පිටිපන ලෙල්ලම මැදට ගොස් විමසුවෙමු!

මීගමුව පිටිපන ලෙල්ලම හෙවත් ධීවර සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අයිතිය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවකු ලෙස පත් කරන ලෙස මීගමුව දිසා අධිකරණය පෙබරවාරි 02 වැනිදා නියෝග කර තිබුණි. ඒ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනු කළ පෙත්සමක් සලකා බලමින්ය. එමගින් අගරදගුරු හිමියන් ඉල්ලා ඇත්තේ මෙම මධ්‍යස්ථානය හෙවත් ලෙල්ලමෙහි අයිතිය ඇත්තේ කතෝලික පල්ලියට බවත්, එය ලබාදීමේදී ඇති කරගත් කොන්දේසි කඩ කළ නිසා දේපළ යළි පවරා දෙන ලෙසත් ය.

එයට ප්‍රතිචාර ලෙස පිටිපන ධීවරයන් පෙබරවාරි 19 වැනිදා කොළඹ අගරදගුරු මැඳුර ඉදිරිපිට විරෝධයක් පවත්වා තිබුණි. ‘අගරදගුරු මේ අහන්න – අපෙ ලෙල්ලම අපට දෙන්න’ කියා එම විරෝධයේ සටන් පාඨ කියැවිණ. ‘අපි කාදිනල්ව රිජෙක්ට් කරනවා’ යනුවෙන් සමස්ත ලංකා ධීවර වෘත්තීය සමිතියේ ජාතික සංවිධායක ප්‍රසංග ප්‍රනාන්දු කියන අන්දමත් ‘කාදිනල්තුමා ඔබ වහන්සේ විශ්‍රාම සුවය ලබන්න, මීගමුවට නම් එන්න එපා. අපි දන්නවා ඔයාලා විඳින සැප. කාදිනල්ට ඕනෑ ලේ හොල්ලන්න.’ යනුවෙන් ඔහු හඬ නැගූ අන්දම ප්‍රචාරයට ලක් විය. ‘අපි කියන්නේ අපි අවුරුදු හැටපහක් භුක්ති වින්ද ලෙල්ලම අපට දෙන්න.’ ඔහුගේ ඉල්ලීම විය.

එයට ප්‍රතිචාර ලෙස පෙබරවාරි 20 වැනිදා කතෝලික පල්ලිය වෙනුවෙන් සිරිල් ගාමිණී පියනම මෙසේ අදහස් දැක්වීය. “මේ නඩුව 2008 දී පැවරුවේ කොළඹ අගරදගුරු හිමිපාණන් ධුරයේ හිටපු ඔස්වල්ඩ් ගෝමස් හිමිපාණන්. වත්මන් අගරදගුරු හිමිපාණන් නෙවෙයි. මැල්කම් රංජිත් හිමිපාණන් සිදු කරන්නේ නඩුව ඉදිරියට ගෙන යෑම. මෙහි මුල් අයිතිය හිමි වන්නේ අගරදගුරු පදවියට. තෑගි ඔප්පුවක කොන්දේසි උල්ලංඝනය කළ පසු, එය අවලංගු කරලා මුල් අයිතිකරුට පවරාගන්නවා. මෙය බලහත්කාරයෙන් පවරාගැනීමක් කියන එක සම්පූර්ණයෙන් වැරදියි. මෙම නඩුවෙන් අපේක්ෂා කළේ, මෙහි ලැබුණු ආදායම සීමිත පිරිසක් භුක්ති විඳිමින් සිටි නිසා ඒ ආදායම පුළුල් ධීවර ප්‍රජාවකට ලබා දීම.”

මෙම ගැටුම මැද කාදිනල් හිමිට එල්ල වූ චෝදනාවලට කතෝලික පල්ලිය ප්‍රතිචාර දැක්වූවේ විශාල පිරිසක් එම ධීවරයන්ට එරෙහිව විරෝධතාවලට සහභාගි කරවාගනිමිනි. ‘අධිකරණ නියෝගයට ගරු කරනු’, ‘කාදිනල් හිමිට එරෙහි අසත්‍ය ප්‍රකාශවලට විරෝධය’ යනාදී වශයෙන් එම විරෝධතාවල සටන් පාඨ දක්නට ලැබුණි. ඒ අනුව පිටිපන ලෙල්ලම අද දක්වාම ගැටුම්කාරී තත්ත්වයක පවතී.

අධිකරණයේ කටයුතුවලට බාධා නොවන පරිදි දැනට ඇති ගැටුම ගැන අවධානය යොමු කළ යුතුය. මෙය සිවිල් අධිකරණ කටයුත්තක් වන නිසාත්, අපරාධ කටයුත්තක් නොවන නිසාත් නඩු සමථයට පත් කරගැනීම්, එකඟතා ඇති කරගැනීම්, විසඳුමක් සොයාගැනීම් පිළිබඳ හැකියාව සහ අයිතිය පල්ලියට මෙන්ම ධීවරයන්ටත් ඇත. ඒ අනුව, මේ සටහනේ අරමුණ වන්නේ අධිකරණයේ තීන්දුවලට බලපෑමක් නොවන පරිදි, නීතිමය කරුණු ඉදිරිපත් නොකර ලෙල්ලමේ ඉරණම පිළිබඳ සොයා බැලීමය.

ඇත්තම තත්ත්වය සොයාගැනීම වෙනුවෙන් අපි හැන්දෑ වරුවක පිටිපන ලෙල්ලමට ගියෙමු. ලෙල්ලම මැද්දේ සිටගතිමු. ධීවරයන් හා කතා කළෙමු. ලෙල්ලමේ කතාවත්, එහි ඉරණම ගැන අදහසත් කිව හැක්කේ ලෙල්ලමේ සිටින ධීවරයන්ටය.

ඔවුන් කී හැටියට ධීවර සමිතියේ කතාව ඈතට දිව යන්නකි. අරුණ රොෂාන්ත ප්‍රමුඛ වත්මන් නායකත්වය එක්සත් ධීවර සමිතියට පත් වුණේ 1999 දීය. මෑතකදී එක්සත් ධීවර සමිතිය සහ ලෙල්ලමට අදාළ වෙනස්කම් දෙකක් සිදු වී තිබුණි. ඒ, ලෙල්ලමේ ආදායමෙන් පල්ලියට ලබා දුන් සීයට 10ක ආදායම් ප්‍රතිශතය විනිවිදභාවය පිළිබඳ මතභේදයක් නිසා ලබා නොදී නතර කිරීමය. දෙවැනි වෙනස වන්නේ ලෙල්ලමේ පරිපාලන කටයුතු සහ ආදායම් රැස් කිරීම මීට පෙර ටෙන්ඩර් හරහා බාහිර පාර්ශ්වයකට ලබා දී තිබුණු නමුත්, මේ වසරේ සිට එය එක්සත් ධීවර සමිතියේ පූර්ණ අයිතියට ලබා ගැනීමත් ය. ඒ අනුව ටෙන්ඩර් ලබා දීමෙන් ලැබුණු ආදායමට වඩා, වැඩි ආදායමක් ඉපැයීමේ හැකියාව ධීවර සමිතියට ලැබේ.

ජූඩ් ප්‍රනාන්දු ලෙල්ලමට එන ධීවරයෙකි. ඔහු කලක් තිස්සේ ලෙල්ලමට ආ ගිය කෙනෙකි. වැඩ අවසන් වූ සැණින් අපි ඔහුව කතාවට අල්ලා ගත්තේ ඔය කරුණු කාරණා ගැන අටුවා ටීකා ඇතිව දැන ගැනීමටය.

“මම මූදු යන්න අරන් අවුරුදු 40ක් විතර. 1987 දී මම සමිතියේ සාමාජිකත්වය ගත්තා. මගේ සහෝදරයනුත් ධීවර රස්සාව කරනවා. ඉස්සර සම්පූර්ණ කැලෑවක් මේකේ තිබුණේ. මේ තරම් දියුණු විදියට තිබුණේ නෑ. ලෙල්ලම තිබුණත්, කැලෑ වෙලා. එදා ලෙල්ලමේ ලොකු දේවල් සිද්ධවුණේ නෑ. චණ්ඩි මේක අල්ලගෙන හිටියේ. අපේ අයට ගැහුවා. ලෙල්ලමේ ආදායම ගත්තා. මට මතකයි අපේ ලොකු මාමට එක වතාවක් සෙට් එකක් ඇවිල්ලා ගැහුවා සමිතියේ ප්‍රශ්නයකට. 1999 දී අරුණලා ධීවර සංගමේ බලය ගත්තා.” ජූඩ් මේ කීවේ ලෙල්ලමේ වත්මන් පරිපාලනය වන අරුණ රොෂාන්ත ගැනය.

“ඒත් අරුණලාට සමිතිය කරන්න දෙන්නේ නැහැ කියලා චණ්ඩි කීවා. කට්ටිය පිහි අරගෙන බලය ගන්න ආවා. නිමල් ලාන්සාගේ කට්ටිය පවා ආවා. අපි ඒ වෙලාවේ බය වුණේ නෑ. අපිත් අල්ලාගෙන හිටියා. රණ්ඩු වුණා. අරුණලාගේ තාප්පය පවා එයාලා කැඩුවා. ඒ විදියට තමයි ධීවරයන් සමිතිය හදා ගත්තේ.

දැන් ඉන්න සමිතිය ධීවරයන්ට හොඳයි. පල්ලිය ගත්තොත් ධීවරයාට මොනවා වේවිද කියලා දන්නේ නෑ. අපට සල්ලි එහෙන් මෙහෙන් දෙනවා. හාල් දෙනවා. ඉස්කෝලේ යන ළමයින්ට පොත් දෙනවා. ඉස්සර එහෙම තිබුණේ නෑ. ඒ නිසා තමයි ලෙල්ලම වෙනුවෙන් විරෝධතාවලට මම සහභාගි වුණේ.” ජූඩ් වැඩිදුරටත් කීවේ ලෙල්ලමේ මැද සිටගෙනය. අනෙක් ධීවරයන්ටත් ඇසෙන අන්දමිනි. ඔහුගේ අදහසට එකඟ නැති නම් විරුද්ධ වීමේ හැකියාව අනෙක් ධීවරයන්ට තිබුණි.

ෂෙනාල් මේ ලෙල්ලමේ වෙළෙන්දෙකු ලෙසත්, ධීවරයෙකු ලෙසත් වැඩ කර ඇති අයෙකි. “මම අවුරුදු 18 දී වෙළඳාමට ආවා. මගේ තාත්තාගේ පවුලේ 11 දෙනෙක් හිටියා. කාන්තාවන් හැර හැමෝම ධීවරයන් ලෙස මුහුදු ගියා. තාත්තලා සහ ලොකු තාත්තලා ඇතුළු අය ධීවරයන්. මම ලෙල්ලමේ වෙළඳාමේ අවුරුදු 4ක් ඉඳලා, ඊට පස්සේ අවුරුදු 8ක් මුහුදු ගියා. ඊට පස්සේ අද දක්වාම මම වෙළඳාම කරනවා. මට දැන් වයස අවුරුදු 34ක්.

ලෙල්ලමක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ, ධීවරයන් මාළු අල්ලාගෙන එනවා. ඒවා මෙතැනදී වෙන්දේසි කරනවා. අපි වෙළෙන්දන් 40ක් විතර එකිනෙකා ගැටිලා මිල හෙට්ටු කරනවා. වෙන්දේසියේදී තමයි මිලට ගන්න මිල තීන්දු වෙන්නේ. ඊට පස්සේ අපි විකුණුම් මිලක් හදා ගන්නවා. රුපියල් 1000ට ගත්තොත් රුපියල් සීයක ලාභයක් තියලා විකුණනවා.

මනුස්සයකුගෙ ශරීරයේ වටිනාම දේ හදවත නම්, මේ ගමේ වටිනාම දේ ලෙල්ලම. ගමේ හදවත කියා හිතන්න වෙනවා. ගමට උපරිම සේවය කරන්න පුළුවන් තැනක්. මේකෙන් තනි මනුස්සයෙකුට හෝ පිරිසකට ආදායම ලැබෙනවා නම් ඒකෙන් ගමට වෙන්න පුළුවන් බොහෝ දේවල් අහිමි වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ගමට මේකෙන් සේවයක් කරන්න.

ධීවර සමිතියට මම මුහුදු යන කාලේ බැඳුණා. මේ වෙද්දී වෙළෙන්දෙක් නිසා මම ක්‍රියාකාරී නෑ. ඒත්, සමිතිය එක්ක ඕනෑ වෙලාවක අපි ඉන්නවා.

ඉස්සර ඇවිල්ලා මේක වෙනත් පරිපාලනයක් විසින් කරගෙන ගියා. ආදායම ලැබුණේ ටෙන්ඩර් ගත්ත අයට. ළඟදී තමයි සමිතියට පූර්ණ පාලනය ලැබුණේ. තවම මාස තුනයි. ඒ ටිකට ලොකු වෙනසක් අපි දැනටමත් දැකලා තියෙනවා. හැබැයි, සමිතියට සම්පූර්ණ පරිපාලනය ලැබුණාම සිද්ධ වෙන වෙනස හරියටම බලාගන්න අවුරුද්දක්වත් ගත වේවි. මේකේ ලොකු වෙනසක් එතකොට ගමටම බලාගන්න පුළුවන්. දැන් හැමෝටම එකම හැන්දෙන් බෙදනවා. වැඩ කරන කෙනෙක්ට පිළිවෙළට, කොලිටියට වැඩේ කරගෙන යනවා.

පල්ලියට මේක ලබා ගන්න ගිහින් තමයි ගැටුම්කාරී තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මම කතෝලිකයෙක්. අපි ගොඩක් අය පල්ලි යනවා. දසයෙන් කොටස වෙන් කරන එක අපට ප්‍රශ්නයක් නෑ. ඒත්, සම්පූර්ණ ආදායම පල්ලියට දෙන එක සුදුසු නැහැ. ලෙල්ලමේ ආදායම ගමට තියෙන්න ඕනෑ. අපි හිතාගෙන ඉන්නේ සමිතිය හරහා ලොකු වැඩ කොටසක් කරන්න. සමිතියේ බලාපොරොත්තුව තියෙන්නේ මේවා ලස්සන කරලා ඉදිරි සමාජයට ලබා දෙන්න.”

ඔහු දසයෙන් කොටසක් යනුවෙන් අදහස් කළේ සීයට දහයක ආදායම් ප්‍රතිශතයක් පල්ලියට ලබා දිය යුතු බවය. ඔවුන් පල්ලිය හා ගැටෙන්නට කැමති නැත. අනෙක් අතට පල්ලියට පූර්ණ ආදායම හිමි වෙනවාටත් කැමති නැත.

ඒ කතාබහ යන අතරේ, පිටිපන ලෙල්ලමේ ප්‍රධානියා හෙවත්, එක්සත් ධීවර සමිතියේ සභාපති අරුණ රොෂාන්ත අප අසලට පැමිණ සිටියේය. ඔහු නඩුවේ පාර්ශ්වකරුවෙක් වූ නිසා, මීට පෙර කාදිනල් නිවස අසල ආන්දෝලනාත්මක විරෝධයට සහභාගි වී සිටියේ නැත. ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදු කළ, මාධ්‍යවල අවධානයට ලක් වූ ප්‍රසංග ප්‍රනාන්දු ගොස් තිබුණේ අරුණගේ හිස්තැන පුරවන්නටය.

පල්ලියද? දීවර සමිතියද?

මේ සම්පූර්ණ කතාව තුළ අරුණටත් කියන්නට දෙයක් ඇති නිසා, අපි ඔහුගෙන් කතාව විමසුවෙමු.

“මේ මාකට් එක ගත්තේ මේ සමිතියේ සල්ලිවලට 1959 දී. ඊට පස්සේ සමිතියට තෑගි ඔප්පුවක් විදියටයි 1963 දී ලියා දීලා තිබුණේ. ඉඩම ඒ කාලයේ හිටපු අගරදගුරුතුමාගෙන් ණයක් අරගෙන අරන් තිබුණා.

එදා ඉංග්‍රීසියෙන් ලියා තිබුණු තෑගි ඔප්පුව ගැන තේරුම් ගන්න ධීවරයන්ට දැනුම තිබුණේ නෑ. ඒ වගේම මේ සමිතියට මම ආවේ 1999 දී. මම එන මොහොතේදි සමිතියේ සාමාජිකයන් 231ක් හිටියා. මෙතැන දැන් 600ක් හිටියා. ඒ වෙලාවේ පාලනය තිබුණේ මැරයන්ගේ සහ දේශපාලනඥයන්ගේ හෙංචයියන්ගේ අතේ. ඒ අය ගමට පිටින් ආ පිරිසක්.

මම එනකොට චණ්ඩි ඇවිත් මාළුවලට පයින් ගැසීම්, දණගැස්වීම්, කාන්තාවන්ට හිංසා කිරීම් පවා සිද්ධ වුණා. වතාවක් අම්මා, දුව පාරේදී දූෂණය කිරීමේ සිදුවීමක් පවා සිද්ධ වුණා. අපි ඇවිත් ඒ ප්‍රශ්න විසඳාගැනීමට ගහමරාගන්න පවා සිද්ධ වුණ බව කියන්නම ඕනෑ. 2000 විතර වෙද්දී ගැටුම් ඇති කරගෙන ඔළු පලාගෙන පවා අපි අයිතිය වෙනුවෙන් පෙනී හිටියා.

ඔය විදියට ලෙල්ලමේ පාලනය අපට තිබුණාට, අපි ලෙල්ලමේ එදිනෙදා පරිපාලන කටයුතු ටෙන්ඩරයක් දාලා කාටහරි බාර දුන්නා පුරුද්දක් විදියට. අපි ටෙන්ඩරයේ ආදායම තමයි වාර්ෂිකව සමිතියට ගත්තේ. 2024 දී අපි මේකේ පරිපාලනය සහ ව්‍යාපාරය සම්පූර්ණයෙන් සමිතිය අතට ගත්තා. ඒ අනුව පූර්ණ ආදායම සමිතියට ලැබෙන්න පටන් ගත්තා.

සමිතිය මේ ආදායම ධීවරයන් වෙනුවෙන් යොදවනවා. අපි විශ්‍රාම වැටුපක් දෙනවා. ඒක පුංචි මුදලක් වුණත්, අපට තියෙන ආදායම මත එකසිය ගණනකට ඒක ගෙව්වා. බෝට්ටුවක් පෙරළිලා මොනවාහරි වෙලා මරණයට ලක් වුණොත් අපි ලක්ෂයක් ගෙවනවා පවුලේ අයට. සාමාජික නොවන ධීවරයන්ටත් හානියකදී 50,000ක් විතර ගෙව්වා. හෘදයාබාධයක් වුවහොත් 50,000ක් ගෙවනවා. මරණ ගෙදරකදී මූල්‍යාධාර දෙනවා. පාසලට ගිය අවුරුද්දේ විතරක් ලක්ෂ දෙකහමාරක් ගෙව්වා. කන්‍යාරාමයට මුදල් දුන්නා. පාසල් සිසුන්ට ශිෂ්‍යාධාර ගෙව්වා. අපි පල්ලියට සීයට 10ක් දුන්නා. එහෙත්, එහි මූල්‍ය කරුණු ගැන ප්‍රශ්නයක් ඇතිවෙලා අපි දැන් ඒක නවත්වලා තියෙනවා. අවුරුදු 60ට අඩු හැම සාමාජිකයෙක්ටම රැකියා කරගන්න බැරි වුණොත් 30,000ක් ගෙවනවා. හදිසි අවස්ථාවක බෝට්ටුවක් කැඩිලා ඇන්ජිම ඇදගෙන ආවොත් සාමාජිකයකුට තෙල් ලීටර් 20ක් ගෙවනවා. බෝට්ටුවක් අනතුරට පත් වුණොත් බේරාගැනීමට අපි මැදිහත් වෙනවා. හදිසියේවත් කෙනෙකු මුහුදේ අතුරුදන් වුණොත්, සොයාගැනීමට සමිතියෙන් මුදල් වියදම් කරනවා. මේ බොහෝ සහයෝගයන් අපි දෙන්නේ අපේ සාමාජිකයන්ද, අපේ ගමේද කියලාත් බලන්නේ නැතිව. ගමේ පොදු වැඩකටයුතුවලට මුදල් වියදම් කරනවා. උදාහරණයක් විදියට මංගල්ලය වෙනුවෙන් සල්ලි වියදම් කළා. මෙච්චරකල් ඒ වියදම් ටෙන්ඩරයෙන් ලැබුණු ආදායමෙන් කළා. දැන් අපට ලැබෙන ආදායම වැඩි නිසා වැඩියෙන් සේවය කළ හැකියි.

මාකට් එකේ සියලු ප්‍රශ්නවලට අපි මැදිහත් වුණා. වෙළෙන්දන්ගේ ප්‍රශ්න විසඳන එක, අලුත්වැඩියා කිරීම්, සංවර්ධන කටයුතු පවා අපි කරනවා. වෙළඳපොළ කියන්නේ අමුතු එකක්. විවිධ මිනිස්සු මෙතැන හිටියා. බීලා එන අය, කුඩු ගහන අය පවා හිටියා. ඒවා නැති කරලා මෙතැනට ඔවුන් ආවාම ඉන්න පුළුවන් හොඳ පරිසරයක් හදා තියෙනවා.

ධීවරයාට මේ ආදායම වැදගත්. ලෙල්ලම පවතින්නේ ධීවරයන් මත. පල්ලියට මෙම මුදල ගියොත්, ඒක කොළඹ මධ්‍යගත අරමුදලක් කරා යනවා. සමිතියේ මුදල් ගම තුළ පවතිනවා. පල්ලියට හදිසි අවස්ථාවකදී මැදිහත් වීමේ හැකියාව නැහැ. දැනට පල්ලිය පවත්වාගෙන යන ලෙල්ලම් තියෙනවා. අපේ සමිතිය කරපු කාර්යභාරය ඒ තැන්වල කරනවාද කියා හොයා බලන්න පුළුවන්. අපට අල්ලපු ගමේ ඉස්සර තිබුණේත් අපේ දැන් තියෙනවා වගේ ඔප්පුවක්.

පල්ලියට පුළුවන් ගමේ කටයුතුවලට මැදිහත් වෙන්න. දැනට අපේ සමිතියේ වුණත් අනුශාසක ලෙස බිෂොප් උන්වහන්සේ ඉන්නවා. අපේ පරිපාලනයේ ගැටලුවක් තියෙනවා නම් මහා සභාවක් කැඳවලා සුදුසු ලෙස ඒ චෝදනා එල්ල කරන්න හැකියාව තියෙනවා.

අපි මේක පිරිසිදුව පවත්වාගෙන යනවා. මාළු කපන්න ඉඩ තියෙනවා. බුලත් කෙළ ගහන්න බෑ. විනය නීති අපි හදාගෙන තියෙනවා. අපට පරිපාලනය ලැබුණු පසු අපි මේක තවත් දියුණු කරන්න සැලසුම් හදලා තියෙනවා. දැන් අධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දීලා තියෙනවා. ඒ නියෝගය තුළ පවා අපට මුදල් එකතු කිරීම තහනම් කරලා නැහැ. දැන් අපි මෙතැන වැඩ කටයුතු කරගෙන යනවා.”

මේ සියල්ල මැද්දේ සාමාන්‍ය කතෝලිකයන්ට ධීවර විරෝධය ගැන ඇති වූ කුහුලත් අප අවබෝධ කරගත යුතුය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලීම ඇතුළු බොහෝ තැන්වලදී ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරීත්වයට කාදිනල් හිමි විවේචන එල්ල කළේය. ආර්ථික අර්බුද සමයක ආණ්ඩු විරෝධයකුත් තිබෙන නිසා, මෑත කාලය තුළ කතෝලිකයන් මෙන්ම කතෝලිකයන් නොවන අය අතර පවා කාදිනල් හිමි ගැන ප්‍රසාදයක් ඇතිව තිබෙනවා විය හැක.

එවන් විශේෂ ප්‍රසාදයක් තිබුණත් නැතත්, කාදිනල් හිමි කොළඹ කතෝලිකයන්ගේ නායකයාය. එහිමියන්ගේ නිවස ඉදිරිපිට දරුණු විවේචන සහිත විරෝධයක් පැවතීම, ආණ්ඩුවේ දේශපාලන වුවමනා මත සිදු වූවක් ලෙස ඇතැමුන් අර්ථකථනය කරනවාත් දක්නට ලැබුණි. ඒ මදිවාට මේ විරෝධයේදී අවධානයට ලක් වූ ප්‍රසංග ප්‍රනාන්දු සිවිල් ක්‍රියාකාරිකයෙකු ලෙස යම් යම් අවස්ථාවල වත්මන් ආණ්ඩුවට පක්ෂව අදහස් දක්වා ඇති අන්දමත් ඇතැම් අයගේ අවධානයට යොමු විය. ඒ නිසා පිටිපන ධීවරයන්ගේ විරෝධතාව කාදිනල් හිමිට එරෙහි ‘දේශපාලන ගේමක්’ ලෙස ඇතැම් තැන්වල අරුත් ගැන්වීය. ඒ අනුව ධීවරයන්ට එරෙහිව විරෝධතාත් සංවිධානය කෙරිණ. මාධ්‍යවලිනුත් මෙම සිදුවීම ආවරණය කරද්දී දෙපාර්ශ්වයම අඩිය පසුපසට නොගෙන එකිනෙකාට චෝදනා එල්ල කරනු දක්නට ලැබිණි.

එහෙත්, සැබෑ ලෙස මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුත්තේ පල්ලියද? ධීවර සමිතියද? යන දෙකෙන් එකක් බේරාගැනීමේ බල ගැටුමක් ලෙස නොවේ. ධීවරයන්ටත් ආත්මාභිමානක් ඇත. පල්ලියටත් ආගමික වශයෙන් ඇති වුණු අභිමානයක් ඇත.

පසුගිය සතියක ධීවර සංවිධාන, මීගමුවේ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවක් එක්ව සාකච්ඡාවකට මග විවර කරගෙන ඇතැයි අප කළ විමසීම්වලදී දැනගන්නට ලැබුණි. ඒ අනුව, ධීවරයන් කියනවා මෙන් ධීවර සමිතියට පරිපාලනයත්, පල්ලියට දසයෙන් පංගුවත් ලැබෙන විසඳුමකට යා හැකි බව අප සමග අදහස් දැක්වූ මීගමුවේ ප්‍රකට ධීවර නායකයෙකු ප්‍රකාශ කළේය. පෙනෙන ආකාරයට ගැටුම් සමනය කරගෙන යා යුත්තේත් ඒ දෙසටය.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment