ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මතු කෙරේ

176

විමර්ශන අඛණ්ඩව දින තුනක් පැවැත්වීමට තීරණයක්
නිසි ක්‍රියා පටිපාටිය සංවර්ධනය කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්ට නියෝග

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පෙරේදා (14 වැනිදා) පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප් කමිටුව) දැඩි ලෙස අවධානයට ලක් වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් එදින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබිණි.

මෙහිදී 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දු වාර 20 -20 ලෝක කුසලානය(පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව ඇතුළු කරුණු විමර්ෂණය කිරීම සිදුවිය. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කනපතිපිල්ලේ මහේසන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

කාරක සභාව ආරම්භයේදීම විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තිය ඇතුළු නෛතික ප්‍රතිපාදන මත විගණකාධිපතිවරයාට ක්‍රිකට් ආයතනය විගණනය කිරීමේ බලය ලැබී ඇති ආකාරය පැහැදිලි කළේය.

ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සමාජ සඳහා අවශ්‍ය මග පෙන්වීම සහ නියෝග ලබා දී ඇති බව ලේකම්වරයා පැවසුවද ඒ සඳහා අමාත්‍යාංශයේ මැදිහත්වීම වැඩි විය යුතු බව කමිටුව විසින් අවධාරණය කරන ලදී.

නෛතික ප්‍රතිපාදන අනුව විධායක කමිටුව විසින් අමාත්‍යවරයාගේ අනුමතිය ලබා ගතයුතු වුවද ඔස්ටේ්‍රලියාවට යෑම සඳහා අමාත්‍යවරයාගේ ආවරණ අනුමැතියට යටත්ව 2022.10.07 දින ලේකම්වරයා අනුමැතිය ලබා දී ඇතත් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා දී නොතිබීම පිළිබඳව අවධානය යොමුවිය. මේ අනුව එවකට හිටපු ලේකම්වරයා ඉදිරියේදී ගෙන්වීමටත් ඊට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමටත් තීරණය විය.

ඔස්ටේ්‍රලියානු සංචාරය සඳහා විධායක කමිටු සාමාජිකයන් වෙනුවෙන් ගෙවිය යුතු බවට ගිණුම්ගතකර තිබූ රු. මිලියන 8කට ආසන්න මුදලක් විගණන පරීක්ෂාව අතරතුර ගිණුම්වලින් ඉවත් කිරීම සහ ඊට අදාළ බිල්පත් විගණනයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව ද සාකච්ඡා විය. මේ අනුව ආයතනයේ කටයුතු සඳහා නිසි ක්‍රමවේදයන් සකස් විය යුතු බව කෝප් කමිටුව අවධාරණය කරන ලදී.

2016 ගැසට් පත්‍රයකට අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව සතු බලතල 2020 වසරේදී ඉවත් කිරීමෙන් ක්‍රීඩා සංගම්වලට සිය සිතැඟි පරිදි කටයුතු කිරීමට බලය ලැබී ඇති බවත් සාකච්ඡා විය. මෙම තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා සංගම්වලට කැමති පරිදි මුදල් වියදම් කිරීමට බලය ලැබී ඇති බවත් එබැවින් 2016 පැවති නෛතික තත්ත්වය නැවත සමාලෝචනය කළ යුතු බව සාකච්ඡා විය.

ඔස්ටේ්‍රලියානු සංචාරය සඳහා වීසා ලිපි නිකුත් කිරීමේ ගැටලු, ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සම්බන්ධ විගණන විමසුම්, විදෙස් සංචාර සඳහා මාධ්‍ය ආයතන තෝරා ගැනීමේදී විනිවිද බවකින් යුතු විවෘත ක්‍රමවේදයක් භාවිතා කිරීමේ අවශ්‍යතාව ඇතුළු කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

මේ අනුව ක්‍රිකට් ආයතනයේ නිසි ක්‍රියා පටිපාටිය සංවර්ධනය කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්ට නියෝග කළ අතර ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවත් කමිටුව විසින් අවධාරණය කරන ලදී.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන අඛණ්ඩව දින තුනක් පැවැත්වීමටත් ඉදිරියේදී එම දින දැනුම් දීමටත් තීරණය කෙරිණි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අනුර දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, ඉරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, නලින් බණ්ඩාර, එස්.එම්. මරික්කාර්, හේෂා විතානගේ, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, මේජර් සුදර්ශන දෙණිපිටිය, ප්‍රේම්නාත් සී. දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ. එසේම කෝප් කමිටු සාමාජිකයන් නොවන මන්ත්‍රීවරුන් රැසක් ද කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත මෙම රැස්වීමට සහභාගී වූහ.
අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment