මොළයේ සැත්කම අතරතුර සිතුවම් ඇන්ද හැටි

315

මිහිපිට දෙවිවරු මෙන් වෛද්‍යවරු සිටින බව කියැවෙන කියමන සනාථ කරමින්, තම ජීවිතය පවා පූජා කරමින් රෝගීන් ජීවත් කළ වෛද්‍යවරු පිළිබඳව පසුගිය කාලය පුරාවටම අසන්නට ලැබුණි. ඊට හොඳම උදාහරණය පසුගිය කාලයේ ඇතිවූ කොවිඩ් වසංගතයයි.

ඉන් පසු මෙරට සෞඛ්‍ය සේවය තුළ, බාල ඖෂධ ගෙන්වීම, විවිධ සැත්කම් සිදු කිරීමේදී සහ ඖෂධ ලබා දීමේදී දරුවන් මෙන්ම වැඩිහිටියන් හදිසියේ ජීවිතක්ෂයට පත්වීම, රෝගීන්ගේ අත්, පා, හදිසියේ කපා ඉවත් කිරීම, වෛද්‍යවරු රට අතහැර යෑම වැනි කාරණා හේතුවෙන් මෑත ඉතිහාසය තුළ වෛද්‍යවරු දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් වීමේ සිද්ධීන් නිරන්තරයෙන් අසන්නට ලැබුණි.

එවැනි කාලසීමාවක අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළ විස්මිත සැත්කමක් පිළිබඳව අසන්නට ලැබුණේ පසුගිය සතිය ආරම්භයේය.

මෙම වෛද්‍ය කණ්ඩායම විසින් රෝගියකුගේ මොළයේ තිබූ ගෙඩියක්, රෝගියා නිර්වින්දනයට ලක් නොකර ඉවත් කර තිබූ අතර, මෙරට තුළ මෙතෙක් සිදු කළ එවැනි ආකාරයේ සැත්කම්වලට වඩා මෙම සැත්කම වෙනස් වන්නේ, සැත්කම සිදු කරන අවස්ථාවේදී රෝගියා විසින් වෛද්‍ය කණ්ඩායමද පුදුම කරවමින් අලංකාර නෙළුම් මලක් සිතුවමට නැගීම හේතුවෙන්ය.

රෝගියාගේ වම් මොළයේ ඉදිරි පස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හටගත් ගෙඩියක් මෙලෙස ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වූහ.

මෙරට රජයේ රෝහලක පළමු වරට රෝගියා නිර්වින්දනයට ලක් නොකර මොළයේ ශල්‍යකර්මයක් සිදු කරනු ලැබුවේ, 2020 වර්ෂයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේදී වන අතර එම වෛද්‍ය කණ්ඩායම විසින්ම සිදු කරන ලද ඒ ආකාරයක තෙවැනි සාර්ථක සැත්කම මෙය වේ.

මොළයේ සැත්කම අතරතුර සිතුවම් ඇන්ද හැටි
සමන් මධුසංඛ ජයසිංහ මව සහ පියා සමගින්

මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වෘත්තියෙන් ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙකි.

මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සාමාන්‍යයෙන් සිදු කිරීමේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට (සිහි මුර්ජා තත්ත්වයට) පත්කිරීම සිදු කරනු ලබන අතර නමුත් මෙම ශල්‍යකර්මයේදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය නොකෙරුණ අතර, වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් (under minimal sedation) පවත්වා ගන්නා ලදී.

මෙහි සුවිශේෂීත්වය නම් ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් සන්නිවේදනය කරමින්, ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණුපස අත, කකුල චලනය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් ඔහුගේ මොළයේ වැදගත්, සංවේදී ප්‍රදේශයන් සංරක්ෂණය කරන අතර තුරම ව්‍යාධිජනක කොටස (ගෙඩිය/tumour) ඉවත් කිරීමට හැකියාව ලැබීමයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වාට්ටුවට (31) ඇතුළු වන ස්ථානයේ ඇති බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් බිත්තියේ අගනා සිතුවමක් මීට පෙර (රෝගී වීමට ප්‍රථම) සිතුවම ඇන්දේද මෙම රෝගියා විසින් බව මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය පැවසූහ.

ශල්‍යකර්මය සිදු කිරීමෙන් අනතුරුව රෝගියා කිසිදු සංකූලතාවයකින් තොරව එක් දිනක් නේවාසිකව සිට රෝහලින් පිටව ගිය බවද වෛද්‍යවරු මෙහිදී පැවැසූහ.

මෙම සැත්කම සඳහා භාජනය කෙරුණු නොච්චියාගම, අඹගහවැව ප්‍රදේශයේ පදිංචි ජේ. එම්. සමන් මධුසංක ජයසිංහ (37) ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

“මම රැකියාව ලෙස විහාර, පන්සල්වල මූර්ති නිර්මාණය, සිතුවම් ඇඳීම සිදු කරනවා. මව පියා සමගින් ජීවත් වෙන්නේ. මම හොඳින් රැකියාවක් කරගෙන සිටින අතරවාරයේදී දැනට මාස කිහිපයකට පමණ පෙර සිට මට දහවල් කාලයේ නිදිමත ගතිය, කැරකිල්ල, ඇති වුණා.

මම හිතුවේ මම ටිකක් මහත නිසා බර වැඩි නිසා සිද්ධ වෙනවා ඇති කියලා. වැඩක් නොකර දවසම නිදා ගන්නවා. මේ සම්බන්ධයෙන් බෙහෙත් ගන්න ගියාම වෛද්‍යවරු කිව්වා, මොළයේ ගෙඩියක් තියෙන කොටත් කැරකිල්ල ක්ලාන්තය නිදිමත ගතිය ඇති වෙනවා කියලා. ඊට පස්සේ වෛද්‍යවරු පරීක්ෂා කරලා බලන කොට තමයි ඒ බව හරියටම දැන ගත්තේ, ඊට පස්සේ තමයි සැත්කමක් කරන්න පටන් ගත්තෙ.

මේ සැත්කම සිදු කරන්න මට ගොඩක් බය හිතුණා. හැබැයි වෛද්‍යවරු මුලින්ම කළේ මගේ බය නැති කරන එක, ඒ වෛද්‍යවරු මට කිව්වා මීට පෙරත් අපි මේ වගේ සැත්කම් කරලා තියනවා. අපි ඔයත් එක්ක කතා කර කර තමයි මේ සැත්කම කරන්නේ කියලා. වෛද්‍යවරුන්ගේ වචන මට ලොකු ශක්තියක් වුණා. ඒත් සමග මම පන්සල්වල සිතුවම් ඇඳීම බුදු පිළිම නෙළීම වැනි මූර්ති සිදු කරන නිසාත් මගේ ඇඟේ වහන මදුරුවෙක්වත්, මම මරන්නේ නැති බව මගේ සිහියට ආවා. පෙර කරපු අකුසලකර්මයකට වෙන්න ඇති මෙම ගෙඩිය හට ගත්තේ, මාව මේ සැත්කමට භාජනය කළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ 31 වන වාට්ටුවේ බිත්තියේ මීට වසර හතරකට පමණ පෙර මම විශාල ප්‍රමාණයේ චිත්‍රයක් ඇන්දා, ඒක සිද්ධ වුණේ වෛද්‍ය තිලාන් හේරත් මහතාගේ දැනුම් දීමක් මතයි. හැබැයි මං කවදාවත් හිතුවේ නෑ, මේ වාට්ටුවේදී මට ශල්‍යකර්මයකට භාජනය වෙන්න සිද්ද වෙයි කියලා.

සිහිය නැති නොකර මෙම සැත්කම සිදු කරන නිසාත්, මගේ වෘත්තීය මූර්ති නිර්මාණය චිත්‍ර ඇඳීම නිසාත් වෛද්‍යවරු මට යෝජනා කළා සැත්කම සිදු කරන අතරවාරයේදී චිත්‍ර ඇඳීමට. ඉතින් මම ඒ අවස්ථාවේදී නෙළුම් මලක් සිතුවම් කළා. හැබැයි මට ඒ සිතුවම් අඳින වෙලාවේ කිසිම වෙලාවක හිතුණේ නැහැ මම මේ චිත්‍රය අඳින්නේ මට සැත්කමක් සිදු කරන අතරවාරයේ කියලා.

ඉතින් දැන් මම හොඳ තත්ත්වයේ ඉන්නවා. මට හිතෙනවා මේ සැත්කම සීයට, සීයකටත් වඩා සාර්ථක වුණා කියලා, මම දැන් පෙර සිටිය වගේම කිසිම හානියක් නැහැ.

මේ සැත්කම සිදුකරන්න දායක වෙච්ච ඒ සියලු වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලයට මම ණය ගැතියි, ඒ වෛද්‍යවරු තමයි මිහිපිට ඉන්න දෙවිවරු, එහෙම කියන්නේ මේ සැත්කම අතරතුර දී හෝ පසුව මගේ ජීවිතය නැති වෙන්න පවා ඉඩ තිබුණා. නැතිනම් අතක් පයක් හොඳ නැති වෙන්න තිබුණා යැයි සතුටු කඳුළු සලමින් කීවේය.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය රොහාන් පාරිස් මහතා මෙසේ පැවසීය.

“මෙම රෝගියාගේ වම් මොළයේ ගෙඩිය පිහිටා තිබුණේ දකුණු අර්ධය ක්‍රියාකාරකම් පාලනය කෙරෙන ප්‍රදේශයේ එය අවදානමක් සහිත බරපතළ සැත්කමක්. මෙවැනි සැත්කමක් සිදු කෙරෙන්නේ රෝගය සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමෙන් පසුවයි.

අපි මේ රෝගියාට වේදනාවක් නොදැනෙන්න අවම නිද්‍රාශීලී භාවයට පත් කරලා තමයි මේ සැත්කම සිදු කළේ. මෙම සැත්කම සිදු කරන අතර වාරයේ ඔහුගේ මතක ශක්තිය පරීක්ෂා කිරීමට තමයි චිත්‍රයක් ඇඳීම සිද්ධ කළේ”

මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදු කරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස්, වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම්, වෛද්‍ය විශාඛා කර්නර්, වෛද්‍ය තිලාන් හේරත් ඇතුළු කණ්ඩායමක් විසින්ය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ “ක්‍” ශල්‍යාගාරය, ස්නායු ශල්‍ය දැඩිසත්කාර ඒකකයට සහ 31 වාට්ටුවේ කාර්ය මණ්ඩල මෙම සැත්කම සාර්ථකව සිදු කර ගැනීම සඳහා සහයෝගය ලබා දී තිබුණි.

මිහින්තලේ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment