නාස්තිය හා දූෂණය ගැන කෙස් පැළෙන තර්ක ගෙනෙන ඇතැම් දේශපාලන පක්ෂ තම තමන්ගේ ම වෘත්තීය සමිති විසින් බෝනස් ලබා ගැනීම සඳහා කරන සටන්වලදී මුනිවත
රැකීම සම්බන්ධයෙන් ද පසුගිය සතියේ ජනතාව අතර ලොකු කසුකුසුවක් තිබිණි.

● අගමැති සමග
මාධ්‍ය මිතුරෝ…

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා එවකට මහරගම මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත් වී ජාතික දේශපාලනයේ කළ කී දේ සම්බන්ධයෙන් මේ රටේ මාධ්‍යවේදීන් තුළ ලොකු ප්‍රසාදයක් නිර්මාණය වී තිබිණි.

මාධ්‍යවේදීන් ඔහුට ආදරය කළේ ඔහු එදා තනිව පාර්ලිමේන්තුව තුළ සිංහලයාගේ හා බෞද්ධයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ගෙනගිය සටන නිසා පමණක් නොවේ, මාධ්‍යවේදීන් ආරක්ෂාකර රැකගත් දැඩි මිත්‍රත්වය ද නිසාය.

ඒත් පසුකාලීනව දිනේෂ් ගුණවර්ධන විවිධ රජයන්හි තනතුරු දරමින් පාලකයකු ලෙස තහවුරු වීමත් සමගම මාධ්‍ය සමඟ ආරක්ෂාකරගත් මිත්‍රත්වය ටිකින් ටික ඈත් වන්නට විය. ඒ ගමනේ පරිපාකයට පැමිණ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ දා පටන් ඔහුට ඒ නැතිව ගිය මිත්‍රත්වය යළි දිනා ගන්නට අවශ්‍ය විය.

2022 වසර ඉවර වන්නට ඔන්න මෙන්න තියා අගමැතිවරයා අරලියගහ මන්දිරයට සිය ලෙන්ගතු මාධ්‍ය මිතුරන් කැඳවන්නට කල්පනා කළේය. කෙසේ වෙතත් රටේ ජනතාව ඉතා දුක්ඛිතව අමාරුවෙන් පසුවන මේ වෙලාවේ කා බී ප්‍රීති වීම වෙනුවට ඉතා සුහද කෙටි රාත්‍රී භෝජන සංග්‍රහයකින් මෙම හමුව අවසන් කරන්නට අගමැතිවරයා තීරණය කළේය. කෙසේ වෙතත් මේ අවස්ථාව දිනේෂ් අගමැති වූවාට පසු මාධ්‍ය හමුවන පළමු අවස්ථාව නිසා එය මිතුරු හමුවක් ලෙස පවත්වන්නට අවශ්‍ය විය.

අගමැති මෙම අවස්ථාවට සහභාගි වන්නටත් පෙර මාධ්‍යවේදීන් එදින වේලාසන පැමිණ සිටියේ වේලාසන ආපසු යන්නට බලාගෙනය. මේ සංග්‍රහයට මත්පැන් ආදී කිසිවක් සපයා නොතිබීම නිසා සංග්‍රහය වේලාසන අවසන් කිරීමටද අභියෝග කිසිත් නොවී ය.

අගමැතිවරයා සාදය සූදානම් කර තිබුණේ අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති තණ පිටියේ ය. ඇතැම් තැන්වල තණකොළ පිළිස්සී ගොස් මෙන් තිබෙනු දුටු මාධ්‍යවේදීන් ඒ ගැන අගමැතිවරයාගෙන් විමසා සිටියේ ඔහු පැමිණ සුහද කතාබහට එක් වූ පසුවයි…

“මේ සාදය පවත්වන තැන ටිකක් විශේෂ එකක්…”’ දිනේෂ් එසේ සිනාවෙමින් කියන විට බන්දුල ගුණවර්ධන ශාන්ත බණ්ඩාර යන දෙදෙනා ද එහි සිටියහ. බන්දුල කොහොමටත් කතාබහට රුසියෙකි. ඔහු යම් යම් අතීත කතා රසට කියන්නට පරිචයක් ලැබ තිබුණේ අතීතයේ ඔහු ටියුෂන් පන්ති කරනා සමයේ සිටය.

ඔයගොල්ලෝ දන්නවද මේ තණකොල පිළිස්සිලා තියෙන්නෙ ඇයිද කියලා… අර අරගලයේ කට්ටිය අරලියගහ මන්දිරය අල්ලගෙන ඉන්න කාලේ මෙතන තමයි මහා විශාල කල්දේරම් ලිප් පත්තු කරල බත් උයල තිබුණේ…”

“ඒගොල්ලො දර ලිප්වලනේ උයල තිබුණ නේද….” මාධ්‍යවේදියෙක් කීවේය.

“උයලා නම් තිබුණෙ දර ලිප්වල තමයි. හැබැයි ඉතින් ඒකට එයාලා දර විදිහට පාවිච්චි කරලා තිබුණේ අරලියගහ මන්දිරයේ තිබුණු ඉතාමත්ම වටිනා පෞරාණික දැව භාණ්ඩ. ඒකයි ප්‍රශ්නේ…”

“කාලයක් යනකම් මෙතන තණකොළ හැදෙන එකක් නෑ…”

“කොහොමටත් ඔය පස පිච්චුනාම තණකොළ හැදෙන්නෑ. ඔය තැන්වල පස් මාරුකරලා අලුතෙන් තණකොළ ඉන්දන්න ඕන….” එහි සිටි දැනුම් තේරුම් ඇති නිලධාරියෙක් කියා දුන්නේය.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන් වැඩි වෙලා නොගොස්ම සාකච්ඡාව හමාර කොට රාත්‍රි ආහාර වේලකින් පමණක් සෑහීමකට පත්වී ආපසු යන්නට ගියහ. එසේ සෑහීමකට පත්වන්නට අපහසු මාධ්‍යවේදීන් පැමිණ සිටියේම නැත.

● හිරුණිකාගේ ඉලක්කය
පඳුරට ද හාවටද…?

පසුගිය සතිය සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට අභියෝග රැසක් එල්ල වූ සතියක් ලෙස ඉතිහාසයට එක් විය.

මේ අතර කැපී පෙනෙන එක අර්බුදයක් නිර්මාණය කළෝ හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. ඇය විසින් මීට ටික දිනකට පෙර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට ලක් කළ ආශු මාරසිංහට එරෙහි අභියෝගය අවසානයේ ආපසු කැරකී පැමිණියේ සජිත් ඉදිරියට ය. එය තරමක් සංකීර්ණ කතාවක් විය.

ඇය විසින් ආදර්ෂා කරදන නම් කාන්තාවක් මාධ්‍යයට ගෙන එමින් පසුගිය දිනක ජනාධිපති උපදේශකයකු වන ආශු මාරසිංහට එරෙහිව එක්තරා ප්‍රචාරක යුද්ධයක් ආරම්භ කළාය. එම කාන්තාව ද ඡායාරූප කීපයක් ද යොදාගෙන ආශු ට එරෙහිව ගෙන ගිය මාධ්‍ය ව්‍යාපාරය මුලදී ඉතාමත්ම අවාසිදායක ලෙස ආශුගේ පැත්තට බලපෑ බව ඇත්ත ය.

එහෙත් ප්‍රශ්නය වූයේ ඊටත් වඩා බරපතළ පෙර වැරදි රාශියක් සම්බන්ධ හඬ පට රැසක් ඉන්පසුව එම කාන්තාවට එරෙහිව සමාජ මාධ්‍ය හරහා එක පෝලිමට එන්නට පටන් ගැනීමයි. කවුරුන් විසින් කෙසේ ඒවා එළිදක්වනු ලැබුවද අවසානයේ ඒ සියල්ල අවාසිදායක ලෙස බලපෑවේ කරදන නම් කාන්තාවට වත් හිරුණිකාටවත් නොව, සජිත් ප්‍රේමදාසගේ දේශපාලනේ දකුණු අත වන් හිතවතකු වූ බුද්ධික පතිරණට යි.

අහක සිටි බුද්ධිකට මඩ නාන්න වූයේ හිරුණිකා නිසා යැයි කිව්වොත් එතන දී නිවැරදිය. කෙසේ වෙතත් අවසාන විග්‍රහයේ දී එම සෘණ ලකුණු සියල්ල බලපෑවේ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ප්‍රතිරූපයටය.

● දේශපාලන කරළියේ
රනිල් රසිකයෙක්ලු….

මේ අතරතුර පසුගිය සතියේ සමගි ජනබලවේගය හා ජාතික ජනබලවේගය අතරද ලොකු ප්‍රචාරක යුද්ධයක් ඇතිවිය. එය සිදුවූයේ මෙසේය.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂයේ ඉහළ පෙළේ ක්‍රියාකාරීන් මේ දිනවල රට පුරා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යමින් ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ කොට ඇත්තේ මේ වසරේ පැමිණිය හැකි පුංචි ඡන්දය ඉලක්ක කරගෙන බව රහසක් නොවේ. අරගලයේ ක්‍රියාකාරීත්වයෙන් පසුව ඇතිවූ රාජපක්ෂවරුන්ගේ පරිහානියත් ආණ්ඩු වෙනසත් රට මුහුණ පෑ ආර්ථික අර්බුදයත් නිසා රටේ ජනතාව අතර පුළුල් ආකල්ප පරිවර්තනයක් ඇති විය. පැවැති ක්‍රමයට හා රාජපක්ෂවරුන්ගේ පාලනයට විරුද්ධ පොදුජනතාව දැන් සිටින්නේ තමන් සමග යැයි ජාතික ජනබලවේගය තරයේ විශ්වාස කළහ. එම නිසා මෙවන් අවස්ථාවක පවතින ඡන්දයක උපරිම ප්‍රතිඵල තමන්ට හිමි වෙතැයි ඔවුන් විශ්වාස කළහ.

ඒ අතර සමගි ජනබලවේගය ද අධිතක්සේරුවක සිටියේය. රාජපක්ෂවරුන් පිරිහී සිටින රාජපක්ෂවරුන් සමග එක්ව ආණ්ඩුව කරන ජනාධිපති රනිල් ඇතුළු කණ්ඩායම පිරිහී සිටින මේ අවස්ථාවේ ඡන්දයක් පැමිණිය හොත් එහි නිසැක ජය තමන්ට අත්වෙතැයි සජිත් ප්‍රමුඛ සමගි ජනබලවේගය විශ්වාස කළහ.

එක් පැත්තකින් ජනතාව ඉන්නේ තමන් සමඟ පමණක් යැයි සජිත් විශ්වාස කරන අතරේ අනිත් පැත්තෙන් ජාතික ජනබලවේගය ද රටේ පොදු ජනතාව ඉන්නේ තමන් සමග පමණක් යැයි අධිතක්සේරුවක පසු වූහ.

මේ වෙලාවේ ඡන්දයක් පැමිණිය හොත් එහි නිසැක ජය තමන්ට හිමි වෙතැයි සිතන සජබය ඊට සමාජයේ ඇති ප්‍රබලම බාධකය ලෙසත් දුටුවේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේගය වේදිකාව මත කරමින් සිටින ඡන්ද සටනයි.

දැනට සමාජ මාධ්‍ය කරළියේ ජයග්‍රාහකයාව සිටින්නේ ද ජාතික ජනබලවේගය බව රහසක් නොවේ.

මේ තත්ත්වයට ක්ෂණික විසඳුමක් කල්පනා කළ සමගි ජනබලවේගයේ නායකයෝ ජාතික ජනබලවේගයට එරෙහි සටන වේදිකාවේ ආරම්භ කරන්නට කල්පනා කළාහ.

පසුගිය සතියේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගයේ නායකයෝ ජාතික ජනබලවේගයට එරෙහිව අවි අමෝරා ගන්නේ ඒ අනුවය.

ඒ ආකාරයෙන්ම කල්පනා කළ ජාතික ජනබලවේගය ද පසුගිය සතියේ වැඩ ආරම්භ කළේය. රටේ දේශපාලන කරළියේ බිම් මට්ටමේ බලය ලබාගැනීමට නම් පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කළ යුතුය. ඒ සඳහා ඇති ලොකුම බාධකය සජිත් ය. ඒ නිසා පළමුව සජිත් පළාත් පාලන දේශපාලන ඡන්ද සටන තුළ විනාශ කර දැමිය යුතුය. ජාතික ජනබලවේගය පසුගිය සතියේ ඒ සඳහා අවි අතට ගත්තේය.

අද දේශපාලන කරලියේ දක්නට ඇත්තේ සජිත්ට බණින අනුර කුමාර කෙනෙක්ය. අනුර කුමාරට බණින සජිත් ප්‍රේමදාස කෙනෙක් ය.

මේ සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ ඒ දෙපාර්ශ්වයේ සටන් නිසාය. අනුරට බණින සජිතුත් සජිත්ට බණින අනුරත් ඒ සටන දෙස රසිකයෙකු ලෙස පැත්තකට වී උපේක්ෂාවෙන් යුතුව බලා සිටින ජනාධිපති රනිල් කෙනෙකුත් අපි පසුගිය සතියේ දේශපාලන කරළියේ දැක ගත්තෙමු.

● පුංචි ඡන්දය ගැන
එක අදහසක් නෑ

ඡන්දයක් පැවැත්වීම සඳහා දේශපාලන පක්ෂ මොන මොන ආකාරයෙන් සූදානම් වුවත් පසුගිය සතිය වන විට පැමිණි අලුත්ම ආරංචි වූයේ ඡන්දය පැවැත්විය නොහැකි බවයි.

මුලින් තිබුණේ ඡන්ද පැවැත්වීම සඳහා මුදල් සපයා ගැනීමේ අපහසුව බව සැබෑය. රුපියල් බිලියන 10 ක තරම් විශාල මුදලක් මේ වෙලාවේ සොයාගත නොහැකිය කියා කතාවක් ද ආවේය. එහෙත් ඉන්පසුව පැන නැගුණේ වෙන වෙනත් ප්‍රායෝගික ප්‍රශ්නයි.

මන්ත්‍රීවරු සංඛ්‍යාව පිළිබඳ තීරණයක් නොමැතිකම, කොට්ඨාස සීමා නිර්ණය කිරීම පිළිබඳ ප්‍රශ්න ආදිය ද ඊට ඇතුළත්ය.

කරුණු රැසක් මුල්කොට ගෙන මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනාගෙන් දෙදෙනකුම මැතිවරණය පැවැත්වීම පිළිබඳ නොහැකියාව ප්‍රකාශ කර තිබුණත් කොමිසමේ සභාපතිවරයා පමණක් මැතිවරණයක් පැවැත්වීමේ පැත්තේ සිටියේය.

මේ පිළිබඳ මතය විමසා ඇතත් කොමිසමට තිබුණේ බෙදුණු මතයකි. වහාම එක් මතයක් ප්‍රකාශ කරන්නැයි ජනාධිපතිවරයා ද ඉල්ලීමක් කර ඇති බව හෙළිදරව් විය.

ඒ අනුව වැඩි දෙනෙකුගේ කැමැත්තට කොමිසමේ තීන්දුව ප්‍රකාශ වනු ඇතැයි විශ්වාස කළ හැකිය.

ඡන්දය ඒ කෙලෙස පැමිණියත් ඊට සහභාගිවීම සඳහා නම් දැන් දේශපාලන පක්ෂ සූදානම් ය. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු කෙරෙහි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඒතරම් උනන්දුවක් දැක්වූයේ නැතත් වජිර අබේවර්ධන ප්‍රමුඛ පක්ෂයේ නිලධාරී පිරිස ලොකු අවධානයක සිටියහ. රුවන් විජේවර්ධන, රංගේ බණ්ඩාර, නවීන් දිසානායක පමණක් නොව රවී කරුණානායකලා පවා දැන් උනන්දු වන්නේ පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලින් සූදානමින් සිටියේ රනිල් වික්‍රමසිංහ හා එක්ව එළැඹෙන ඕනෑම ඡන්දයකට තරග කිරීමට ය. එහෙත් පසුගිය සතිය වෙනකොට ඒ අදහස ද වෙනස්වන බවක් දැකගත හැකි විය. බැසිල් මහතා පවත්වන ලද විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ සන්ධානයක් ලෙස නොව, පොහොට්ටුව ලකුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බවකි. විවිධ කණ්ඩායම් වෙන වෙනම ඉල්ලා එකට එකතු වී ආණ්ඩුව පිහිටුවීමේ උපක්‍රමය වඩාත් ප්‍රායෝගික බව ඔවුන්ට අනුව පැහැදිලි විය.

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය දැන් ඡන්දයකට කොහොමටත් සූදානම්ය. ඔවුන් දෙගොල්ලොම බිම් මට්ටමින් ඔවුන්ගේ ආසන සංවිධාන කටයුතු ගැන වෙහෙසෙමින් සිටිති.

පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ කීපයක් වෙනම ඉල්ලන්නට සන්ධානයක් හදා ගන්නටත් කතාබහ කළහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ බුලත් කොළය ලකුණෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ද යළි කරළියට ගෙන ඒමට ය. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල්ලාගේ උත්තර ලංකා සභාගය, ඩලස්ලාගේ නිදහස ජාතික පෙරමුණ යන පක්ෂ දෙක සමග කරන ලද මූලික සාකච්ඡාවන් සියල්ල සාර්ථක වී අවසන් විය. ඒ අතරතුර අනුර යාපා සමඟින් සිටින කීපදෙනා සමග ද ඔවුන් සාකච්ඡා කර තිබිණි. ඔවුන් වෙනම සන්ධානයක් ලෙස ඡන්දය ඉල්ලීමට බලාපොරොත්තු වන බව දැනටමත් තහවුරු වී අවසන්ය. තව තවත් තහවුරු කරන කාරණාවන් පසුගිය සතියේ අපට දක්නට ලැබිණි.

මේ කණ්ඩායම් තුනේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පසුගිය සතියේ මැතිවරණ කොමිසම ඉදිරියට ගොස් සිටියහ.

දයාසිරි ජයසේකර, ශාන් විජේලාල්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, චරිත හේරත්, නාලක ගොඩහේවා, ජී. ඇල්. පීරිස් ඇතුළු එම පක්ෂ තුනේ නියෝජිතයෝ පිරිසක් මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ පසුගිය බ්‍රහස්පතින්දා ය.

ඔවුන් කීවේ අපි සන්ධානයක් ලියාපදිංචි කිරීමේ දී මැතිවරණ කොමිසමෙන් මතුවිය හැකි ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි. මේ මොන සාකච්ඡාව කළත් ඡන්දය නිසි පරිදි පවත්වනු ඇතැයි ද කියා මාධ්‍යවේදීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටියහ.

“අපිත් ඔය ප්‍රශ්නෙ ඇහුවා. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසමේ මතය එකක් නොව, දෙකක් බවටත් ආරංචියක් පැතිර යන බවත් ඇහුවා. ඒත් කොමිසම ඒවා ප්‍රතික්ෂේප කළා.

“නාමයෝජනා කැඳවන්න ගැසට් එක ගහලා තියෙන්නේ… ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිල කටයුතු අපි දැන් කරගෙන යනවා” ඔවුන් එසේ කී බවට මෙම කණ්ඩායමේ ප්‍රකාශකයෝ මාධ්‍යවලට කරුණු හෙළිකර සිටියහ.

කෙසේ වෙතත් අවසානයේ ඉතුරු වූයේ කිසිවක් පැහැදිලි නැති තීන්දුවකි. පුංචි ඡන්දය පවත්වයි ද නැත්නම් කල් දමයි ද යන්න පසුගිය සතිය වන විටත් උත්තරයක් නොමැති ප්‍රශ්නයක්ම විය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment