මීගොඩ සහ හෝමාගම මුදල් කොල්ලකෑම් රැසකට දිල්හාරට චෝදනා

සැලසුමේ මහමොළකරු බත්තරමුල්ලේ බින්ටිද?

නිල්මැණික කොල්ලකෑමේ කොන්ත්‍රාත්තුවත් දිල්හාරට

සැකකරු හිටපු කොමාන්ඩෝ සෙබළෙක්

ඒ ඉකුත් දෙසැම්බරයේ එක්තරා දිනයකි. ඩුබායි රාජ්‍යයේ වාසය කරන අතුරුගිරියේ ලැටාගේ ජංගම දුරකථනයට මහේෂ්ගෙන් ඇමතුමක් ලැබුණේය.

“ලැටා අයියා කරනවා නම් කෝටි ගාණක් අතට මහ වැඩක් තියෙනවා. වැඩේ කරගත්තොත් අපි හැමෝම ගොඩ…”

මහේෂ්ගේ යෝජනාව ගැන ලැටා තුළ ඇති වූයේ කුතුහලයකි.

“මොකක්ද බං… හොඳ වැඩක් නම් අතගහමු”

ලැටා කීවේය.

“යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන හාමුදුරු කෙනෙක් ළඟ කෝටි ගාණක් වටිනා නිල් මැණිකක් තියෙනවා. හාමුදුරුවෝ මේක විකුණන්න යන්නෙ. ගේමක් ගැහුවොත් අපට ගල ගන්න පුළුවන්. වැඩේ හරියට කරගත්තොත් ජීවිත කාලෙම අපි ගොඩ”

මහේෂ් ලබාදුන් තොරතුරෙන් ලැටා කුල්මත් වුණේය. කාලෙකට පස්සේ හොඳ වැඩකට අතගැසීමට හැකිවනු ඇතැයි ලැටා සිතුවේය.

“හරි උඹ වැඩේ ලෑස්ති කරපං මං ටීම් එකක් දෙන්නම්. ඕනෙම දේකට රෙඩි වෙච්ච කොල්ලො ටිකක් මගේ ළඟ ඉන්නවා.”

අතුරුගිරියේ ලැටා දැඩි විශ්වාසයකින් යුතුව කීවේය.

“මේ හාමුදුරුවො ගුරුකම් කරන කෙනෙක් ආරංචි විදිහට නිධානයකින් ගත්ත කෝටි ප්‍රකෝටි ගාණක මැණික් ගල් හාමුදුරුවො ළඟ තියෙනවා. ඒ අතර තියන එක නිල් මැණිකක් තමයි විකුණන්න යන්නෙ. කෝටි දෙතුන්සීයක් වටින ගලක්ලු මේක…”

මහේෂ් ලැටාට තව තවත් විස්තර කීවේය. නිල් මැණික ලබාගැනීමේ සිහිනය ලැටාගේ සිතට තදින්ම කාවැදුණේය. කෙසේ හෝ එය ඉටුකරගෙන මහා ධානපතියකු වීමට ඔහු සිහින මැව්වේය.

අතුරුගිරියේ ලැටා යනු පාතාල අපරාධකරුවෙකි. බත්තරමුල්ලේ බන්ටී ඔහුගේ සමීපතම සගයාය. මේ අපරාධකාරයන් දෙදෙනාම මීට වසර කීපයකට උඩදී ඩුබායි රාජ්‍යය වෙත පලා ආවෝය.

මෙරට පාතාල නායකයන්ගේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ රාජධානිය බවට පත්ව තිබෙන ඩුබායි රාජ්‍යය මේ අපරාධකාරයන්ගේද නවාතැන් පළ වූහ.

මත්ද්‍රව්‍ය ජාවාරම් මොවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග විය. ඊට අමතරව සිය එදිරිවාදීන් ඝාතනය කිරීම ඇතුළු විවිධ අපරාධවල නිරත වෙමින් බන්ටී සහ ලැටා ඩුබායි රාජ්‍යයේ සුඛෝපභෝගි ජීවිත ගත කරමින් සිටියෝය.

මහේෂ් යනු ලැටාගේ සමීපතම ගෝලයෙකි. අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මහේෂ් මෙරට සියලු තොරතුරු ලැටාට ලබාදෙමින් සමීප සබඳතාවක් ගොඩනඟාගෙන සිටියේය.

මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ කලපලුවාවේ ධම්මරතන හිමියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමටත් හඳහන් බැලීමටත් ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ හිමිනමකි.

එම හිමියන් නිධානයකින් ලබාගත් බව කියන වටිනා මැණික් ගල් තොගයක් අතරින් එක් නිල් මැණිකක් විකිණීමට සූදානම් වන බවට මහේෂ්ට තොරතුරු ලැබී තිබුණේය. මහේෂ් කාටත් හොරා මේ පිළිබඳව සොයා බැලුවේය. එය සත්‍යයකි. ධම්මරතන හිමියන්ගේ නිල් මැණික මිලදී ගැනීමට පාර්ශ්ව කීපයක්ම පැමිණ ඇති බව මහේෂ් සොයා ගත්තේය.

“මැණික ගන්න විදිහට උඹ පන්සලට ගිහින් හාමුදුරුවො හම්බවෙලා විස්තර අහගනින්. ඊට පස්සේ අපි ප්ලෑන් එකක් ගහමු. ගල අතට ගන්න”

ලැටාගේ උපදෙස් මත මහේෂ් මල්වතුහිරිපිටිය කහටානේ පිහිටි ඝනාරාමය වෙත එක් වරක් නොව තුන් වරක්ම ගියේය. ඒ එක් වතාවකදීවත් ධම්මරතන හිමියන් හමුවීමට ඔහුට අවස්ථාව ලැබුණේ නැත.

ඝනාරාමයේ ආවතේව කටයුතු සඳහා මන්දමානසික තරුණයකු සිටියේය. මහේෂ් විහාරස්ථානයට යන හැමවතාවකදීම මේ තරුණයා ඔහුට පාට් දැම්මේය.

“හාමුදුරුවො පන්සලේ නෑ යනවා යන්න. මෙහෙ එන්න එපා…”

මන්ද මානසික තරුණයාට මහේෂ්ව දිරෙව්වේ නැත. සමහරවිට මේ තරුණයා මහේෂ් ගැන කිසියම් සැකයක් මතුවුණා විය හැකිය.

එහෙත් මහේෂ් විහාරස්ථානයේ සිටි වෙනත් පුද්ගලයකු හිතවත් කරගත්තේය. ඒ ධම්මරතන හිමියන් ගැන තොරතුරු ලබා ගැනීමටය.

“හාමුදුරුවො වටිනා මැණික් ගලක් විකුණන්න යන්නෙ. ඒක බලන්න කීපදෙනෙක්ම පන්සලට ආවා. විහාරාමයේ සිටි පුද්ගලයා මහේෂ්ට කීවේය.

“ඔයා හාමුදුරුවො ඉන්න වෙලාවල් ගැන බලලා මට කියන්න. මං ඔයාට ඒකට හොඳට සලකනවා. අපි මේ ගල කොහොමහරි ගන්නවා. හොඳින් හරි නරකින් හරි. ඒ නිසා මට මේ උදව්ව කරන්න. ගල වික්කම ඔයාට ලොකු ගාණක් මං දෙනවා”

මහේෂ් විහාරයේ සිටි පුද්ගලයාට කීවේය. ඔහුද මහේෂ්ගේ කීම හිස් මුදුනින්ම පිළිගත්තේය. එතැන් සිට මේ පුද්ගලයා පන්සලේ සිදුවන සියලු දේ මහේෂ්ගේ කන තැබුවේය.

“ලැටා අයියා ඔන්න සේරම විස්තර හොයාගත්තා. හාමුදුරුවන්ගෙ තොරතුරු ගන්න පන්සලේම කෙනෙක් ලෑස්ති කරගත්තා. අපට දැන් තියෙන්නෙ ගල ගන්න වැඩේ විතරයි.”

මහේෂ් ඩුබායිහි වෙසෙන ලැටාට කීවේය. ඒ වනවිට ලැටා සහ බන්ටි නිල් මැණික ලබාගැනීමට සියලු සැලසුම් සකස් කරගෙන සිටියහ. ඒ සඳහා කණ්ඩායමක්ද සූදානම් කරගෙන සිටියෝය.

සංඛ යනු ලැටාගේ කල්ලියේ සාමාජිකයෙකි. අතුරුගිරියේ පදිංචිකරුවකු වන සංඛ විවිධ අපරාධවලට තිරය පිටුපස සිට සම්බන්ධ වූ අයෙකි.

චීසා ද ලැටාගේ ගෝලයෙකි. ලැටා සහ බන්ටී ලබාදුන් කොන්ත්‍රාත් මිනී මැරුම් ඇතුළු විවිධ අපරාධවලට චීසා සම්බන්ධ වුණේය.

ධම්මරතන හිමියන් සතු කෝටි ගණනක් වටිනා නිල් මැණික කොල්ලකෑමේ සැලසුම සංඛ සහ චීසා වෙත භාර දුන් ලැටා ඊට අවශ්‍ය සියලු උපදෙස් ලබාදුන්නේය.

“මේ ගේම් එක හරියට ගහගත්තොත් අපි සේරම ගොඩ. මහේෂ් කියන විදියට ඔය නිල් මැණික කෝටි දෙතුන්සීයක් වටිනවා.”

ලැටා සිය ගෝල බාලයන්ට කීවේය.

“හොඳ කොල්ලෙක් දෙන්නෙක් ලෑස්ති කරගන්න. පන්සලට ගිහින් හොඳින් කතා කරලා මැණික ගන්න බලන්න. බැරිම වුණොත් හාමුදුරුවො පරලොව යවලා හරි ගල අතට ගන්න එච්චරයි අපට ඕනෙ…”

බත්තරමුල්ලේ බන්ටීද මේ සැලසුමේ මහ මොළකරුවකු විය. ඔහු සංඛ සහ චීසාට නිතර නිතර දුරකථනයෙන් කතා කර උපදෙස් ලබාදුන්නේය.

චීසා යනු පාතාල අපරාධකාරයෙකි. චීසාගේ සමීපතම මිතුරා වූයේ කල්හාරය. කල්හාර යනු කුලී මිනීමරුවෙකි. යුද හමුදා කොමාන්ඩෝ බළකායට බැඳී වසර තුනක පමණ කාලයක් සේවය කළ කල්හාර 2017 වර්ෂයේදී ඉන් ඉවත් වුණේය.

එතැන් පටන් විවිධ රැකියාවල නිරත වෙමින් සල්ලිකාරයකු වීමට කල්හාර උත්සාහ කළේය. බියගම ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවක සේවය කරද්දී කල්හාරට චීසා දැන හඳුනාගන්නට ලැබුණේය.

එතැන් සිට කල්හාර සහ චීසා ගජ මිතුරන් බවට පත් වුණේය.

“මේ ගාමන්ට්වල වැඩ කරලා ගොඩයන්න බැහැ. සල්ලි ටිකක් වැඩිපුර හම්බවෙන වැඩක් කරන්න ඕනෙ. නැත්නම් අපි හැමදාම එකම තැන”

දිල්හාර නිතර නිතර මේ ගැන චීසාට කීවේය. චීසා සිටියේද අනේක විධ ප්‍රශ්න ගොඩකය. ඒ මදිවාට චීසා මත්ද්‍රව්‍ය භාවිතයටද තදින් ඇබ්බැහි වී සිටියේය. ඒ සඳහා දෛනික විශාල මුදලක් ඔහුට අවශ්‍ය විය. චීසා සංඛගේ සමීප මිතුරකු නිසා ඔහුගේ මාර්ගයෙන් මුදල් උපයන වැඩ හොයාගන්න උත්සාහ කළේය.

“හරි මගේ වැඩක් තියනවා මං උඹලට ලක්ෂ 3ක් දෙන්නම් එකෙක්ව පරලොව යවන්න තියෙනවා. ඒ වැඩේට ලෑස්ති වෙයන්…”

සංඛ දිනක් චීසාට කීවයේ. සංඛගේ යෝජනාවෙන් එක්වරම චීසා අන්දුන් කුන්දුන් වුණේය. ඒ වනවිට කිසිම දිනක මිනිස් ඝාතනය කර නොතිබූ නිසා චීසාගේ සිතට දැනුණේ කිසියම් බියකි. එහෙත් ලක්ෂ 3ක මුදලක් ලැබෙන නිසා ඔහු ඒ බිය තුරන් කර ගත්තේය.

“මගේ අයියව මරවනවා දිලුම් කියලා එකෙක්. ඉඩම් ආරවුලකට මේක සිද්ධ වෙන්නෙ උඹට තියෙන්නෙ මගේ අයියා මරපු එකාව පරලොව යවන්න..”

සංඛ කීවේය. ලැබෙන මුදල ගැන සිතූ චීසා සංඛගේ කොන්ත්‍රාත්තුව භාරගත්තේය. ඔහු කෙලින්ම ගියේ තම කල්‍යාණ මිතුරා වූ කල්හාර හමුවීමටය.

“මචං පොඩි වැඩක් හම්බ වුණා අතට ගාණක් එන වැඩක්. උඹට තමයි මේ වැඩේ කරන්න වෙන්නෙ.”

චීසා කල්හාරට සියලු විස්තර කීවේය.

ඩුබායි සිටින බන්ටියි ලැටියි බොරු මැණිකකට හිමිනමකුත් බිලිගනී

“අපිට තියෙන ප්‍රශ්නවල හැටියට මේක ලොකු ගාණක්. අපි වැඩේ කරමු. වෙඩි තියන වැඩේ මං භාරගන්නම්. උඹ මා එක්ක බයික් එකේ වරෙන්”

කල්හාර කොන්ත්‍රාත්තුව භාරගනිමින් කීවේය.

ඉකුත් 2023 වර්ෂයේදී තලංගම වැලි පාරේදී මහ දවල් තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමට කල්හාර සහ චීසා කටයුතු කළේ සංඛ ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මතය.

ඒ දිල්හාරගේ මුල්ම මිනිස් ඝාතනය විය. මේ කොන්ත්‍රාත් ඝාතනයෙන් පසුව දිල්හාර වෙත තවත් කොන්ත්‍රාත් මිනීමැරුම් කිහිපයක්ම ලැබුණේය. එකෙක් මරපු එකාට දහයක් මරණ එක කජ්ජක් නොවන බව කියමින් දිල්හාර තවත් කොන්ත්‍රාත්තුවක් භාර ගත්තේය. ඒ හංවැල්ල පාතාලයේ කෙරුමකු වූ මන්නා රොෂාන් වෙඩි තබා ඝාතනය කිරීමයි.

ඒ කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ ඩුබායිහි සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ලලිත් කන්නන්ගර විසින්ය.

පාදුක්ක ප්‍රදේශයේ රබර් වත්තකදී මන්නා රොෂාන් වෙඩි තබා ඝාතනය කර ඔහුගේ ගෝලයාටද බරපතළ තුවාල කරලා දිල්හාර පලා ගියේය. ඒ කොන්ත්‍රාත් මිනිස් ඝාතනය සඳහා ද විශාල මුදලක් දිල්හාරට ලැබිණි.

එතැන් සිට ගාමන්ට් රස්සාවට ආයුබෝවන් කියූ දිල්හාර පාතාල කොන්ත්‍රාත් මිනී මැරුම් සිදු කිරීමටත් කොල්ලකෑමටත් පටන් ගත්තේය. ඒ සියල්ල දුක් නොවිඳා ඉතාම ලෙහෙසියෙන් පහසුවෙන් මුදල් ඉපයිය හැකි ආදායම් මාර්ග බව තේරුම් ගත් දිල්හාර දිගින් දිගටම ඒ අපරාධවල නිරත වුණේය.

මීගොඩ ගෘහ භාණ්ඩ අලෙවි සලකට සන්නද්ධව කඩා වැදී රුපියල් ලක්ෂ 78ක මුදලක් කොල්ලකෑම, හෝමාගම සණස බැංකුවෙන් රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් කොල්ලකෑම දිල්හාර ඇතුළු කිහිපදෙනක් විසින් සිදු කළෝය.

ධම්මරතන හිමියන්ගේ නිල් මැණික කොල්ලකෑමේ කොන්ත්‍රාත්තුව චීසා මාර්ගයෙන් දිල්හාරට ලැබෙන්නේ ඔය අතරතුරදීය.

ඒ වනවිට නිල් මැණික කොල්ලකෑමේ සැලසුමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබුණේය. බන්ටීගේ සහ ලැටාගේ නියෝග සහ උපදෙස් මත ඒ සියල්ල සංඛ විසින් සම්පාදනය කළේය.

“පන්සලට යන්න හොන්ඩා හිට් කාර් එකක් ලෑස්ති කළා. හොර නොම්මරයක් ගහලා වාහනේ අඳුන ගන්න බැරි වෙන්න සේරම ලෑස්ති කළා. ටී 56 වෙපන් එකයි පිස්ටල් එකකුයි රෙඩි. ඒ දෙකම උඹලට ලැබෙන්න සලස්වන්නම්. අපේ වැඩේ කරන්න මහේෂ් ඩේට් එකක් දෙයි…”

සංඛ මැණික් කොල්ලයේ ඉදිරි සැලසුම් පිළිබඳව දිල්හාර සහ චීසා දැනුවත් කළේය.

“පසිඳු කියලා මගේ හිතවත් කොල්ලෙක් ඉන්නවා. ඌ ඕනෙම වැඩකට රෙඩි. මං ඌවත් මේ වැඩේට ලෑස්ති කරගත්තා.”

දිල්හාර සංඛට සහ චීසාට කීවේය.

මේ අතර මහේෂ් සැලසුම සඳහා අවශ්‍ය කරන බුද්ධි තොරතුරු නිරතුරුව ලබාගනිමින් සිටියේය. ඝනාරාමයේ සිටි සිය ඔත්තුකරු දෛනිකව දුරකථනයෙන් සම්බන්ධ කරගත් මහේෂ් ධම්මරතන හිමියන්ගේ සියලු ගමන් බිමන් ඇතුළු තොරතුරු ලබාගත්තේය.

“මහේෂ් අයියා ලබන 23 වැනිදා ධම්මරතන හාමුදුරුවො අනිවාර්යයෙන්ම පන්සලේ ඉන්නවා. මොකද එදාට විශේෂ දානයක් තියනවා. එදාට ආවොත් හාමුදුරුවො හම්බවෙලා අයියලගෙ වැඩේ කරගන්න පුළුවන්.

ඝනාරාමයේ සිටි ඔත්තුකරු මහේෂ්ට කීවේය. එමෙන්ම මේ ඔත්තුකරු ලබාදුන් තවත් තොරතුරු කීපයකින් මහේෂ් තරමක් තැති ගත්තේය. “මහේෂ් අයියා ධම්මරතන හාමුදුරුවො ගුරුකම් කරන්න හරිම දක්ෂයි. එයා වැඩක් කළොත් ආයෙ කිරිගහට ඇන්නා වගෙයි. හාමුදුරුවන්ට බලයක් තියනවා මිනිස්සු ගල් කරන්න. ඒවට මන්තර තියනවා එයා ළඟ. ඒ නිසා මේ වැඩේට එන අයට පරිස්සමෙන් කටයුතු කරන්න කියන්න.”

ඝනාරාමයේ ඔත්තුකරු මහේෂ්ට කීවේය. මහේෂ් මේ සියලු තොරතුරු බන්ටීට මෙන්ම ලැටාටද කීවේය.

මහේෂ්ගේ කතා ඇසීමෙන් කල්හාර තරමක් තැති ගත්තේය.

“මමත් අහලා තියනවා ඔය හාමුදුරුවො වැඩකාරයෙක් කියලා. කෝකටත් අපි කල්පනාවෙන් යන්න ඕනෙ.”

කල්හාර සිය සගයන්ට කීවේය. මේ අතර ඩුබායි සිටින බන්ටි සහ ලැටා දිගින් දිගටම සංඛ මෙන්ම චීසා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය. ඔවුන් දෙදෙනා දිල්හාරටද නිතර නිතර කතා කළහ.

“දිල්හාර මල්ලි උඹ කොහොමහරි හාමුදුරුවො ළඟ තියන මැණික හොයාගනින්. හාමුදුරුවො මොනවාහරි පාට් එකක් දාන්න ආවොත් ඉවරයක් කරලා දාපං. දන්නවනෙ… උඹට ආයෙ ඕවා ගැන කියලා දෙන්න දෙයක් නැහැනෙ”

ලැටා දිල්හාරට කීවේය. ඝනාරාමයේ ඔත්තුකරු ලබාදුන් දින එනම් ජනවාරි 23 වැනිදා මැණික කොල්ලකෑමට සියල්ල සූදානම් කෙරිණි. ඊට පෙර දින සංඛ හොන්ඩා හිට් වර්ගයේ මෝටර් රථය ගෙනැවිත් චීසාට භාර දුන්නේය.

එදින රාත්‍රියේ චීසා සහ දිල්හාර මෝටර් රථයේ නැඟී අතුරුගිරිය ගල්වරුසා මාර්ගයේ පාළු ස්ථානයක රැඳී සිටියහ. ඒ වනවිට ටී 56 අවිය සහ පිස්තෝලයද ඔවුන් වෙත ලබාදෙන්නට සංඛ කටයුතු කර තිබුණේය.

“අපිට දැන් කොහෙවත් නතර වෙන්න වෙන්නෙ නැහැ. රෑ එළිවෙනකල් අපි දෙන්නා කාර් එකේ නිදාගමු. හෙට උදේම වැඩේට බහිමු…”

චීසාගේ යෝජනාව අනුව එදින මෝටර් රථය තුළම රැය පහන් කිරීමට ඔවුන් කටයුතු කළහ.

ජනවාරි 23 වැනිදා උදෑසන චීසා සහ කල්හාර සියඹලාපේ හන්දියට ආවෝය. මහේෂ් සහ කල්හාරගේ මිතුරා වූ පසිඳු ද අතරමඟදී මෝටර් රථයට ගොඩ වුණේය. මෝටර් රථය පදවාගෙන ගියේ චීසාය.

මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාමය ආසන්නයේ මෝටර් රථය නතර කළ චීසා විහාරස්ථානය නිරීක්ෂණය කරන ලෙස කල්හාරට උපදෙස් දුන්නේය.

ඒ මොහොතේ විහාරස්ථානය තුළ සිට භික්ෂුන් වහන්සේලා පිරිසක් රැගත් වෑන් රථයක් පිටතට ආහ.

“ධම්මරතන හාමුදුරුවො යනවද කොහෙද අපි වෑන් එක ෆලෝ කරලා බලමු. කලබලයට පත්වූ චීසා කල්හාර ද නැවත මෝටර් රථයට නන්වාගෙන වෑන් රථය පසුපස හඹා ගියේය. වෑන් රථයට මග හරස් කර මෝටර් රථය නතර කළ චීසා සහ කල්හාර ඉන් බැස ගොස් එය පරීක්‍ෂා කළේය.

ධම්මරතන හාමුදුරුවෝ හම්බවෙන්න ආවෙ හඳහනක් බලලා වෙලාවක් ගන්න. හාමුදුරුවො වෑන් එකේ ඉන්නවද?

චීසා එහි සිටි භික්‍ෂුන් වහන්සේලාගෙන් විමසුවේය. ඒ වනවිට මහේෂ් ද මෝටර් රථයෙන් බැස වෑන් රථය තුළ සිටි භික්‍ෂුන් වහන්සේලා නිරීක්‍ෂණය කළේය.

හාමුදුරුවො වැඩියෙ නැහැ පන්සලේ ඇති.

එහි සිටි භික්‍ෂුන් වහන්සේල කීහ.

චීසා අයියෙ හාමුදුරුවො මෙතන නැහැ. අනිවාර්යෙන්ම පන්සලේ ඇති. අපි ටක් ගාලා යමු….

පිරිස ඒ සැණින් විහාරයට ඇතුළු වූහ. ඒ වනවිට විහාරස්ථානයේ සිටි භික්‍ෂුන් වහන්සේලා දහවල් දානය ගනිමින් සිටියහ. පන්සලේ ආවතේවකරුවන් මුණගැසුණු කල්හාර චීසා මහේෂ් සහ පසිඳු ධම්මරතන හිමියන් ගැන විමසුවෝය. අපි සී. අයි. ඩී. එකෙන් ආවේ. ධම්මරතන හාමුදුරුවෝ නිධානයක් හෑරුවා කියලා තොරතුරක් අපිට ලැබුණා. කරුණාකරලා අපට ඒ හාමුදුරුවන්ගේ කාමරේ පරීක්‍ෂා කරන්න දෙන්න.

චීසා එහි සිටි ආවතේවකරුවන් බිය ගන්වමින් කීවේය. ඒ අතර ධම්මරතන හිමියන්ගේ ආවතේවකරුගේ බෙල්ලෙන් අල්ලාගත් චීසා ඔහු ඇදගෙන එම හිමියන්ගේ ලැගුම්ගෙය වෙත ගියේය.

“අපට වැඩි වෙලාවක් නැහැ. මැණික සොයා ගන්න ඔය තියෙන දේවල් අවුස්සලා බලන්න.

කල්හාර සිය සගයන්ට කීවේය. පිරිස ධම්මරතන හිමියන්ගේ ලැගුම්ගෙය අනිත්පැත්තට පෙරලන්නට වූහ. ඒ අතර විහාරස්ථානයේ ඔත්තුකරු මහේෂ් සොයා ආවේය. ධම්මරතන හිමියන් මැණික සඟවා ඇති ස්ථානය ඔත්තුකරු මහේෂ්ට පෙන්නුවේය.

චීසා එකවරම මැණික සියතට ගත්තේය. එය දැකීමෙන් චීසාගේ දෑස් උඩරැන්ද වුණේය.

මේක නම් හිතා ගන්නත් බැහැ මාර වටිනවා ඇති.

චීසාට නිරායාසයෙන් කියැවුණේය. ඒ වනවිට ධම්මරතන හිමියන් කලබලයෙන් සිය කුටිය වෙත දිව ආවෝය.

“උඹලා කව්ද මොනවද මෙතන කරන්නෙ. බැහැපියව් මගේ කාමරෙන් එළියට.

ධම්මරතන හිමියෝ කෑගැසුවෝය.

හාමුදුරුවණේ මෙතැන ප්‍රශ්න ඇති කරන්න එපා. වැඩිය දැඟලුවොත් තියනවා ඔලුව පොඩි වෙන්න. ඒ නිසා අපිට අපේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න.

කල්හාර කෑ ගැසුවේය. එහෙත් ධම්මරතන හිමියන් බියට පත් වුණේ නැත. හිමියන් යක්‍ෂාවේෂයෙන් හැසිරෙන්නට පටන් ගත්තේය.

“මිනිස්සුන්ව ගල් කරන්න හාමුදුරුවෝ ළඟ මන්තර තියනවා “විහාරයේ ඔත්තුකරු ලබාදී තිබූ අනතුරු ඇඟවීම ඒ සැණින් කල්හාරගේ සිතට නැගුණේය. ධම්මරතන හිමියන් හැසිරෙන ආකාරයට එවැනි භයානක දෙයක් කරනු ඇතැයි ඔහුට සිතුණේය.

මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් දෙපාරක් හිතන්නෙ නැතිව ඇදලා අරින්න අපට හාමුදුරුවන්ගෙන් වැඩක් නැහැ. මැණික විතරයි අපට වටින්නේ.

ඩුබායිහි සිටින බන්ටි සහ ලැටා තමන්ට ලබාදුන් උපදෙස් කල්හාරගේ සිතට ආවේය. කල්පනා කරමින් සිටින්නට වේලාවක් නැත. කල්හාර ටී. 56 අවියෙන් අහසට වෙඩි කිහිපයක් තබා ධම්මරතන හිමියන් බිය ගැන්වීමට උත්සාහ කළේය. එහෙත් ඉන් ධම්මරතන හිමියන් පාලනය වුණේවත් බිය වුණේවත් නැත.

‘තියපං මට පුළුවන් නම්, වෙඩි තියලා මාව මරපං උඹලා දන්නේ නැහැ මං කව්ද කියලා. මට පුළුවන් උඹලා සේරම විනාශ කරලා දාන්න.

ධම්මරතන හිමියන් කෝපයෙන් කෑගැසුවෝය. තවත් කල්පනා කරමින් කාලය විඩංගු කිරීම බෙහෙවින් අනතුරුදායක බව කල්හාර සිතුවේය. එකවරම ටී 56 අවිය ධම්මරතන හිමියන් වෙත එල්ල කළ කල්හාර එය ක්‍රියාත්මක කළේය.

හෙණ හඬ නන්වමින් පිටවූ ටී56 උණ්ඩය ධම්මරතන හිමියන්ගේ සිරුර විනිවිද ගියේය. හිමියන් විහාරස්ථානය තුළම කපාහෙලූ කෙසෙල් කඳක් මෙන් ඇදවැටුණේය. විහාරස්ථානයේ සිටි අනෙකුත් භික්‍ෂුන් වහන්සේලා සහ ආවතේවකරුවන් හිස්ලූ ලූ අත දිවයන්නට වූහ.

යමු යමු මෙතනින් පුළුවන් තරම් ඉක්මනට මාරුවෙමු. ‘චිසා’ කෑගැහුවේය. පිරිස දිවගොස් මෝටර් රථයට ගොඩ වුණේය. රථය පවනට බඳු වේගයෙන් විහාර භූමියෙන් පිට වුණේය.

ලැටා අයියා ඔන්න කියපු විදිහටම වැඩේ කළා. බඩු දැන් අපේ අතේ හැබැයි හාමුදුරුවො පරලොව ගියා. අපිට බය හිතුනා හාමුදුරුවෝ අපිව ගල් කරයි කියලා.

චීසා ඩුබායි දේශයට ඇමතුමක් ගෙන සිදුවූ සියලු විස්තර ලැටාට සහ බන්ටිට කීවේය. එතැන් සිට මීළඟ අදියර ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ලැටා සිය ගෝල බාලයන්ට උපදෙස් දුන්නේය.

චීසා මැණික් ගල උඹ ගණින්. වෙපන් දෙක කල්හාරට අරන් යන්න දීපන්. ඒ වගේම උඹලා ආව ඔය කාර් එක කොහෙ හරි පාළු තැනකට අරන් ගිහින් ගිනි තියලා දාපං එතකොට සාක්‍ෂි නැතිව යනවා.

ලැටා සිය සගයන්ට උපදෙස් ලබාදෙමින් මීළඟ සැලැසුම් පිළිබඳව උපදෙස් දුන්නේය. ලැටාගේ උපදෙස් මත ධම්මරතන හිමියන් ඝාතනය කර ලබාගත් නිල් මැණික චීසා ගත්තේය. ටී 56 අවිය සහ රිවෝල්වරය කල්හාරට භාර දුන්නේය. ඒ අතර මඟදි ඔවුන් දෙදෙනා මෝටර් රථයෙන් බැස ගත්හ.

‘උඹලා දෙන්නා මේ කාර් එක කොහොම හරි අරන් ගිහින් ගිනි තියලා මාරු වෙයල්ලා. මැණිකෙ බිස්නස් එක කරපු ගමන් උඹලගෙ ගනුදෙනු බේරනවා. දන්නවනෙ චීසාගේ හොර බොරු නැහැ. සංඛ උඹලව කන්ටෑක් කරයි.’

චීසා සිය සගයන්ට උපදෙස් දෙමින් ඔවුන්ගෙන් සමුගත්තේය. චීසාගේ උපදෙස් මත පසිඳු සහ මහේෂ් මෝටර් රථය රැගෙන ගොස් කඩුවෙල ප්‍රදේශයේ පාළු ස්ථානයක දමා ඊට ගිනි තැබුවෝය. පසුව ඔවුන් දෙදෙනාද එතැනින් ඉවත් වුණේ ධම්මරතන හිමියන් ඝාතනය කර මැණික කොල්ලකෑම සදාතනික වැලලී යන අපරාධයක් වනු ඇතැයි සිතාගෙනය.

එතැන සිට ලැටා සහ බන්ටී දිගින් දිගටම චීසා සමඟ සම්බන්ධ වෙමින් ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කළහ.

“ඔය ගල කෝටි ගණනක් වටිනවා. ඕක කාටවත් මාට්ටු නොවී විකුණා ගන්න බලමු. මුලින්ම කරන්න ඕනේ ඕක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට දීලා වැලිව් කරගන්න එක. එතකොට අපට ඕකෙ නියම තක්සේරු වටිනාකම ලැබෙනවා.” බන්ටි චීසාට කීවේය.

“ඒ වැඩේ හොඳයි. මම හෙටම ඒක කරන්නම් එතකොට අපට මේක නියම වටිනාකමට විකුණන්න ලැබෙනවා…

එසේ කියූ චීසා පසු දිනම කොල්ලුපිටියේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගියේය. ධම්මරතන හිමියන් ඝාතනය කර කොල්ලකෑ නිල් මැණික ඊට භාරදුන් චීසා එහි තක්සේරු වටිනාකම ඉල්ලා සිටියේය. කොල්ලකෑ නිල් මැණිකේ තක්සේරු වටිනාකම සහිත සහතිකය චීසා අතට පත්වීමෙන් පසු ඔහු තුෂ්ණිම්භූත වුණේය.

“අනේ දෙයියනේ මේ මොකක්ද මේ වුණේ අපි එතකොට මිනීමරලා ගත්ත නිල් මැණිකෙ කිසිම වටිනාකමක් නැති එකක්ද?

චීසා අත්දෙකෙන්ම ඔළුව බදාගෙන මොහොතක් කල්පනා කළේය. ඔහුගේ මුළු ගතම හිරිවැටී යන අයුරු ඔහුට දැනුණේය.

“අනේ සර්… මේ ගල මොකද වටින්නේ නැත්තේ. අපි මේක ලොකු ගානකට ගත්තේ… චීසා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියකුගෙන් ප්‍රශ්න කළේය.

“ඕක ආටිවිෂල් ගලක්. මිනිස්සු රවට්ටන්න ඔය වගේ ගල් හදලා දෙනවා. නිධානවලින් ගත්තා කියලා තමයි වැඩිපුරම ඔය වැඩේ කරන්නේ. රත්‍රං කාසි විදිහට මරංචි දෙන්නෙත් ඔයවගේ තමයි.

ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියා කියූ දෙයින් චීසා අන්දමන්ද වුණේය. චීසා මැණික් ගලේ සහ ඒ වෙනුවෙන් ලබාදුන් තක්සේරු වාර්තාවේ පිටපත් ඩුබායි සිටින ලැට්ටාට සහ බන්ටීට වට්ස්ඇප් මාර්ගයෙන් යැව්වේය.

‘අපිට ලොකු වැරදීමක් වුණේ. අපරාදෙ අර හාමුදුරුවො නිකං මැරුම් කෑවා’

ලැටා සහ බන්ටී එසේ කීවේ බලාපොරොත්තු සියල්ල සුන්වීමෙන් පසු ඇති වන දුක වේදනාව සඟවා ගෙනය.

මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ කලපලුවාවේ ධම්මරතන හිමියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ක්‍රියාත්මක කළේ පෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින්ය.

එහි අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී පුෂ්පකුමාර මෙහෙයුම් අංශ ප්‍රධානී සහකාර පොලිස් අධිකාරි ජනක කුමාර මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ස්ථානාධිපති පද්මසිරි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජී. එස්. එල්. පතිරාජසූරිය ඇතුළු නිලධාරීන් ධම්මරතන හිමියන් ඝාතනයේ සුලමුල සෙවීමේ භාරධූර කටයුත්තට අතගැසුවෝය.

ඒ වනවිට කඩුවෙල ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබූ මෝටර් රථයද පොලිසිය සොයා ගත්තේය.

එහෙත් ඒ ඔස්සේ කළ විමර්ශන අතර මඟ නතර වන්නේ මෝටර් රථය ව්‍යාජ අංක යොදා සකස් කළ එකක් බව හෙළි වීමෙන් පසුවය.

මෙම ඝාතනය සිදුවූ දිනයේ මල්වතුහිරිපිටිය ඇතුළු ඒ හතර දිග්බාගය පුරාම සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන පීරමින් කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට පොලිසිය දැරූ දැඩි වෙහෙසකර උත්සාහයද අවසානයේ ව්‍යර්ථ විය. ධම්මරතන හිමියන් ඝාතනයට පැමිණි පුද්ගලයන්ගේ මුහුණු සී.සී.ටී.වී. කැමරා මාර්ගයෙන් ලබාගත් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් චීසාගේ මුහුණ හඳුනා ගත්හ.

අපරාධ වාර්තා මෙන්ම බුද්ධි තොරතුරු ඔස්සේ විමර්ශන කළ ද නිලධාරීන් චීසා අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයකු බව සොයාගත්හ. ප්‍රධාන පොලිස් පරීක්ෂක පතිරාජසූරිය ඇතුළු නිලධාරීන් පිරිසක් අතුරුගිරිය පොලිසිය සමඟ එක්ව චීසා පිළිබඳව සෙවීමේ විමර්ශන ක්‍රියාත්මක කළහ.

“මේ මිනිහා කුඩුවලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒ වගේම ඩුබායිවල ඉන්න අතුරුගිරිය ලැටාගේ ගෝලයෙක්. මිනිහා මේ පැත්තේ නිතර සැරිසරනවා.

අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් චීසා හඳුනා ගත්හ. ධම්මරතන හිමියන් ඝාතනය කිරීමේ විමර්ශන කටයුතු ඒ වනවිට නියම මාර්ගයට අවතීර්ණ වෙමින් තිබුණේය.

රටේ මහත් ආන්දෝලනයකට තුඩුදී තිබූ මෙම ඝාතනය පිළිබඳ සුලමුල අනාවරණය කරගෙන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ භාරධුර අභියෝගය ඒ වනවිට පෑලියගොඩ අපරාධ කොට්ඨාශය වෙත මුළුමනින්ම පැවැරී තිබිණි.

පෑලියගොඩින් ලබාදුන් තොරතුරු ඔස්සේ විමර්ශන කළ ද අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කෙසේ හෝ චීසා අත්අඩංගුවට ගැනීමට සමත් වුණේය.

වැඩිදුර පරීක්ෂණ සඳහා චීසා පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරිණි. චීසාගෙන් ප්‍රශ්න කිරීමේදී ධම්මරතන හිමියන් ඝාතනයේ සියලු තොරතුරු හෙළිවන්නට පටන් ගත්තේය. චීසා සතුව තිබි ධම්මරතන හිමියන් ඝාතනයට යොදාගත් ටී56 අවිය මෙන්ම අත්බෝම්බයක් සහ යතුරුපැදියක්ද පොලිසිය භාරයට ගත්හ.

චීසාගෙන් ලැබුණු තොරතුරු මත සංඛ අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වූහ. කඩුවෙල ප්‍රදේශයේ සැඟවී සිටියදී කොටුකර ගත් සංඛ සතුව තිබී රිවෝලර්වරය පොලිස් මාංචු කුට්ටමක් ද සොයා ගැනීමට පෑලියගොඩ අපරාධ කොට්ඨාසය සමත් විය.

සංඛගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සැකකටයුතු අංකයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි විය. කව්ද මේ ටෙලිෆෝන් අංකයේ ඉන්නේ…. පොලිස් නිලධාරීන් සංඛගෙන් දිගටම ප්‍රශ්න කළහ. අන්තිමේදී ඔහු සත්‍ය වමාරන්න පටන් ගත්තේය.

“සර් ඔය නොම්මරේ ඉන්නේ කල්හාර. එයා තමයි හාමුදුරුවන්ට වෙඩි තිබ්බේ. එයා කොමාන්ඩෝ එකෙන් අයින් වෙච්ච කෙනෙක්. අරලගංවිල පදිංචි ධම්මරතන හිමියන් ඝාතනය කළ කල්හාර පිළිබඳ සියලු තොරතුරු ලැබෙන්නේ එතැන් සිටය.

පොලිසිය කල්හාර පසුපස ලුහුබඳින්නට විය. කල්හාර නුවරඑළිය හාවාඑලියේ සිටි බවට ලැබුණු තොරතුරු මත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පතිරාජසූරිය ඇතුළු නිලධාරීන් එහි ගොස් පරීක්‍ෂා කළ ද එය ව්‍යර්ථ විය.

මොහු සීදූව, ගාල්ල, පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශවල සැරිසැරූ බවට ලද තොරතුරු මත විමර්ශන නිලධාරීන් ඒ ප්‍රදේශ පීරමින් කල්හාර සොයන්නට වූහ. එහෙත් ඒ සියලු උත්සාහයන් සාර්ථක වුණේ නැත.

ඒ වනවිට ඩුබායිහි සිටින ලැටා සහ බන්ටි කල්හාර ආරක්‍ෂිත ස්ථානයක් වෙත යැවීමට කටයුතු කර තිබුණේ තමන්ට අවශ්‍ය තවත් මිනිස් බිලි කීපයක් ඔහු හරහා ගැනීමේ සැලසුම් ඇතිවය. කල්හාර හම්බෙගමුව ප්‍රදේශයේ හේනක සැඟවී සිටීමට අවශ්‍ය කටයුතු ඔහුට සම්පාදනය කර දී තිබුණේ ලැටා විසින්ය.

එහෙත් කළ අපරාධ සදාකාලිකව සඟවාගෙන සිටිය නොහැක. අපරාධයක් සිදු කර කිසිදා නීතියෙන් බේරී සැඟවී සිටිය නොහැක.

කල්හාර හම්බෙගමුව නගරය වෙත කිසියම් අවශ්‍යතාවකට පැමිණෙද්දි සැකපිට පොලිස් අත්අඩංගුවට පත් වුණේය. ඒ වනවිට ඔහු සතුව හැඳුනුම්පත පවා තිබුණේ නැත. කල්හාරගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ධම්මරතන හිමියන් ඝාතනය පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට හැකි විය.

හම්බෙගමුව පොලිසිය ඒ පිළිබඳව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත දැනුම් දුන්නේය.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පතිරාජසූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් හම්බෙගමුවට ගොස් කල්හාර සිය භාරයට ගත්හ.

සර්…. මේ හැම දෙයක්ම මම කළේ ඩුබායිහි සිටින ලැටාගෙයි බන්ටිගෙයි ඕඩර්වලට. මට තව ඕඩර් එකක් දුන්නා. අවිස්සාවේල්ල උසාවියට ගේන සැකකාරයෙක්ට උසාවිය ළඟදී වෙඩි තියල මරලා දාන්න. ඒකට ඕන කරන ආයුධ ඌරපොළ පැත්තෙ හංගලා තියෙනවා. කල්හාර සියලු තොරතුරු හෙළි කළේය. විමර්ශන නිලධාරීන් කල්හාර රැගෙන ඌරාපොළට ආහ. එහෙත් සිදුවුණේ කිසිවකුත් නොසිතූ දෙයකි. අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි යන කියමන සැබෑ කරමින් කල්හාරට සිදුවුණේ පොලිසියෙන් වෙඩි කන්නටය. කිසිම වටිනාකමක් නැති ව්‍යාජ මැණික් ගලක් නිසා අවසානයේ ධම්මරතන හිමියන්ගේ ජීවිතය අකාලයේ අහිමි විය. එමෙන්ම කල්හාර නමැති කුලී මිනීමරුවාට සිදුවන්නේද තමන් සිදු කළ අපරාධවලට මිහිපිටදීම වන්දි ගෙවීමටය.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් කඩුපිටිය, අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරි ජනක කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පද්මසිරි ජී. එස්. එල්. පතිරාජසූරිය සහ ජයසේකර යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන (41207) මංජුල. (14704) හේරත්, කොස්තාපල් (73380) මුණසිංහ, (82728) මහේෂ්, (94806) සුභසිංහ ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment