ක්‍රිකට් කෝප් කමිටුවට ගේන විට විපක්‍ෂයට සභාපතිකම දෙන්න – ඇමැති රොෂාන්

64

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙරේදා (14 දා) දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවූ අවස්ථාවේදී කෝප් සභාපති ක්‍රිකට් බලධාරීන්ට පක්ෂපාතී ලෙස විවිධ සංඥා පවා ලබා දෙමින් හැසිරුණු බවත් මින් ඉදිරියට ක්‍රිකට් ආයතනය කමිටුව හමුවට කැඳවන්නේ නම් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නොමැතිව එම පරීක්ෂණ කටයුතු කරන ලෙසත් විපක්ෂ නායක සහ විපක්ෂ මන්ත්‍රීවරු ඊයේ (15දා) කථානායකගෙන් ඉල්ලා සිටියහ.

එහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.

කෝප් එකේ යම් යම් නිර්දේශ පිළිබඳව කරුණු විමසීම්වලදී අපි දැක්කා රූප රාමුවක්. ඒකේ අපි දකිනවා, කෝප් සභාපතිවරයා කටට ඇඟිල්ලක් තියලා යම් පුද්ගලයකුට උපදෙස් දෙනවා උත්තර දෙන්න එපා කියලා. අපි හිතෙන්නේ එහෙම කිව්වා කියලයි. ඒ පැත්තේ රූපරාමු විතරයි දැන් එළියට ඇවිත් තියෙන්නේ. හැබැයි ඒ රූපරාමුවලට අපි මැච් කරොත් ඒ කෝප් කමිටුව ඇතුළේ අපේ සාමාජිකයෝ දක්වපු කරුණු කාරණා බොහෝම බරපතළයි. ඒ කියන්නේ කෝප් කමිටු සභාපතිවරයා අනියම් හෝ නියම් ක්‍රමයකින් උපදෙස් දෙනවා, හසුරවනවා සාක්ෂිකාරයෝ ලබා දෙන උත්තර පිළිබඳ. මේක බරපතළ කාරණයක්. මේක ගැන කථානායකතුමා පරීක්ෂණයක් කරන්න.

හේෂා විතානගේ මහතා-

ඊයේ දිනයේ කෝප් කමිටුව ඉදිරියට ක්‍රිකට් ආයතනය ගෙනාවා. එහිදී ඒ පැය දෙක තුළ ක්‍රියාත්මක වූ දේ ගැන හොයා බලන්න. ඒ පැය දෙකෙන් වුණේ ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සුද්ද කිරීමක්. එහිදී ක්‍රිකට් හොරකම් සමාජයට හෙළිදැක්වීම නොවෙයි සිදු වුණේ. ඒ කොන්ත්‍රාත්තුව ලස්සනට සිදු වුණා. මෙතනින් එහාට ක්‍රිකට් කෝප් එකට ගෙනාවොත් වෙන්නේ මන්ත්‍රීවරු හොරු වෙලා ක්‍රිකට් පරිපාලකයෝ පිරිසිදු වෙන එක. ක්‍රිකට් ආයතනය හිරවෙන ප්‍රශ්නයක් අහපු සැමවිටම කෝප් සභාපති හෑන්ඩ් සිග්නල් දුන්නා උත්තර දෙන්න එපා කියලා. ක්‍රිකට්වලින් හොරකම් කරලා තිබෙනවා කියලා රටම පිළිගන්න වෙලාවේ ඒ හොරු ටික බේරන්න මේ කෝප් එක ක්‍රියා කරනවා නම්, කෝප් එකේ සභාපතිත් විකිණෙනවා නම් අපි කියනවා ලබන 27,28,29 කියන දිනවල කෝප් සභාපති නැතිව ක්‍රිකට් ආයතනය ගැන විමර්ශනය කරන්න.

එස්.එම්. මරික්කාර් මහතා- කෝප් එකේ පාර්ලිමේන්තු කීර්තිනාමය හානි වන දේවල් වෙනවා ඒ ගැන මම කථානායකතුමා පුද්ගලිකව හමුවෙලා කියන්නම් උදාහරණ සහිතව.

නලින් බණ්ඩාර මහතා- කෝප් කමිටු සභාපතිට විශාල බලතලයක් තිබෙන අයෙක්. ඔහු ඊයේ කටයුතු කළ ආකාරය ගැන පරීක්ෂණයක් කරන්න ඕනෑ. ඔහු ඊයේ අපිට තදින් කිව්වා විගණන වාර්තාව ගැන පමණක් කතා කරන්න, වෙන මොකුත් කතා කරන්න එපා කියලා. ඒ නිසා කෝප් කමිටුවේ සභාපති මේ තනතුරට සුදුසු ද කියලා බලන්න.

චමින්ද විජේසිරි මහතා-

මේ විෂමාචාරය කරන කෝප් කමිටු සභාපති ගැන පියවරක් ගන්න කථානායකතුමාට බලය තිබෙනවා. ඒ නිසා වෙනත් තාවකාලික සභාපති කෙනෙක් හරි පත්කරලා මේ ක්‍රිකට් කාරණය කෝප් එකට ගන්න. මේක බරපතල ප්‍රශ්නයක්.

ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා-

අපි ඔක්කොම එකඟයි ක්‍රිකට් ගැන විමර්ශනය කරන්න. මේ කියන කාරණයේදී විපක්ෂය කියන පරිදි පරීක්ෂණයක් කරනවා නම් අපිත් එකඟයි වත්මන් සභාපති නොමැතිව වැඩබලන සභාපතිවරයෙක් පත් කරලා මේ කාරණා කරන්න.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා-

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තමයි කෝප් එකේ කතා කළේ. විගණනය සම්බන්ධයෙන් කෝප් එකට වඩා ආයතනයක් නෑනේ. ක්‍රිකට් මෙච්චර වැටිලා තිබෙන වෙලාවේ ක්‍රිකට් කෝප් කමිටුවට ගේන විට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කෝප් කමිටුවේ සභාපති විදිහට පත් කරලා ඒ විමර්ශනය වෙනම කරන්න කියන ඉල්ලීම මම කරනවා. අනෙක ක්‍රිකට් එක රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරලා නෑ. ඒකම ඇති පියවර ගන්න. ඒ වගේම මම කෝප් එකට උත්තර දෙන්න ඕනා නම් ඒ අවස්ථාවට මම සූදානම්. දැන් ඊයේ ප්‍රශ්න අහනකෝට අදාළ දේ නොවෙයි කතා කරන්නේ. මට ප්‍රශ්නයක් තිබෙනවා කෝප් එකත් විකිණිලාද කියලා.

දයාසිරි ජයසේකර මහතා- මමත් කිව්වා එදා ක්‍රීඩා ඇමැති ලෙස ක්‍රිකට් ආයතනයත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට ලක් කරන්න කියලා. නමුත් ඒක වුණේ නෑ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- අපේ ක්‍රිකට් දැන් තහනම් වෙලා තිබෙන්නේ අතුරු කමිටුව තහනම් කිරීමට තීන්දුව දුන්නු නිසායි.

කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා- කෝප් කමිටුවට ඉතිහාසයේ කවදාවත් නැති තරමට පිරිසක් ඊයේ සහභාගී වුණා. මම කිව්වේ එක්කෙනෙක් එක පාරකට කතා කරන්න කියලා. මධුර විතානගේ මන්ත්‍රීතුමා ඊට සාක්ෂි දරයි. මේ වෙනත් මන්ත්‍රීවරු ආවේ වෙන දේශපාලන පරමාර්ථයකින්. කෝප් දේශපාලනීකරණයට භාජනය කරන්න එපා. අපි ක්‍රීඩා ඇමැතිගේ නමවත් කිව්වේ නෑ. මේක ස්වාධීන කමිටුවක්. විවාදයක් කරලා කෝප් එකට ආවේ කෝප් එකත් දේශපාලනය කරන්නයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment