අධිකරණයට ජාත්‍යන්තරයෙන් බිලියන 4ක එන්නතක්!

362

ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණ කිරීමට දැවැන්ත ආයෝජනයක් කර තිබේ. වසර 4 1/2 තුළ ක්‍රියාත්මක මෙම වැඩසටහනට යුරෝපීය සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිවෙළින් රුපියල් බිලියන 4 (යුරෝ මිලියන 18) සහ රුපියල් මිලියන 225 (අමෙරිකානු ඩොලර් මිලියන 1) වෙන්කර ඇත.

පසුගිය වසරේ පෙබරවාරි 21 වන දින නිල වශයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය අවධාරණය කරන්නේ අධිකරණ ක්ෂේත්‍රය ජාත්‍යන්තරයේ බරපතළ අවධානයට යොමු වී ඇති බවයි.

ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පාලන සමයේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය පොහොට්ටු ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් පසුව ආචාර්ය විජයදාස රාජපක්ෂ යටතේ ක්‍රියාත්මකයි. ඔහුද ජනාධිපති නීතිඥවරයෙකි.

ජාත්‍යන්තරය මෙවැනි සංවේදී ක්‍රියාවලියකට මූල්‍යම දායකත්වය සැපයීම විමසා බැලිය යුතුවන්නේ රට බංකොලොත් වීමට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයේ වගකීම සහ වගවීම අවධානයට ලක් කිරීමෙනි. ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයෝජන යෙදවීම /ලබාගැනීම ඊට අදාළ පාර්ශව ඉතාමත් කල්පනාකාරීව කළ යුතුය.

අධිකරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ ජනතාවට හිතකර ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම සහ වගවීම ආණ්ඩුවේ බව අමුතුවෙන් කිවයුතු නැත. එසේ නම් මෙවැනි ආයෝජන අධිකරණ පද්ධතිය තුළ කිරීමට ජාත්‍යන්තරය ඉදිරිපත් වන්නේ ඇයි? ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය/ක්‍රියාවලිය ජාත්‍යන්තරය බලාපොරොත්තු වන තත්ත්වයේ නොමැති නිසාද? එසේ නම් අවශ්‍ය ප්‍රතිසංස්කරණ නිසිකලට නොකිරීමේ වගකීම නීති සම්පාදනයට වගකිවයුතු පාර්ලිමේන්තුව භාර ගත යුතු නොවේද? අධිකරණ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කිරීම ජාත්‍යන්තර මැදිහත් වීමක් නොමැතිව සිදුකළ නොහැකිද?

අධිකරණ ක්‍රියාවලිය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට යුරෝපීය සංගමය සහ එක්සත් ජාතීන්ට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදය ද (USAID) මූල්‍යමය දායකත්වයක් දරා ඇත. මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කර ඇති ආයෝජන/ඉදිරියේ කරන ආයෝජන විමසා බැලීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැලකිය යුතු කාලයක් තුළ ලබා ඇති මූල්‍යම දායකත්වය විමසා බැලීමට සිදුවේ. නීතිඥ සංගමය ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට ඇමෙරිකා එක්සත් ජනපදය කර ඇති දායකත්වය මෑතකදී අවධානයට ලක්වූයේ එම සංගමය
පසුගිය මාර්තු මාසයේ තරු පහේ හෝටලයක සංවිධානය කළ ජාතික නීති සම්මේලනයට ප්‍රධාන අමුත්තිය ලෙස ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් සහභාගී වීමේ පසුබිම තුළය. ඇයට කළ ආරාධනය කිසිසේත් වරදක් නොවේ. නමුත් ඕනෑම ‘ආයතනයක්’ විශේෂයෙන්ම සමස්ත අධිකරණ ක්‍රියාවලියේ ඉතාමත් වැදගත් කාර්යභාරයක් කරන නීතිඥ සංගමය විදේශීය අරමුදල් මත යැපීම නැවත නැවතත් අවධාරණය කරන්නේ අපගේ අසමත් භාවයයි.

අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලියුම්කරු මෙම ලිපිය සම්පාදනය කිරීමට පෙළඹුනේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (යුක්තියට සහය ව්‍යාපෘතිය) ඒකාබද්ධව අධිකරණ මාධ්‍යවේදීන් වෙනුවෙන් පසුගියදා සංවිධානය කර තිබූ එක්දින වැඩමුළුවේදී සාකච්ඡාවට භාජනය වූ කරුණු කාරණා පදනම් කරගෙනය.

දැනට වසරක් සම්පූර්ණ කර ඇති මෙම වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සහ අරමුදල් සපයන ආයතනවලට සෑහීමකට පත්විය හැකිද?

මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ නීති පද්ධතියට අනුකූලව කටයුතු කිරීමට දේශපාලන අධිෂ්ඨානය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අවංකව කටයුතු නොකරන තත්ත්වයක් තුළ කිසිදු ව්‍යාපෘතියක් සාර්ථක කර ගත නොහැකි බවයි. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තමන්ට හිමි වගකීම් නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව කිසිවෙකුට අභියෝග කළ නොහැක. යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාදවීම සමස්ත අර්බුදකාරී අධිකරණ සහ ඊට සම්බන්ධ ක්‍රියාවලිය තුළ එක ගැටලුවක් පමණක් බව අදාළ සියලුම පාර්ශ්ව පිළිගත යුතුය.

ජාත්‍යන්තරය මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වැඩසටහන්වලින් පමණක් අධිකරණ ප්‍රතිසංස්කරණ හෝ අනෙකුත් යහපත් අරමුණු ඉටු කර ගත නොහැක. ඊට දිය හැකි හොඳම උදාහරණය එජාපයේ කරු ජයසූරිය කථානායක කාලයේදී (2015-2019) ඇමෙරිකා එක්සත් ජනපදය (USAID) වගවීම සහ යහපාලන ඇතිකිරීමට පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කළ ගිවිසුමයි. වසර තුනකට අදාළ එම ගිවිසුමේ වටිනාකම රුපියල් බිලියන 1.92 (USD 13 mn) විය. එම ආයෝජනය සමඟ සැසඳූ විට අධිකරණ පද්ධතිය තුළ පසුගිය වසරේ කර ඇති මූල්‍යමය මැදිහත් වීම ප්‍රමාණය තේරුම් ගත හැකිය.

තවත් වැදගත් කාරණාවක් ඇත. එනම් පාර්ලිමේන්තුව සහ USAID සමඟ මෙම ගිවිසුමට අත්සන් තබන්නේ යහපාලන රජය රටතේ මහ බැංකු බැඳුම්කර වංචා දෙවරක් සිදුකර ඇති තත්ත්වයක් තුළය. බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනාවට ලක්වූ (තවමත් තහනමට ලක්වී ඇති) පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමෙන් 2016 අවසාන කාලයේදී නීතිඥ සංගමය සංවිධානය කළ සමුළුවකට මූල්‍ය ආධාර ලබා ගැනීම සවිස්තරාත්මකව විමසා බැලිය යුතු කරුණකි.

කරු ජයසූරිය කථානායකවරයා යටතේ ක්‍රියාත්මක කළ එම වැඩසටහන මගින් පාර්ලිමේන්තුව බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගත්තාද? අද වනතුරු පාර්ලිමේන්තුව එම සමස්ත වැඩසටහන විගණනයකට භාජනය කර නැත. ඇමෙරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වූ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් වූවාද? යහපාලනය ඇති වූවාද? සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ වත්මන් නායක කරු ජයසූරිය තමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කළ එම වැඩසටහනේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු නොවේද? මෙවැනි විදේශ ආයෝජන රටේ විගණන ක්‍රියාවලියට භාජනය නොවන බව රහසක් නොවේ.

ශ්‍රී ලංකාවේ විගණන ක්‍රියාවලිය බරපතල අර්බුදයක බව දිගින් දිගටම අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුවයි. මෙම අවාසනාවන්ත තත්ත්වය ඇතිවී තිබෙන්නේ ජාතික විගණන ක්‍රියාවලියේ අඩුපාඩුවක් හෝ නොසැලකිල්ල නිසා නොවේ. සමස්ත රාජ්‍ය අංශය විගණනයට අනුකූලව ක්‍රියාත්මක නොවීම නිසාය. රාජ්‍ය අංශය විගණනයට එරෙහිව කටයුතු කරනවා යැයි කීවත් වරදක් නැත.

රාජ්‍ය විගණනය සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර අග්‍රාමාත්‍යවරයාවත් ඉදිරියේ තබාගෙන මෑතකදී කළ ප්‍රකාශය අවධාරණය කළේ අමාත්‍යවරයා හෝ අදාළ අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මූල්‍ය වගකීම සම්බන්ධයෙන් දරන ස්ථාවරයයි. අනෙකුත් අමාත්‍යාංශ ද රාජ්‍ය විගණනය සම්බන්ධයෙන් දරන්නේ මෙවැනිම අදහසකි.

යුක්තියට සහය ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 4 ක් සහ රුපියල් මිලියන 225 ජාත්‍යන්තරය කළ ආයෝජනය පිළිබඳව විමසා බැලිය යුතු වන්නේ පාර්ලිමේන්තුව පසුගියදා කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව ද සැලකිල්ලට භාජනය කරමිනි. එනම් 2022 දෙසැම්බර් 31 දින වන විට රජයට ලැබිය යුතු මුළු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් බිලියන 904. සතයටම කිවහොත් රුපියල් 904,342,180,778 කි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ කණ්ඩායමක් කොළඹ සිටින විටදී මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන්ම නිල නිවේදනයක් හරහා ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපට සතුටු විය හැක.

මෙම මුදලෙන් රුපියල් 163,425,093,401 ක් (බිලියන 163) වහාම අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති අතර රුපියල් 740,917,087,377 ක් (බිලියන 740) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති මුදල් වශයෙන් හඳුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වුණි. අධිකරණ අමාත්‍යාංශය මෙම තත්ත්වය යටතේ යම් තීරණාත්මක මැදිහත් වීමක් කළ යුතු නොවේද. මෙහිදී රට නිවැරදි මාර්ගයකට ගෙන ඒමට අවශ්‍ය මැදිහත් කිරීමේ වගකීමෙන් නීතිඥ සංගමයට ද බැහැර විය නොහැක.

මෙහිදී සාකච්ඡාවට භාජනය වූ තවත් වැදගත් කරුණක් වූයේ රුපියල් 2,488,003,615 (බිලියන 2.4) වටිනා අගරු වූ චෙක්පත් පැවතීමයි. විශේෂයෙන්ම බදු මුදල් ගෙවීමේදී 90% පමණ ලංකා බැංකුව මාර්ගයෙන් බදු මුදල් ගෙවීම සිදු කරන බවත් මෙසේ ගෙවන බදු මුදල් ගෙවූ දින අනුමත වූ බව පෙන්වුවත් පසු දින අගරු චෙක්පත් ලෙස පෙන්වන බවත් මෙහිදී පැමිණ සිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් ලංකා බැංකුවේ සභාපතිවරයා කමිටුව අතරතුරදීම දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් සාකච්ඡා කොට අදාළ උපදෙස් ලබාදීම ද මෙහිදී සිදු විය. දේශීය ආදායම් නිලධාරීන් අවධාරණය කළේ තමන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙම අගරු චෙක්පත් සම්බන්ධයෙන් විමසීමක් කළ බවත් නමුත් මුදල් වහාම අයකර ගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන නොමැති බවත්ය. එසේ නම් මෙතුවකල් අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් නොවූයේ ඇයි? යන ප්‍රශ්නය අලගියවන්න අමාත්‍යවරයාට යොමු කළ යුතුය. ඒ විශේෂයෙන්ම ඔහු යහපාලන සමයේදීත් කෝපා (Committee on Public Accounts) කමිටුවේ සභාපති ලෙස කටයුතු කර ඇති බැවිනි.

නීත්‍යානුකුල ලෙස අයකරගත යුතු හිඟ බදු, දඩ හා පොලී මුදල බිලියන ගණනින් තිබියදී නව බදු පැනවීම සම්බන්ධයෙන් ජනතා විරෝධතා ඇතිවීම පුදුමයට හේතුවක් නොවේ. මුදල් අමාත්‍යාංශය මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිවයුතු නොවේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ වැඳ වැටී වසර හතරක කාලයක් තුළ ලබා ගැනීමට හැකියාව ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 තුළ මූල්‍ය අර්බුදයට විසඳුමක් දකින වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව හිඟ බදු, දඩ හා පොලී එකතු කිරීමට තීරණාත්මක නීතිමය පියවර ගත යුතුය. එසේ කළ නොහැකි නම් එම තත්ත්වය ද පැහැදිලි කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම පාර්ලිමේන්තු වාර්තා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළ යුතුය. නීතිඥ සංගමයට ද අවශ්‍ය බලපෑම ආණ්ඩුවට කළ හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිවූ එකඟතාවයේ වැඩි ගෞරවය හිමි වන්නේ අධිකරණ අමාත්‍යාංශයට බව ප්‍රකාශ කර ඇති විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ සමස්ත ක්‍රියාදාමය තුළ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක ආකාරය විමසුමට භාජනය කළ හැකිය. තවදුරටත් ඔඩු දුවමින් පවතින දේශපාලන සහ සමාජීය අර්බුදයට හේතුව ආර්ථිකය කඩාවැටීම සහ විදේශීය අතපෙවීම් බව අවධාරණය කළ යුතුය. මෙම තත්ත්වය අපූරුවට පිළිබිඹු වූ අවස්ථාවක් වූයේ රුසියාව සමඟ ශ්‍රී ලංකාවට ඇති සම්බන්ධතාවය පළුදු වන ආකාරයට අධිකරණ ක්‍රියාවලිය තුළ පසුගිය වසරේ සිදු වූ ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට ලක්වූ සිද්ධියයි.

එම සිදුවීම නිසියාකාරව වාර්තා වූවාද? මාධ්‍ය එම සිදුවීමට නිසි වටිනාකමක් දීමට සමත් වූවාද? මාධ්‍ය අවධානය යොමුකළ කරුණු කාරණා සම්බන්ධයෙන් රජය, විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශය නිසි ලෙස කටයුතු කළාද? පසුගිය වසරේ අයර්ලන්තයේ Celestial Aviation Trading Company Ltd එරෝෆ්ලොට් ගුවන් සමාගමට එරෙහිව බස්නාහිර පළාතේ වාණිජ මහා අධිකරණයේ ගොනුකළ නඩුවක් සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලානාත්මක තත්ත්වය ජනතාවට කෙසේ වෙතත් ආණ්ඩුවට නම් අමතක ය. එස්. එම්.එච්.එස්.පී. සේතුංග විනිසුරුවරයා දුන් නියෝගයට පටහැනිව ීඹ 289 ගුවන්යානය රඳවා ගැනීම හේතුවෙන් රුසියාව සමඟ අපගේ සම්බන්ධතා පළුදු විය.

FJ & G.de Saram නියෝජනය කළ ජනාධිපති නීතිඥ අවින්ද්‍ර රොඩ්රිගෝ සමඟ අයර්ලන්ත සමාගම වෙනුවෙන් පෙනී සිටියේ අරුණ දී සිල්වා නමැති නීතිඥවරයෙකි. එම නීතිඥවරයා පිස්කල්වරයකු සමඟ අදාළ උසාවි තීන්දුව භාර දීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුව්න්තොටුපොළට යෑම කාගේත් අවධානයට යොමු විය. වර්තමාන අධිකරණ අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජේදාස ස්වර්ණවාහිනී නාලිකාව සමඟ පැවැත්වූ සජීවී වැඩසටහනකදී නීතිඥවරයකු එසේ යෑම සම්බන්ධයෙන් පුදුමය පළ කළේය. අදාළ නීතිඥ ආයතනය ඒ සම්බන්ධයෙන් මෙම ලියුම්කරු කළ විමසීමකට පිළිතුරු දුන්නේ නැත. නීතිඥ සංගමයට ද ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් නොමැති විය. නීතිඥ සංගමය ගත් ස්ථාවරය පුදුමාකාරය. එනම් පැමිණිල්ලක් නොමැතිව විමර්ශනයක් කළ නොහැකි බවත්, එසේ විමර්ශනයක් නොකර අගවිනිසුරුවරයාට අදාළ නීතිඥවරයා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නොහැකි බවත්ය. රුසියාව සමඟ අපගේ ද්විපාර්ශ්වික සම්බන්ධතා පළුදු කළ එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය නිසි අවධානය යොමු කළේද නැත.

එවැනි පසුබිමක හිඟ බදු, දඩ හා පොලී මුදල රජයට එකතු කර ගැනීමේ ක්‍රියාවලියට ද ප්‍රබල දායකත්වයක් එම අමාත්‍යාංශයට දැක්විය හැක.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment