සිඟිතිගේ මස්සිනා දින දෙකක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

83

අතුරුදන්ව ඝාතනයට ලක්වූ කුලියාපිටියේ සුසිත් ජයවංශගේ මෘත ශරීරය පිළිබඳ තොරතුරු හෙළිකරගත් සිඟිති නමැත්තාගේ මස්සිනා දින දෙකක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුලියාපිටිය පොලිසිය කළ ඉල්ලීමට මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ඊයේ (08) අවසර ලබා දුන්නේය.

එසේ රැඳවුම් නියෝග ලබාගෙන තිබුණේ සුසිත් ජයවංශ නමැති 31 හැවිරිදි තරුණයාගේ ඝාතනයට සැක කෙරෙන ප්‍රධාන සැකකරු බව කියන සිඟිති නමැත්තාගේ මස්සිනා වූ වස්සාවුල්ල ඉලුක්හේන පදිංචි ජයසිංහ දොන් චාරුක දේවින්ද නමැත්තකු වෙනුවෙනි.

එහිදී සැකකරු ඉදිරිපත් කරමින් පොලිසිය ඉල්ලා සිටියේ අදාළ සිද්ධිය මිනීමැරුමක් බව හෙළිවීම සමග අධිකරණයට භාරව ඇප ලබා සිටින එහෙත් ඇප කොන්දේසි සැපිරීමට නොහැකිව බන්ධනාගාර භාරයේ සිටින සිඟිති හෙවත් සුජිත් ප්‍රනාන්දු හා ඔහුගේ බිරිය අදාළ සිද්ධියට අත්‍යවශ්‍ය සැකකරුවන් නිසා ඔවුන් ඉදිරිපත් කිරීමට බන්ධනාගාරයට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කෙසේ නමුත් පොලිසිය කළ එම ඉල්ලීම ද සලකා බැලූ අධිකරණය සිඟිති නමැත්තා හා ඔහුගේ බිරිය නැවත අධිකරණයට අද දිනයේ ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment