ගුරු සේවය අතහැර පොලිසියට බැඳිලා

ඉන්ධන නොමැතිව හෙළිකොප්ටරය කොටි කටේ

අනුරුද්ධ රත්වත්තේ විතරක් නොවෙයි ගුවන් හමුදාපති සහ පොලිස්පතිත් ඉඳලා

විහාර මහා දේවියගේ සිට පරහිතකාමී බවින්, තීක්ෂණ නුවණින් හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරමින් ලක් ඉතිහාසය සුවඳවත් කළ උත්තම වනිතාවන් බොහෝය.

විපතේදී නොපසුබස්නා වීරියෙනුත් ධෛර්යයෙනුත් යුතුව කටයුතු කළ ඒ උත්තම වනිතාවන් සිදුකළ කැපකිරීම් තුළින් මේ පින්බිම අදටත් සුවඳවත් වන්නේය.

එවැනි තීක්ෂණ නුවණින් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරමින් මව්බිමේ ගෞරවය ආරක්ෂා කරමින් ඉතිහාසය සුවඳවත් කළ අභීත පොලිස් කතකගේ වීර ක්‍රියාවක් ඔබ හමුවේ තබන්නට සිතුවෙමු.

1996 දෙසැම්බර් මස 07 වැනිදා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයෙන් ආරක්ෂක ප්‍රධානීන් සහ ප්‍රභූන් පිරිසක් රැගෙන ඉහළට නැගුණු ගුවන් යානයක් වැලිඔය බලා යන්නේ අත්‍යවශ්‍ය ආරක්ෂක රැස්වීමක් සඳහා ය . එහි රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් රොහාන් දළුවත්ත, පොලිස්පති ඩබ්ලිව්. බී. රාජගුරු, උතුරු නැගෙනහිර මෙහෙයුම් ආඥාපති මේජර් ජෙනරාල් අශෝක ජයවර්ධන ඇතුළු එකොළොස් දෙනකු පමණ පිරිසක් සිටියහ. පිරිස

රැස්වීම අවසානයේ වවුනියාව ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වන අතර අවාසනාවකට කාලගුණ තත්ත්වය අයහපත් විය. පැවැති මීදුම් තත්ත්වය නියමුවාට ගමනාන්තය සොයා ගැනීමට අපහසු විය. එහි අවසන් ප්‍රතිඵලය ඉන්ධන අවසන් වීමත් සමග යානය වවුනියාවෙන් එපිට එල්ටීටීඊ බල ප්‍රදේශයකට ගොඩබැස්සවීමට සිදුවීමයි.

යානය අතුරුදන් වීමත් සමග කොළඹ හමුදා මූලස්ථානය ගිනි ගත්තේය. යානය සොයා රට පීරන්නට විය. එහෙත් ඔවුන්ට යානය සොයා ගැනීමට නොහැකි විය. එදින අපේ කතා නායිකාව වවුනියාව පොලිස් මෙහෙයුම් මැදිරියේ රාජකාරියේ යෙදී සිටියේය. ඇගේ ස්ථානෝචිත ප්‍රඥාව හා තීක්ෂණ නුවණ හේතුවෙන් යානයේ ගමන් ගත් ප්‍රභූන් කොටින්ගේ ජීවග්‍රහණයෙන් ගැලවෙන්නට ලැබුණි.

කොටින්ගෙන් ප්‍රභූන් බේරාගත් පොලිස් කතගේ අකුරු දෙකේ මෙහෙයුම

මෙම වීර කාන්තා පොලිස් කත අද වන විට උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස උසස් වීම් ලබා හොරණ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටින සුමනලතා ලියනගේ මහත්මියයි.

පොලිස් සේවයට තිබූ දැඩි ඇල්ම සහ ආශාව නිසාම තමන් කරමින් සිටි ස්වේච්ඡා ගුරු සේවය අතහැර දැමූ සුමනලතා 1992 වසරේ පොලිස් සේවයට එක්ව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුවීම් කටයුතු අවසන් කිරීමෙන් පසු මුල්ම පත්වීම වවුනියාව යුද මෙහෙයුම් කලාපයට ලැබී තිබුණි. එය ත්‍රස්තවාදී ක්‍රියා උච්චතම කාලවකවානුවක් විය. කෙතරම් අවදානම් සහගත වුවද පොලිස් සේවයට ඇති තදබල ආශාව ආදරය නිසාම ඇයට ඒ බව නොදැනුණි. අතොරක් නැතිව ඇසෙන වෙඩි හඬට ඇය අධෛර්යය නොවීය.

ඒ කාලේ මුල්ම පත්වීම ඒ නයින් පාරේ මුරපොළක තමයි රාජකාරි කළේ මුරපොළ හරහා යන එන මගීන් පරීක්ෂා කිරීම තමයි රාජකාරිය. හැමදාම බැරැක්කෙ ඉඳලා බස් එකේ මුරපොළට යනවා නැවත එන්නේ රෑ බෝ වෙලා. මෙහෙම ඉන්න අතරෙ තමයි මාව වවුනියාව පොලිස් මැදිරියට අනුයුක්ත කරේ. ඒක හරි භාරධූර කාර්යය. මාස දෙක තුනක් යනකොට මං සම්පූර්ණයෙන් වැඩ ඉගෙන ගත්තා. ගොඩක් මැසේජ් දෙන්න ඕනෙ සංඥා සහ සංකේතවලින් නැත්නම් කොටි තොරතුරු හොයාගන්නවා.

එදා මට මතකයි සෙනසුරාදා දිනයක්. එදා මෙහෙයුම් මැදිරියේ මම විතරයි හිටියේ. එක් එක් ප්‍රදේශවලට වෙන්කරපු චැනල්වල මෝටරෝලාවලට කන්දීගෙන ඉන්නකොට පණිවිඩ හුවමාරු යන්ත්‍රයකින් අපැහැදිලි හඬක් “වවුනියාව අමතන්න වවුනියාව අමතන්න” කීප වරක් ඇහුණත් මම ගණන් ගත්තේ නෑ. මොකද කොටිත් මේ වගේ කතා කරලා කුණුහරුපෙන් බනින වෙලාවල් ඕනතරම් තියෙනවා. අනික අපිට අදාළ චැනල් එක හැරෙන්න අනිත් චැනල්වලට කතා කරන්න බැහැ.

නමුත් මෙම ඇමතුම කිහිප වරක් ඇසෙනකොට කවුරුත් උත්තර නොදෙන කොට මට හිතුනා උත්තර දීලා බලන්න. ඒ වෙලාවේ තමයි මම වවුනියාව අමතන අය නැවත අමතන්න කිවුවේ.

සැණෙකින් නැවත පිළිතුරක් ලැබුණා මම රාජගුරු කතා කරන්නේ…

මම පොලිසියට ආපු අලුත නිසා මට නම් පිළිබඳ ලොකු අවබෝධයක් තිබුණේ නෑ. ඒ උනාට මම ඉඳපු තැනට ඉස්සරහා තිබුණා ලොකු නිලධාරීන්ගේ නම් ලියලා තියෙන බෝඩ් එකක් ඒකේ උඩින්ම තිබුණේ පොලිස්පතිවරයාගේ නම ඩබ්ලිව්. බී. රාජගුරු කියලා. මට එකපාරටම සැකයකුත් ආවා මොකක්ද මං කරන්නෙ කියලා දෙපාරක් හිතුවා. ඒ අවස්ථාවේ තමයි මම එකවරම ඇහුවේ ඔබ ඩබ්ලිව්. බී. ද කියලා ඔව් ඔබ හරි කියල ඒ පැත්තෙන් තහවුරු කළා. ඒත් මම සර් කියලා ගරුසරු කරන්න ගියේ නෑ. මොකද එහෙම කළා නම් ලොකු අවදානමක් වෙන්නත් පුළුවන්. ඒ අවස්ථාවෙ වෙන කෙනෙක් පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් කතා කළා. මට හිතුනේ කවුරුහරි කණ්ඩායමක් කැලේ අතරමං වෙලා ඉන්නවා කියලා.

කොටින්ගෙන් ප්‍රභූන් බේරාගත් පොලිස් කතගේ අකුරු දෙකේ මෙහෙයුම

ඒත් එක්කම මම උසස් නිලධාරීන්ට කතා කළා ඉදිරිය ආරක්ෂක වළල්ලට දැනුම් දුන්නා අපේ කණ්ඩායමක් කැලේ ඇතුලේ ඉන්නවා වෙඩි තියන්න එපා කියලා ඊට පස්සේ මම කරේ වවුනියාවේ ගුවන් හමුදා මූලස්ථානයට කෝල් එකක් ගන්න එක. එතකොට තමයි දන්නේ හෙලිකොප්ටර් යානාවක් අතුරුදන් වෙලා කියලා. එතන ඉඳන් එක දිගටම ගුවන් හමුදාව මට ෆෝන් එක තියන්න දුන්නෙ නෑ. එක දිගටම ඔවුන් ලබාදෙන දුරකතන පණිවුඩය මම අතරමං වූ පිරිසට ලබාදෙනවා. එහෙත් අතරමං වූ පිරිස දන්නේ නෑ ඒ වෙනකොටත් එයාලා කොහෙද ඉන්නේ කියලා. ඒ වෙනකොටත් ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා කිහිපයක්ම යොදාගෙන පැය එකහමාරකට අධික කාලයක් තිස්සේ අතුරුදන් පිරිස වැලිඔය ඇතුළු ප්‍රදේශ පීරනවා. ඒත් ඉන්න තැනක් හොයා ගන්න බෑ. මෙහෙයුම් මැදිරිය මීයට පිම්බා වගේ ඔක්කොම චැනල් ටික නිශ්ශබ්දයි ඇහෙන්නේ මගේ කටහඬයි ගුවන් හමුදාවේ නිලධාරින්ගේ හඬයි ගුවන් නියමුවන්ගේ හඬ විතරයි. ඒත් තවමත් හෝඩුවාවක් නෑ.

බැරිම තැන මම අහනවා ඩබ්ලිව් බී ඔබ ඉන්න තැන අවට මොනවද පේන්නෙ කියලා. එතකොට තමයි කිව්වේ වැවකුයි කෝවිලකුයි පේනවා කියලා. එතකොටම මට මතක් වුණා මේ වව්නියාව වෙන්න ඕන කියලා. මොකද අපි නිවාඩු ගිහින් එන්නේ චොපර් එකේ. ඒ එනකොට අපිට උසස් නිලධාරීන් පැහැදිලි කරනවා ඒ ඒ ස්ථාන පිළිබඳව ඒකෙදි මේ වැවයි කෝවිලයි පිළිබඳව අපිට විස්තර කරලා තියෙනවා. ඒක ටක්ගාලා මගේ ඔළුවට ආවා. ඒ ගමන තමයි වවුනියාව ප්‍රදේශයේ හොයන්න ගත්තේ චොපර්වලට අපි කියන්නේ කුරුල්ලෝ කියලා.

ඩබ්ලිව්. බී. ඔබට කුරුල්ලන් පේනවද තවම නැහැ තව ටිකකින් අපි අහනවා දැන් පේනවද ඔව් කළු පාට කුරුල්ලෙක් පේනවා. ඒත් අපිව දැක්කේ නෑ කළු පාට කුරුල්ලට කියන්න තව අංශක අනූවක් හැරිලා කෙලින් එන්න කියලා. නෑ ඒත් අපිව දැක්කේ නෑ. මේ විදියට ගොඩක් වෙලා ගත වුණා. ගුවන් හමුදාව ඉස්මෝක් එකක් ගහන්න කිව්වා. ඒත් එයාල ළඟ ඉස්මොක් නෑ කිව්වා. මම එකපාරට කිව්වා ඩබ්ලිව් බී. ඔබගේ නිල ඇඳුම ගලවා ඉහළට ඔසවන්න. ගුවන් හමුදාවට මම ඒ බව දැනුම් දුන්නා. එතකොටම ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා වලට ඒ බව දැනුම් දුන්නා. එවර ඔවුන්ට නිශ්චිත ස්ථානය හඳුනාගත හැකි වුණා.

හෙලිකොප්ටර් එක බාන්න ද සුමනලතා ක්ෂණිකව පිළිතුරු දුන්නේ හරි බාන්න.

වහා ක්‍රියාත්මක වූ යුද හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ල ක්ෂණික මෙහෙයුමක් ආරම්භ කරනවා. තවත් පසෙකින් පොලිස් නිලධාරීන් කණ්ඩායමකුත් බලඇණියක් සමග ප්‍රභූන් පිරිස කොටි අතට පත්වීම වැළැක්වීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. හෙලිකොප්ටර් යානාවක් ක්ෂණිකව පහත් කරලා පිරිස බේරාගෙන නිරුපද්‍රිතව එම ස්ථානයෙන් පිටත් වෙනවා. මෙහෙයුම සාර්ථකයි ගුවන් හමුදාව නිවේදනය කරනවා. සුමනලතාගේ සතුට ඉහවහ යනවා. පැය කීපයකට පස්සේ වතුර උගුරක් බොන්න සුමනලතාට ඉස්පාසුවක් ලැබුණෙ එතකොට. එතකොටත් සුමනලතාට පළමු දරුවා ලැබෙන්න මාස තුනයි ඒ කිසිවක් බාධා නොකරගත් ඇය අධිෂ්ඨානශීලීව සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කර තිබුණා.

පැය භාගයක් ගියේ නෑ ජීප් එකක් ආවා මාව එක්කගෙන යන්න. අපි ගියේ වවුනියා බලසේනා මූලස්ථානයට. එතන ලොකු පිරිසක් හිටියා. මට පුදුමයි එතන හිටියේ පොලිස්පති රාජගුරු සර් එයත් එක්ක අනුරුද්ධ රත්වත්ත සර් ඇතුළු කණ්ඩායම හිටියා. මට බයකුත් ඇති වුණා මම කතා කරල තියෙන්නෙ මෙයාලත් එක්ක කියලා දැනගත්තහම. හැමෝම ඉස්සරහ මට ප්‍රශංසා කරා එතකොට තමයි මම හරියටම දැන ගත්තේ මම බේරගත්තේ මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු ප්‍රබලම පිරිස කියලා. මට සතුට වැඩිකමට ඇස්වලට කඳුළු ආවා.

ඒ මොහොතේදිම පොලිස්පතිවරයා විසින් ඇයට උසස්වීම් දෙකක් ලබාදෙමින් ඇය ඇගයීමට ලක් කර ඇත.

පසුව ඇයට සිව් දිසාවෙන්ම සුභපැතුම් ගලා එන්නට විය. ඒ වෙලාවේ තමයි මට හිතුනේ මම කරලා තියෙන්නේ මොනතරම් ලොකු දෙයක්ද කියලා. අදටත් එය කියද්දී එකී දෑසින් කඳුළු කැට දිලිසෙනු දක්නට ලැබුණි.

අද වනවිට මෙම සිද්ධිය සිදුවී වසර විසි හතකට වැඩි කාලයක් ගතවී හමාරය. ඇය හොරණ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනියයි. අදටත් ඇගේ සේවාවන් නොපිරිහෙලා ඉටුකරයි. ඇය දියණියන් දෙදෙනකුගේ මවකි.

“විපතේදී නොපසුබස්නා ධෛර්යයෙන් යුතු වූ යුද බිමෙහි අභීත රණශූර වූ පරීතකාමී බවින් සුවඳවත් වූ තීක්ෂණ නුවණැසකින් යුතුවූ උත්තම හෙළ වනිතාවගේ පහළවීම හෙළබිමට වාසනාවකි.”

මෙය පොලිස් වනිතා ඒකකකය මගින් 2012 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ ඇයට පිළිගැන්වූ සමරු සටහනේ සටහන් කර තිබුණි.

මෙවැනි ක්‍රියා තුළින් ඉතිහාසය සුවඳවත් කළ උත්තම වනිතාවන් මේ පුණ්‍ය භූමියට වාසනාවකි.

හොරණ
නයනදුල සෙන්දනායක

advertistmentadvertistment
advertistmentadvertistment