වැඩ කරන ජනතාවගෙන් ලක්‍ෂ තුනක් දියවැඩියාව නිසා අන්ධවෙලා

79

විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල
දියවැඩියා රෝගීන් වහාම අක්‍ෂි රෝහලට යන්න – විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක

දියවැඩියාව හා සම්බන්ධ දෘෂ්ටිවිතානයේ ආබාධ බොහෝ විට පෙනීම නැතිවෙන තුරු තමන්ට නොදැනෙන බවත්, එබැවින් දියවැඩියා රෝගීන් වහා අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ රෝහල් තුළ ඇති අක්ෂි රෝග සායන වෙත පැමිණ අක්ෂි පරීක්‍ෂණයකට භාජනයවීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පැවසීය.

දියවැඩියාවට ගොදුරුව ඇස් පෙනීම දුර්වල විශාල පිරිසක් අක්ෂි රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බවද ඒ මහතා කීය.

නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබූ ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකාවේ දෘෂ්ටි විතානය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ මාධ්‍ය වැඩමුළුවේදී ඔහු එසේ කියා සිටියේය.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

ලංකාවේ සියයට 11ක් දියවැඩියාවෙන් පෙළෙනවා. ඉන් වැඩි පිරිසක් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් තුන්දෙනෙකුගෙන් එක්කෙනෙකුට දියවැඩියාව නිසා ඇසට හානි සිදුකරන රෙටිනෝපති තත්ත්වය ඇති කරනවා. මේ තත්ත්වය නිසා පුද්ගලයන් දසදෙනකුගෙන් එක් අයෙක් අන්ධභාවයට පත්වෙන්න පුළුවන්.

මේ රෙටිනෝපති තත්ත්වය නිසා හුඟක්ම අන්ධභාවයට පත්වෙනවා කියලා හොයාගෙන තියෙන්නේ වැඩ කරන පිරිස්.

දෘෂ්ටි විතානය සම්බන්ධ අක්ෂි විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා

ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් ලක්‍ෂ 3ක් මේ වනවිට දියවැඩියාව නිසා අන්ධභාවයට පත්වෙලා ඇතැයි අනුමාන කරනවා. මේ රටේ මිලියන 3ක් දියවැඩියා රෝගීන් ඉන්නවා. එයින් සියයට 35කට රෙටිනෝපති තත්ත්වය තියෙනවා.

මෙම අවස්ථාවට ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ. ආර්. එම්. තවුෆික්, රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චින්තක වටවල, වැඩමුළුව සම්බන්ධීකාරක හෙද නිලධාරිනි නදී රාජකරුණා යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment