ශ්‍රී ලංකා දියාරු පිතිහරඹය හමුවේ පාකිස්තානය පෙරමුණට එන අයුරු දිස්වේ

312

දින 5කින් යුත් ටෙස්ට් තරගයක පළමු දිනය අවසානයේ අනාවැකි කිව නොහැකි මුත් පකිස්තාන කණ්ඩායම දෙවන ටෙස්ට් තරඟයේ ද පෙරමුණ ගන්නා ආකාරය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) දිස් විය.

පිතිකරුවන්ගේ දුර්වල දියාරු පිතිහරඹය මත ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 166 කට නිමා වෙද්දී සංචාරක පකිස්තානුවෝ පළමු දිනය නිමාවන විට කඩුලු 2 ක් දැවී ලකුණු 145 ක් රැස් කරගෙන සිටියහ.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 21 ක් පිටුපසින් සිටින අතර තවත් කඩුලු 8 ක් ඔවුන් අතැතිව තිබේ.

ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන් අතරින් ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් ලකුණු 74 ක් ද, නායක බාබර් අසාම් ලකුණු 8 ක් ද නොදැවී රැස් කරගෙන සිටියහ.

අබ්දුල්ලා ශෆීක්ගේ ඉනිම පන්දු 99 කින් පෝෂණය වූ අතර ඊට හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් අන්තර්ගත වූයේය.

අබ්දුල්ලාටත් වඩා වේගවත් පිතිහරඹයක නිරත වූ අංක 3 පිතිකරු ශාන් මසූඩ් පන්දු 47 ක් තුළ ලකුණු 51 ක් ලබා දැවී ගිය අතර පකිස්ථානය ඊයේ දිනයේදී මුහුණ දුන් පන්දු වාර 28.3 තුළ හතරේ පහර 13 ක් සහ හයේ පහර 3 ක් එල්ල කර තිබුණි.

දැවී ගිය කඩුලු දෙකම අසිත ප්‍රනාන්දු ඉදිරියේ සටහන් වූ අතර ඒ සඳහා විශිෂ්ට උඩපන්දු දෙකක් රැකගැනීමට නිශාන් මධුශ්ක සහ කුසල් මෙන්ඩිස් සමත් වූහ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී යෑම පකිස්තානයට ඉමහත් වාසි ගෙන දෙන්නක් වූ අතර තේ පානයටත් පෙර ශ්‍රී ලංකා පිතිකරුවෝ ක්‍රීඩාගාරයට ආපසු හරවා යැවීමට පකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

පාකිස්තාන පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන්ගේද දස්කම් මැනවින් ඉස්මතු වූ මෙම තරගයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වූ නිශාන් මධුශ්කගේ කඩුල්ල ද ශාන් මසූඩ්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකින් අහිමි විය.

තරගාවලියේ ඉනිම් 3 ක් තුළ තවමත් ලකුණු අතරට පැමිණීමට අපොහොසත්ව සිටින කුසල් මෙන්ඩිස් ශහීන් අෆ්රිඩිගේ එකම කඩුල්ල ලෙස අතිරේක ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් ලබාදී ලකුණු 6 කට දැවී ගියේය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 9 කට වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශා හට ගොදුරු වෙද්දී නායක දිමුත් කරුණාරත්න නසීම්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යෑමෙන් ශ්‍රී ලංකා ඉනිමේ 4 වැනි කඩුල්ල ද ලකුණු 36 දී බිඳ වැටුණි.

ඒ අනුව දැවැන්ත කඩා වැටීමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වූ හොඳම සම්බන්ධතාවය සටහන් කිරීමට ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා සමත් වුවද නසීම් ශාගේ පන්දුවක් හමුවේ චන්දිමාල් එල්ල කළ දුර්වල පහරක් හේතුවෙන් ලකුණු 86 ක එම සම්බන්ධතාවය ද නිමාවට පත් වූයේය.

පන්දු 60 කට මුහුණ දුන් චන්දිමාල් රැස් කළ ලකුණු 34 ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම දෙවැනි ලකුණු සංඛ්‍යාව විය.

දඟ පන්දු යවන්නන් හමුවේ තරගාවලිය තුළ එක දිගට තෙවැනි වරටත් ෂෝර්ට් ලෙග් ක්‍රීඩකයා හට උඩපන්දුවක් ලබා දී දැවී ගිය සධීර සමරවික්‍රම මුහුණ දුන්නේ පන්දු 4කට පමණි. ඔහු ලකුණු නොලබා දැවී ගිය අතර තෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ ගැලවුම්කාරයා වූ ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා ගත්තේය.

හතරේ පහර 9 ක් සහ හයේ පහරක් එල්ල කළ ධනංජය එම ඉනිම සඳහා පන්දු 68 කට පමණක් මුහුණ දී තිබුණි.

අවසන් පිතිකරුවා ලෙස දැවී ගිය රමේෂ් මෙන්ඩිස් ලකුණු 27 ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් ලකණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශා ලකුණු 41 කට කඩුලු 3 ක් බිඳ හෙළුෑහ.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබූ අතර ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූ අසිත ප්‍රනාන්දුත් ඩිල්ෂාන් මදුෂංකත් කණ්ඩායමට කැඳවා තිබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 164 වෙනි ක්‍රීඩකයා ඩිල්ශාන් මධුෂංක වේ.

කසුන් රාජිත හා විශ්ව ප්‍රනාන්දු දෙදෙනා වෙනුවට ඔවුන් කණ්ඩායමට එක් කර තිබූ අතර පාකිස්තාන කණ්ඩායම පළමු තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම තරගය සඳහා ද යොදාගෙන තිබුණි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම – 166/10 (48.4)

නිශාන් මධුෂ්ක – 04, දිමුත් කරුණාරත්න – 17, කුසල් මෙන්ඩිස් – 06, ඇන්ජලෝ මැතිව්ස් – 09, දිනේෂ් චන්දිමාල් – 34, ධනංජය ද සිල්වා – 57, සධීර සමරවික්‍රම – 00, රමේෂ් මෙන්ඩිස් – 27, ප්‍රභාත් ජයසූරිය – 01, අසිත ප්‍රනාන්දු – 08, ඩිල්ෂාන් මධුශංක – 00, අතිරේක – 03

පන්දු යැවීම

ශාහින් ෂා අෆ්රිඩ් – 44/1, නශිම් ෂා – 41/3, අබ්‍රාර් අහමඩ් – 69/4,

පකිස්තානය දෙවනි ඉනිම – 145/2 (28.4)

අබ්දුල්ලා ශාෆික් නොදැවී – 74, ඉමාම් උල් හක් – 06, ශාන් මසූඩ් – 51, බාබර් අශාම් නොදැවී – 08

පන්දු යැවීම

අසිත ප්‍රනාන්දු – 41/2
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment