රට කරන්නේ ඇමැතිලා නොවෙයි: වෙනමම පාර්ශ්වයක් ඇමැති බන්දුල මැතිසබයේදී කියයි

344

රට හෝ ආණ්ඩුව පාලනය කිරීම ඇමැතිවරුන් විසින් නොව, වෙනත් පාර්ශ්වයක් විසින් සිදුකරන බව ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15 දා) කීය.

විපක්ෂ මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මෙම ප්‍රකාශය සිදු කළේය.

එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය.

කුමන රජයක් කවර ආකාරයකින් බලයට පත් වුණත්, කුමන ඇමැතිවරයකු කුමන විෂයය දැරුවත්, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් කිසිම මුදලක් කිසිම පාලමකට හෝ පාරකට හෝ වෙනත් ව්‍යාපෘතියකට හෝ ලැබෙන්නේ නෑ. ඒක තමයි මේ මහපොළොවේ තිබෙන යථාර්ථය. දැන් අපි හදන්න යන ගුවන් පාලම්, ඇළ වේලි ඉදිකිරීම් සියල්ල නතර වෙලා තිබෙන්නේ. මොන හේතුවක් කිව්වත්, මුදල් ගෙවන්න විදිහක් නෑ. මේකට කිසිම දේශපාලන විසඳුමක් නෑ. තිබෙන්නේ එක විසඳුමයි. අපි විසින් රටක් ලෙස ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් ආණ්ඩු වෙනස් වුණත්, ජනාධිපති මාරු වුණත් මුදලක් ලැබෙන්නේ නෑ. ඒක තමයි පරම සත්‍යය. ඒ නිසා අපි එකතුවෙලා ඒ ණය වැඩපිළිවෙළක් කර ගන්න ඕනෑ.

අනෙක මේ මාර්ග අනතුරු හෝ ප්‍රවාහන ප්‍රශ්නවලට එකම පිළිතුර ඒවා ඩිජිටල්කරණය කිරීමයි. ඒ සඳහා මම දරා තිබෙන උත්සාහය උපරිමයි. එත් මේවා සියල්ල කරන්නේ එක එක කමිටුවලට දාලා. ඒවායින් ලැබෙන නිර්දේශ අනුවයි මේ ඇමැතිවරුන්ට ක්‍රියාකරන්න වෙන්නේ. ඒ නිසා අපි එළියෙන් දකින දේට වඩා ඉතා විශාල අමාරුවක් තිබෙනවා ව්‍යාපෘතියක් ක්‍රියාවට නඟන්න.

දැන් නියමු ව්‍යාපෘතියක් ලෙස විදුලි බස් 200 ක ව්‍යාපෘතියට මම මාස ගණනක් තිස්සේ දඟලනවා. එත් තවම කරගන්න බෑ. එක එක වෙලාවට එක එක දේවල් නිලධාරීන් කියනවා. විවිධ ඒවා එවනවා. ඒත් හිතන්නේ ඇමැති කරනවා කියලා. ඒත් ඇමැති නොවෙයි රට සහ ආණ්ඩු කරන්නේ. වෙනත් පාර්ශ්වයක් විසින් තමයි ආණ්ඩු කරන්නේ ඒ තත්ත්වය අනුව අපි මැදිහත්වෙලා බලමු ලබන වසරේදීවත් මේ ටික කරන්න.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment