කුලී හේවායන් ගෙන්වා ගැනීමට රජය මැදිහත් වියයුත්තේ ඇයි?

664

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තවත් අවුරුදු 5ක් සඳහා ජනාධිපති ධුරයේ කටයුතු කිරීම පිණිස දිව්රුම් දී ඇත. මේ අනුව යුක්‍රේනය සමග පවතින රුසියන් යුද්ධය ස්ථිර වශයෙන්ම තව අවුරුදු 5 ක් එලෙසම පැවැත්වෙනවා ඇත. එම යුද්ධය සඳහා කුලී හේවායින් සැපයීමේ ව්‍යාපාරය ද තවත් අවුරුදු 5 ක් ස්ථිර වශයෙන්ම පවතිනවා ඇත. රුසියාව මේ කරන්නේ 2014 දී යුක්‍රේනය සමග පටන්ගත් යුද්ධයේ දෙවැනි කොටසයි. දෙවනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ හටගත් ලොකුම යුද්ධය බවට රුසියන් -යුක්රේන් යුද්ධය පත්ව ඇත. මේ වන විට යුද්ධයෙන් තුවාල ලැබූ පිරිස ලක්ෂය ඉක්මවා ඇත. මියගිය ගණන දස දහස ඉක්මවා ඇත. මෙවර යුක්‍රේන් යුද්ධය පටන් ගත්තේ 2022 ජූනි මාසයේදී ය. එරටට කඩා වැදුණු රුසියන් හමුදාව ඒ රටේ භූමි වපසරියෙන් 20% ක් පමණ මේ වන විට අත්පත් කරගෙන ඇත. එසේ අත්පත් කරගත් යුක්‍රේන් ප්‍රදේශවල සිටි යුක්‍රේන් ජාතිකයෝ අසූ දෙලක්ෂයක් සරණාගතයන් බවට පත්වූහ. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ හටගත් ලොකුම සරණාගත ප්‍රශ්නය වේ. මේ යුද්ධය හේතුවෙන් විශාල පාරිසරික ගැටලුවක් ද මතුව ඇත. දැනට ලෝකයේ පවතින ආහාර අර්බුදයෙන් සෑහෙන ප්‍රමාණයක් හටගත්තේ මේ යුද්ධය නිසාය. යුක්‍රේනය යනු කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය ඉතා විශාල වශයෙන් කරන රටකි. යුරෝපයේ වැඩිම බඩඉරිඟු ප්‍රමාණයක් වවන්නේ යුක්‍රේනය ය. යුද්ධය නිසා ගොවිතැන් අත්හැර දැමී ඇති අතර යුක්‍රේනයේ කෘෂි පලදාවෙන් යැපෙන සෙසු රටවල් නන්නත්තාරවී ඇත. 2008 දී යුක්‍රේනය සහ ජෝර්ජියාව යන රටවල් දෙක නේටෝ සංවිධානයට සම්බන්ධ වීමට තීරණය කළේය. එහෙත් පුටින් එයට විරුද්ධ විය. ඔහු කීවේ එවැනි පියවරක් මගින් තම රටේ ආරක්ෂාව අවදානමට ලක්විය හැකි බවය. 2014 දී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරන්නේ නේටෝ ප්‍රශ්නයට පළිගැනීම යටි හිතේ තබාගෙනය. 2022 දී නැවත වරක් පුටින් විසින් යුක්‍රේනයට පහරදෙන්නේ නේටෝ ප්‍රශ්නය නිසාය. කිසියම් රටක් හෝ රටවල් කිහිපයක් යුද්ධයකට මැදිව සිටින අවස්ථාවක එම රටවලට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට නොහැක. මේ නිසා නේටෝ සංවිධානයට බැඳීමට අදහස් කරන අසල්වැසි රටවල් බියපත් කර යුද මානසිකත්වයක තැබීමට පුටින්ට අවශ්‍ය කර තිබේ. ඔහු එය හරියටම කරන අතර එයට විරුද්ධ වීමට තරම් හයියක් බටහිර ලෝකයට නැත. රුසියාව යනු න්‍යෂ්ටික බලවතෙකි. රුසියාවට විරුද්ධව බටහිර ලෝකයේ රටවල් යුද්ධයක් පටන්ගන්නා ඕනෑම වෙලාවක පුටින් රසායනික සහ පරමාණු අවි භාවිතා කිරීමට ඉඩ තිබේ. මෙවිට විය හැකි හානිය ඉතා විශාලය.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සාමාජිකයන් කුලී හේවායන් ලෙස රුසියාවට පැටවීමේ ජාවාරම ගැන අපි පසුගිය දිනවල කතා කළෙමු. අපේ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලවල සේවය කරන අය පවා විශ්‍රාම ගෙන රුසියාවේ යුද්ධයට ගොස් ඇත. රුසියාව සහ යුක්‍රේනය අතර පවත්නා යුද්ධයට අපේ අය කුලී හේවායන් වශයෙන් ගෙන යනු ලබන්නේ ලොකු වැටුප් පොරොන්දු ලබාදෙමිනි. එසේම ලංකාවෙන් යවන සෙබළුන් රුසියන් හමුදාව පුහුණු කිරීම සඳහා යොදනවා මිස සටනට නොයවන බව හොර ඒජන්සිකාරයෝ පවසති. ත්‍රිවිධ හමුදාවේ සිටි මෝඩ මීහරක් වැඩිදෙනා මේ කියමන විශ්වාස කළහ. මෙහිදී අප කල්පනා කර බැලිය යුත්තේ රුසියාවේ දේශගුණික තත්ත්වය සහ එරට සෙබළුන්ට අපේ යුද හමුදාවෙන් ලබාගත හැකි පුහුණුව කුමක් ද යන්නය. රුසියානුවෝ අධික ශීතල කාලගුණික තත්ත්වයන් යටතේ යුද වැදීමට පුරුදුව සිටිති. ඔවුන් ලබා ඇති යුද පුහුණුව ද ඉතාම ඉහළය. ඒ නිසා යුද්ධ කරන හැටි ඔවුන්ට කියා දීමට අපට නොහැක. අපේ විශ්‍රාමික සෙබළුන් රුසියාවට පා තැබූ සැණින් ඔවුන් කුලී හේවායන් සේ සලකා යුද්ධයට යවනු ලැබේ. මෙතැන් සිට යුද පුහුණුව පිළිබඳ කතාවක් කව්රුත් කරන්නේ නැත. රුසියාවේ දොන්බාස් නමැති ප්‍රදේශය තුළ රුසියන් සෙබළු සහ ලංකාවේ සෙබළු විශාල සංඛ්‍යාවක් සිටිති. ඇත්තටම දොන්බාස් ප්‍රදේශය තිබෙන්නේ යුක්‍රේනය තුළය. කලකට පෙර දොන්බාස් අයත්ව තිබුණේ යුක්‍රේනයටය. එහෙත් විටින් විට යුක්‍රේනයට එරෙහිව යුද කර එම ප්‍රදේශය තම රටට ඈඳා ගැනීමට රුසියාවට හැකි විය. මේ අනුව දොන්බාස් තුළ සිටීම හැඳින්විය හැක්කේ යුක්‍රේනය තුළ සිටීම හා සමානවය. විවිධ රටවලින් පැමිණි කුලී හේවායින්ගේ මළ මිනීවලින් දොන්බාස් කඳවුර පිරී තිබේ. රුසියන් යුද සංස්කෘතියට අනුව සතුරු ප්‍රදේශයකදී මියයන රුසියන් සෙබළා නැවත වරක් රුසියාව තුළට ගෙන ඒමක් සිදු නොවේ. මේ පිළිබඳ වීඩියෝ ඕනෑතරම් නිකුත් වී තිබේ.

රුසියාවට මෙරටින් කුලී හේවායින් යැවීමට ආණ්ඩුව කිසිදු ආකාරයකින් සම්බන්ධ නැතැයි ආණ්ඩුවම කියයි. එසේ නම් ඔවුන් යනකම් ආණ්ඩුඋඩ බලාගෙන සිටියේද? එහෙත් මේ රටේ පොදුජන මතය වන්නේ රුසියාවට ගිය මෙරට කුලී හේවායන් ආණ්ඩුවේ වියදමෙන් ආපසු ගෙන්විය යුතු බවය. මානුෂික හේතූන් සලකා රුසියාවේ සිරවී සිටින අය ආපසු ගෙන්වා ගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් නොවුණොත් එමගින් විශාල කළු ලපයක් හටගැනීමට ඉඩ තිබේ. ආණ්ඩුව ඡන්දයකට යන්නට අපේක්ෂා කරනවා නම් මේ කළු ලපය මකා ගැනීම ආණ්ඩුවේ වගකීමය.

advertistmentadvertistment
advertistmentadvertistment