මැතිවරණ සංශෝධන ගැන අපිත් ඉන්නේ දෙගිඩියාවකින්

134

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර

පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව සොයා බැලීම සඳහා සය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර ඇත. එම තීරණය පිළිබඳව අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය, එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගෙන් විමසා සිටියමු. ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දැක්වූ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය- පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා සය දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා. එම කමිටුව පත්කිරීම පිළිබඳව මේ වනවිටත් විවිධ මත පළ වී තිබෙනවා.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර- දැනට පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය පිළිබඳව විවිධ විවේචන තිබෙනවා. පවතින ක්‍රමය යටතේ විශාල මුදලක් වැය වන බවටත්, කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයකු පත්නොවන බවටත්, ධනවත් නොවන අපේක්‍ෂකයන්ට මෙම ක්‍රමය යටතේ තරග කර ජයග්‍රහණය කළ නොහැකි බවටත් ආදි වශයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. ඒ වගේම මෙබඳු ක්‍රමයක් ආවේ ඇයි කියන එක පිළිබඳවත් අපි මේ අවස්ථාවේදී සලකා බලන්න ඕනි.

1977 දී පැවති මහ මැතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතාට 5/6 ක බලයක් ලැබෙන කොට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග්‍රහණය කළේ ආසන 8ක් පමණයි. නමුත් එම මැතිවරණයෙන් එජා පක්‍ෂයට 51%ක් ඡන්දය ලැබෙන කොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට 41%ක් ඡන්දය ලැබී තිබුණා. එම ඡන්ද සංඛ්‍යාව අනුව පැහැදිලිව දර්ශනය වූවා ලැබෙන ඡන්ද ප්‍රමාණයට සාපේක්‍ෂව මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලැබී නොමැති බව. එම නිසා තමයි කොට්ඨාශ ක්‍රමය වෙනුවට සමානුපාතික ක්‍රමය හඳුන්වා දීමටත් කොට්ඨාසය වෙනුවට දිස්ත්‍රික්කය ආදේශ වීමටත් හේතු වූයේ. ඊට අමතරව ජාතික ලැයිස්තුව මගින් මන්ත්‍රීවරුන් 29 දෙනකු පත් කිරීමටත් තීරණය කළා. එම අවස්ථාවේදී දැන් වියදම් අධික බවටත් කොට්ඨාසයට මන්ත්‍රීවරයකු පත් නොවන බවටත් ධනවත් නොවන අයට මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට අවස්ථාවක් නොමැති බවටත් ආදී වූ වශයෙන් චෝදනා එල්ලවී තිබෙන්නේ එදා 1978 දී හඳුන්වා දුන් දැනට පවතින ක්‍රමයට තමයි.

එහෙත් පවතින ක්‍රමය තුළත් සාධනීය ලක්‍ෂණ තිබෙන බව මම දන්නවා. මෙම ඡන්ද ක්‍රමය යටතේ මහජනතාව යම්කිසි පක්‍ෂයකට ලබාදෙන ඡන්ද සංඛ්‍යාව ප්‍රතිබිම්බනය වනවා. ඒ වගේම අපි දකිනවා කෙතරම් දක්‍ෂ අයෙකු වුවත් මුදල් නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාවක් ලබාගත නොහැකි බව. එම නිසා පවතින ක්‍රමයේ යම්කිසි සංශෝනයක් සිද්ධ වෙන්න ඕනි කියලා අපි දන්නවා. එහෙත් එය කඩිමුඩියේ කොමිෂමක් දාලා මැතිවරණයක් ආසන්නයේ කළ යුතුයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මේ ආකාරයටම සංශෝධනයක් ගෙනැල්ලා, පළාත් සභා ඡන්දය අකර්මන්‍ය කළා. පළාත් පාලන මැතිවරණයත් දින නියමයක් නැතිව කල්දාලා තිබෙනවා. එම මැතිවරණය කල්දාන කොට එම මැතිවරණය සඳහා මැතිවරණ ව්‍යාපාරයත් පැවැත්වෙමින් තිබුණේ. එම හේතු සාධකයන් නිසා දැන් ඉදිරිපත් වී තිබෙන මැතිවරණ ක්‍රමය සංශෝධනය හරහාත් ඉදිරි මැතිවරණ නොපැවැත්වේවිද යන්න පිළිබඳ දැන් තර්කයක් ගොඩනැඟී තිබෙනවා. එහෙම දෙයක් සිදුවනවා නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ දිණුවත් පැරදුනත් ජනමතය උරගා බැලීමට කැමැති පක්‍ෂයක්. මහින්ද රාජපක්‍ෂ මහතා වෙලාවටත් කලින් මැතිවරණ පවත්වා ජනමතය උරගා බැලුවා. ඒ මහතා 2015 දී පැවැත් වූයේ 2017 දී පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය. තවත් වසර දෙකක් බලයේ සිටීමට අවස්ථාව තිබියදී තමයි මහින්ද රාජපක්‍ෂ මහතා 2015 දී ජනාධිපතිවරණය පැවැත් වූයේ.

අපි බහු පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරන පක්‍ෂයක්. එම නිසා මේ අවස්ථාවේදී කඩිමුඩියේ කිරීමට සූදානම් වන මැතිවරණ සංශෝධනය පිළිබඳව අපි සිටින්නේ යම්කිසි දෙගිඩියාවකින්.

ප්‍රශ්නය- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට ලබාදෙන සහයෝගය නතර කිරීමට තීරණය කළහොත් ජනාධිපතිවරයාට බලයෙන් ඉවත්වීමට සිදුවනවා. එබඳු පසුබිමක් තිබියදී මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් ඉදිරි මැතිවරණ කල් දැමීමට සූදානම් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්න තීරණය කුමක්ද?

පිළිතුර- රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ එක් සුවිශේෂ හේතුවක් නිසා තමයි. ඒ අවස්ථාව වනවිට අපේ රාජ්‍ය අනාරක්‍ෂිතව තිබුණේ. රාජ්‍යය ආරක්‍ෂා කර ගැනීමට නම් අපි ආණ්ඩුව ආරක්‍ෂා කර ගන්න ඕනී. එම අවස්ථාවේදී ආණ්ඩුව බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පැවතියා. එම තත්ත්වය සුළුවට ගන්න පුළුවන් තත්ත්වයක් නොවෙයි. එම අවස්ථාවේදී 69 ලක්‍ෂයක ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා විධායක බලය පාව්චිචි කිරීමට නොහැකිව අකර්මන්‍ය වූවා. ජනාධිපතිවරයා බලයට ගෙනා පක්‍ෂයේ නායකයා ඇතුළුව දිස්ත්‍රික් නායකයන්ගෙන් ද සමන්විත වූ කැබිනට් මණ්ඩලය එළියට යන්න සිද්ධ වූවා. ඒ වගේම ජනධිපතිතුමාගේ ජනවරම ආරක්‍ෂා කිරීම සඳහා හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා ඉදිරියට ආවේ නෑ. ගාලු මුවදොරට ආවේ තිස් හතළිස්දහසක පිරිසක් පමණයි. නමුත් ඊට එරෙහිව 69 ලක්‍ෂයක ජනතාව ඉදිරියට ආවෙත් නෑ. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය මෙහෙයවූ පිරිස හරියටම ඇණය ගහලා තිබෙනවා. ඒ අයව කුමන්ත්‍රණාරයෝ, අරගලකාරයෝ, බුරියානිකාරයෝ, අන්ඩවෙයාර්කාරයෝ ආදී වශයෙන් ඕනෑම නමකින් හඳුන්වන්න පුළුවන්. එම ගහපු ඇණය පිළිබඳව වත්මන් ජනාධිපතිතුමාට උපදෙස් සපයන ආශූ මාරසිංහ මහතා එක්තරා ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ මහතා සඳහන් කරලා තිබෙනවා අපිත් අරගලේ සිටියා, අපිත් ටෙන්ට් 17 ක් ගැසුවා යනුවෙන්. එකයි මම කිව්වේ මේ කණ්ඩායම මොන නමකින් හැඳින්විය යුතු ද යන්න කියන්න බැහැ කියලා.

අපිට 19 ලක්‍ෂයක ජනවරමක් වසර 5 කට ලැබුණා. එම ජනතාවගේ පැත්තෙන් අපට තිබෙන වගකීමක් තමයි රාජ්‍ය ආරක්‍ෂා කිරීම. රාජ්‍ය ආරක්‍ෂා කිරීමට නම් ආණ්ඩු බලය ආරක්‍ෂා කරගත යුතුයි. ආණ්ඩු බලය ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන ත්‍රස්තවාදීන් කණ්ඩායමක් අතට යන්න දෙන්න බැහැ. සමහරුන් පාර්ලිමේන්තුවත් වට කරන්න ගියානේ. ඒ අවස්ථාවේදී ඕනෑම කාලයකට ගැලපෙන දේශපාලනඥයෙක් ලෙස සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා තමයි. ඒ වෙනකොට එතුමා අගමැතිවරයා ලෙසත් කටයුතු කරමින් සිටියා. ව්‍යවස්ථානුකූලවත් ජනාධිපතිවරයා ධුරය හැරගියහොත් වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ අගමැතිවරයා තමයි. එම අවස්ථාවේදී අපි රනිල් වික්‍රමසිංහ මහතා ගෙනාවේ විශේෂ කාරණයන් සඳහා තමයි. එම කාරණය තමයි රාජ්‍යය ආරක්‍ෂා කර ගැනීම. එම නිසා ගොඩාක් දේවල් කිරීම සඳහා ජනාධිපතිතුමාට ජනවරමක් තිබෙනවා කියලා මම හිතන්නේ නැහැ. එහෙම කටයුතු කරන එක සමාජය පිළිගන්න එකක් නැහැ කියලා මම සිතනවා.

ප්‍රශ්නය- මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ගෙන එන පනතක් හරහා ඉදිරි මැතිවරණ කල් දැමීමට සූදානම් වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් තිබෙන ආණ්ඩුව කඩාගෙන වැටේවීද?

පිළිතුර- අපි ජනාධිපතිතුමාට සහයෝගය ලබා දුන්නේ රාජ්‍යය ආරක්‍ෂා කිරීම සඳහා. ඒක තමයි අපි ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න මූලික හේතුව. එම හේතුව නිසා ආණ්ඩුව වට්ටන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම අපි කුමන්ත්‍රණකාරී ලෙස හැසිරෙන්නෙත් නැහැ. කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයේදී අපි එතුමා ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයා යන පදනමේ සිට සහයෝගය ලබා දුන්නා. නමුත් ආණ්ඩුවට සහයෝගය ලබාදෙන මන්ත්‍රීවරු එකසිය තිස් ගණන අතරින් විශ්වාසභංගයට එරෙහිව ඡන්දය ලබාදී තිබුණේ 113ක් පමණයි. එයින් පැහැදිලි වෙනවා අප අතරත් ඕනෑම දෙයකට අත උස්සන්නේ නැති පිරිසක් සිටින බව. අපි පාර්ලිමේන්තු යන්නේ නිකන් අත උස්සන්න කියලා සිතනවා නම් ඒක වැරදියි. ජනාධිපතිතුමා කරන සාධරණීය කටයුතු සමග අපි සිටිනවා. නමුත් මම හිතනවා අපට ලැබුණු ජනවරමට එරෙහිව යන දෙයකට අපේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට නොහැකි වේය කියලා. ඔය ස්වාධීන වෙලා සිටින අය ගැන නොවෙයි මම කිව්වේ. ඒ අය සිටින්නේ අතළොස්සක් පමණයි.

ප්‍රශ්නය- ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා අදහස් කරන බව වාර්තා වෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමග සමීපව කටයුතු කළ ව්‍යාපාරිකයකු මෙන්ම අරුණ පුවත්පත වැනි මාධ්‍ය ආයතනවල හිමිකරුවෙකු ද වන දිලිත් ජයවීර මහතා සූදානම් වන බවත් පේන්න තිබෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාත්, අනුර කුමාර මහතාත් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව මේ වනවිටත් ප්‍රකාශ කර තිබෙනවා.එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක තවම ප්‍රකාශ කරලා නෑ. ඔබ සඳහන් කරන අකුරු තුනක නමක් තිබෙන අපේක්‍ෂකයා කවුද?

පිළිතුර- පොහොට්ටුව කියන්නේ දේශපාලන පක්‍ෂයක්. එය පිරමීඩයක් වගේ. අපේ පක්‍ෂයේ තීරන පහළ සිට තමයි ඉහළට එන්නේ. නමුත් දිලිත් ජයවීර, ධම්මික පෙරේරා කියන්නේ තනි පුද්ගලයන්. පුද්ගලයෙක් තීන්දු ගන්න විධියට පක්‍ෂයකට තීන්දු ගන්න බැහැ. ඒ වගේම ජයග්‍රහණය කිරීමට නොහැකි නම් මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ධම්මික පෙරේරා මහතා සඳහන් කර තිබෙන බව මෙහිදී සඳහන් කළ යුතුයි. ධම්මික පෙරේරා මහතා කරලා තිබෙන්නේ අභිප්‍රාය කියා පෑමක් පමණයි. දිලිත් ජයවීර මහතා මම වසර 30ක් පමණ දන්නවා. ඒ මහතා ව්‍යවසායක ජනාධිපතිවරයෙකු ගේන්න ඕනී කියලා අදහස් කරන කෙනෙක්. ඕනම කෙනෙකුට ෆැන්ටසියක ඉන්න අයිතියක් තිබෙනවා. එහි වරදක් නැහැ. සරත් ෆොන්සේකා මහතා, චම්පික රණවක මහතා වගේ අයත් ඒ වගේ ෆැන්ටසියක සිටිනවා. සිහින දැකීමේ ඇති වරද කුමක්ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලොකු සිහිනයක් තිබෙනවා. අපි ඕනෑම මැතිවරණයකට සූදානමින් සිටින්නේ. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළොත් අපි දිනන්න පුළුවන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කරනවා. මතක තබා ගන්න මේ අවස්ථාවේදී අතීතයේදී තිබුණ දේශපාලන රැළි මේ අවස්ථාවේදී නැහැ. අද අවශ්‍යව තිබෙන්නේ ජනප්‍රිය ජනාධිපතිවරයෙකු නෙවෙයි. අද අවශ්‍ය උපාය මාර්ගික ජනාධිපතිවරයෙක්. ජනතාව අද අපේක්‍ෂා කරන්නේ විජය කුමාරතුංග වගේ කෙනෙක් නොවෙයි. ඔවුන් අද අපේක්‍ෂා කරන්නේ වැඩේ කරල පෙන්වන්න පුළුවන් කෙනෙක්. එහෙම අපේක්‍ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment