මේ අවුරුද්දෙ මමයි සංගීතුයි අනිවාර්යයෙන්ම බඳිනවා – දිනිති වල්ගමගේ

481

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වූ රූමත් ඉතාමත් දක්ෂ,නිහතමානී,ආදරණීය වගේම හරිම සුන්දර අව්‍යාජ හදවතක් හිමි දිනිති වල්ගමගේ සමග අපි සුහද පිළිසඳරක යෙදුණේ ඇයගේ විවාහය සම්බන්ධව කතා කිරීමේ අරමුණින්.

● දිනිති අලුත් අවුරුද්දෙ කරන අලුත් වැඩ මොනවා ද?

අලුත් අවුරුද්දෙ ජීවිතේ විශේෂ වැඩ වගයක් තියෙනවා. ඒකට මේ දවස්වල සූදානම් වෙනවා. ඉතින් අනෙකුත් වැඩවලින් ටිකක් ඈත් වෙලා මේ දවස්වල පොඩ්ඩක් මගේ පෞද්ගලික ජීවිතේට මුල්තැන දීලා තියෙනවා.

● මේ වසරේ සිනමාවටත් ඇරයුම් ලැබුණ ද?

ඔව්. චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. සුරංග ද අල්විස් ගේ අලුත් චිත්‍රපටයකට සහ තවත් අලුත් චිත්‍රපටයකට අත්සන් කරලයි තියෙන්නෙ.

● එතකොට අලුතින් සම්බන්ධවෙන ටෙලිනාට්‍ය මොනව ද?

ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ “සුසුම් රස්තියාදුව” සහ සංජය නිර්මාල්ගේ BTS කියන ටෙලිනාට්‍ය දෙකේ රූගත කිරීම් එක්ක තමයි මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නේ.

● පිටපතක් අතට ලැබුණම සංගීත් ගෙන් අහල ද ඒ නිර්මාණය භාරගන්නේ ?

ඔව්. දැන් ඉතින් අහන්න වෙනවානෙ. වෙනදනම් තාත්තගෙන් ඇහුවේ. දැන් භාරකාරයා වෙනස් වෙලා. ඒ වුණාට සංගීත් මට කවදාවත් කියලා නැහැ මේක කරන්න එපා එහෙම කියලා. සමහර ඒව මම එයාගෙන් අහන්නේ නැතුවමත් අරිනවා. හැබැයි මම දැනගන්න ඕනානේ අඩුගානේ ඒක එයාගෙන් ඇසිය යුතු ද කියලවත්, ඒ නිසා ඉතිං අහනවා.

මේ අවුරුද්දෙ මමයි සංගීතුයි අනිවාර්යයෙන්ම බඳිනවා - දිනිති වල්ගමගේ

● එතකොට ආදරය -විවාහය කියන දේ ජීවිතයට දැනෙන්නෙ කොහොම ද?

ආදරේ කියන දේ ලස්සන කෙනෙක්ට මුණ ගැහුණොත් ඒක ලස්සනයි. එකෙන් මම අදහස් කළේ බාහිර රූපය ගැන නෙවෙයි. මනුස්සයකුගේ හදවතයි ලස්සන වෙන්න ඕනේ. මොකද ආදරය කියන්නෙ හරිම සංවේදී දෙයක්. අපිට ජීවිතේ විඳින්නත්, විඳවන්නත් පුළුවන් ආදරේ නිසා. ආදරය අපි හරිම පරිස්සමෙන් සහ කලබල නොවී තෝරාගත යුතු දෙයක්. විවාහයත් ඒ වගේ. අපි අඩු වයසෙ දී පාළුවට, තනියම ඉන්න බෑ, මගේ දේවල් බෙදාගන්න සහකාරයෙක් ඕනෑ කියලා හිතලා කාව හරි හොයා ගත්තොත් ඊට වඩා පසුතැවිලි වෙන්න වෙනවා. ඒ නිසා හරිම පරිස්සමින් හරිම ආදරේ තෝරා ගත්තොත් හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම අපි දැන ගන්නත් ඕනෑ ඒ දේ රැකගන්න. මොකද ළඟ ඉන්න කාලේ සතුටින් ඉන්නෙ නැතුව එයා ගියාට පස්සේ දුක් වෙලා, පසුතැවිලිවෙලා වැඩක් නෑනේ. මට දැන් විවාහ වෙන්න සුදුසු කාලේ හරි කියලා දැනුනම තමයි විවාහ වෙන්න ඕනෙ. මමත් ඉතින් කාලය ගත්තා. මමත් හිතනවා මම හරි තීරණය ගත්ත කියලා.

● දිනිති මුලින් පුංචි ඉඟියක් දුන්නනේ, අපිට කියමු ද දිනිතිගේ විවාහය ඉක්මණින්ම වෙනවද කියල ?

තවම දිනයක් නම් තීරණය කරලා නැහැ කවදද කියලා. නමුත් මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම සංගීතුයි,මමයි විවාහ වෙනවා.

● වෙඩින් එකට සූදානම් වෙන්නේ කොහොම ද?

පැය පහක් ඇතුළත ගන්න වෙඩින් එකකට ඇයි අපි කාලය නාස්ති කරගෙන අනවශ්‍ය විදියට වියදම් කරන්නේ නැහැ.මම කල්පනා කරන්න ඕනෑ විවාහයෙන් පස්සේ මගේ ජීවිතය වෙනස් වෙනවනේ කියලා. අන්න ඒ දේ හිතලා මම වැඩ කරන්න ඕනෑ. එහෙම නැතුව වෙඩින් එක දවස කියලා ණය වෙලා බොරුවට ,ලොකුවට, සෝබනේට ජයට ම ගන්න ඕනෑ කියලා නෙවෙයි මම සූදානම් වෙන්නේ. එකෙන් පස්සේ අපි ණය කාරයෝ වෙලා ප්‍රශ්න එක්ක ජීවත් වෙනවාට වඩා අපිට පුළුවන් විදියට තමයි අපි ඒ දේ කරන්න ඕනෑ. විවාහය කියනදේත් ජීවිතේට එකපාරයි ලැබෙන්නෙ. ඒ ලස්සන දවස තමන්ට දරන්න පුළුවන් වියදමින් කරලා සතුටින් ජීවත් වෙන එක තමයි වටින්නේ. සතුට කියන දේ අපේ අත ළඟ තියෙන්නෙ. පොඩි දෙයින් වුණත් අපිට සතුටු වෙන්න,සෑහීමකට පත්වෙන්න පුළුවන්. බොරු හීන ලෝකෙක ඉඳගෙන වෙඩින් එකට සූදානම් වෙන්න ඇත්තට ම මම කැමැති නැහැ.

● සංගීත් සතරසිංහ ගැන කතා කළොත්?

සංගීත් කියන්නේ එයාට එයාගේ ජීවිතේ මඟහැරුණ කෙනෙක්. එයා දැන් තමයි ජීවිතේ පටන් ගත්තෙ. එයා මාවත් හැම වෙලාවෙ ම සතුටින් තියන්න පුදුම විදිහට උත්සාහ ගන්නවා. හරිම ආදරණීය චරිතයක්. නිතරම එයාගේ වටේ ඉන්න අය සතුටින් තියන්න තමයි බලන්නෙ. කාගෙවත් හිත රිද්දන්න අකැමැති කෙනෙක්. මම යාළුවෙක් විදියට සංගීත්ව ආශ්‍රය කරන කාලෙත් එයා එහෙමයි. සංගීත් ළඟ දී මට වාහනයක් අරන් දුන්නා. එයා මට ඒක අරන් දීපු විදියත් මම දන්නවා. මොකද කොච්චර මහන්සි වෙනව ද රෑට පැය දෙකක් විතර නිදාගෙන නිදිමරා ගෙන හම්බ කරල ඒ දේ අරන් දුන්නෙ. ඇත්තට ම එයා ජීවිතේ පුදුම විදියට මහන්සි වෙන කෙනෙක්. ඇත්තට ම එයා හරිම පව්. ඉතින් හොඳ ආදරණීය දෙමාපියන් දෙන්නකු ගේ හොඳ,වැදගත්,ආදරණීය පුතෙක් තමයි සංගීත් කියන්නේ. මම හිතන්නෙ සංගීත් කියන්නෙ මට මගේ පිනට ලැබුණු කෙනෙක්.

● දිනිති පසුගිය අවුරුද්දෙ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වුණානේ ද?

ඒක මෙහෙමයි, අපි අමාරුවෙන් අපේම උත්සාහයෙන් තැනකට එන්න හදද්දී කවුරු හරි මොනවා හරි කිව්වොත් ඇත්තට ම කට වහගෙන ඉන්න පුළුවන් ද? බෑනේ. ඒක තමයි ඉතින් මමත් කළේ. මම බය නැතුව කතා කළා. මොකද මට එහෙම බලන් ඉන්න බැරි නිසා. මමත් කාගෙන් හරි යැපිලා එහෙම උඩට ආවා නම් මට කෙලින් කතා කරන්න බෑනේ. ඉතින් මගේ ශක්තියෙන් මම අද යම් තැනකට ඇවිල්ලා ඉන්නවා. ඕක ඉතින් බලන් ඉන්න අය හිතුවා ආ මෙන්න මෙයා අමුතු විදියට කතා කරනවා, පුදුම පණ්ඩිත කමක්නේ තියෙන්නේ එහෙම කියලා. ඇත්තට ම ඒ මගේ හැටි. මම එහෙම කෙනෙක් නෙවෙයි. අද ගත්තම බලන්නකො සමාජ මාධ්‍යවල මිනිස්සුන්ට තව කොච්චර කටකතා හදනව ද කියලා. අපි කියලවත් නැති හිතලවත් නැති දේවල් ඒ අය කතාවක් නිර්මාණය කරගෙන ප්‍රසිද්ධ කරල විව්ස් ගන්න හෝ වේවා තමන් ගේ පිටුව අප් කරගන්න හිතලා පළකරනවා. ඒකෙන් තවත් මනුස්සයකුගේ චරිතයට කොච්චර හානියක් වෙනවද කියලා හිතන්නේ නැහැ. මම නම් කියන්නේ එහෙම කරන්න හොඳ නැහැ.

පාරමී කෞෂිකා
ඡායාරූප – ඉමාන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment