විධායක ජනපති ධුරය අහෝසි කරනවා යැයි ගෝඨාභය දුන් පොරොන්දුවත් බොරුවක්

221

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සම්මත කර ගැනීමට සූදානම් වන 22 වන සංශෝධන කෙටුම්පතෙහි අන්තර්ගතය අනුව පැහැදිලි වන්නේ එමඟින් යම් සාධනීය කරුණු ගණනාවක් තහවුරු කිරීමට උත්සාහයන් ගෙන තිබුණද මේ රටේ පොදු සමාජය අපේක්‍ෂා කරන තීරණාත්මක හා ප්‍රමුඛ දේශපාලන ප්‍රතිසංස්කරණ මගහැර යමින් විධායකයේ අත්තනෝමතික බලය වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලයට අදාළව පමණක් තවදුරටත් යාවත්කාලීන කර ගැනීමට කරනු ලබන තවත් උත්සාහයක් බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු මෙසේද කීය.

මෙහිදී අප කනගාටු වන අනෙක් කාරණය වන්නේ ජනාධිපතිවරයා විසින් 19 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලගැන්වීමටත්, විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත් සිය සහයෝගය ලබාදෙන බවට ආගමික නායකත්වයට හා පොදු රටවැසියාට දුන් පොරොන්දුවක් ඉතිහාසයේ මෙන්ම නැවතත් බොරු පොරොන්දුවක් බවට පත්වීමයි.

තම රාජ්‍ය නායකයාගේ පොරොන්දු ගලේ කෙටූ අකුරු වශයෙන් සැලකීමට නොහැකිවීම පුරවැසියාගේ අවාසනාවකි.

මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ගැසට් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් 19 වන ව්‍යවස්ථාව සංශෝධන මගින් තහවුරු කරන ලද යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ඒ ආකාරයට හෝ යළි පවත්වා ගෙන යෑමට කටයුතු කර නැත. නිසැක වශයෙන්ම එය වර්තමාන පාලනය මගින් සම්මත කරගන්නා ලද 20 වන සංශෝධනයට වඩා අංග ලක්‍ෂණ කිහිපයකින් සමන්විත වුවද මේ රටේ ජනතාව දැඩි අරගලයක නිරත වෙමින් අපේක්‍ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ ඉටුකිරීමට ඒ මගින් සූදානම් වන බවක් ප්‍රදර්ශනය වන්නේ නැත. එබැවින් ප්‍රධාන වශයෙන් මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂවල ප්‍රමුඛ යුතුකම හා වගකීම වන්නේ මේ පිළිබඳව පුළුල් අවධානය යොමුකරවමින් අවම වශයෙන් පැවැති 19 වන ව්‍යවස්ථා සංශෝධනය හෝ නැවත බලාත්මක කර ගැනීමට අවශ්‍ය එකඟත්වයට පියවර ගැනීමය.

රට තුළ මතුව ඇති අරාජිකත්වයේ අඳුරු සෙවැනලි තවදුරටත් වර්ධනය වීමට ඉඩ සලසමින් බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් කරා රට යොමුවිය හැකි මාවතක් ද ඒ තුළ නිර්මාණය විය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment