අප කරන්නේ ළාමක ටින් ටින් දේශපාලනයක් නොවේ – කඳුළු ගෑස් – ජල ප්‍රහාරවලින් අපේ සටන නතර කරන්න බැහැ

172

අනුර කුමාර දිසානායක

අපගේ සටන ජල ප්‍රහාර කඳුළු ගෑස් වලට නවත්වන්න බැහැ. අප මේ කරන්නේ ළාමක ටින් ටින් දේශපාලනයක් නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බැව් පැවසුවේ ඊයේ (26දා) කොළඹ විහාරමහාදේවි උiානය අසලින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

රනිල් වික්‍රමසිංහ අද මා ඇතුළු 26 දෙනකුට කොළඹ ස්ථාන කිහිපයක ඇතුළුවීම වළක්වා තිබෙනවා. ඒ අධිකරණ නියෝගයකින්. හැබැයි අද රනිල් වික්‍රමසිංහට රටේ කොතැනකටවත් යාහැකි තත්ත්වයක් නැහැ. රනිල් ඔබ ජනාධිපති වෙලා මාස අටයි. හැබැයි ඔබ මිනිස්සු සිය දෙනෙක් එකතු කර පැවැත්වූ එක රැස්වීමක් පෙන්වන්න.

ඔහුට අද මුළු රටම තහනම් භූමියක් වෙලා. ඔහු ජනාධිපති වුණේ ජනතා මනාපයෙන් නෙමෙයි. ඔහු ජනාධිපති වුණේ හොරු රැළකගේ ඡන්ද මගින්. ඔහුට ජනවරමක් නැහැ. අද ජන බලය තිබෙන්නේ මාලිමාව තුළයි. මේ නිසා තමයි රනිල් වික්‍රමසිංහලා කලබල වෙලා තිබෙන්නේ. ඔවුන්ගේ පරපුරෙන් ජනාධිපතිකම් අගමැතිකම් ගිලිහෙනවාට ඔවුන් කැමැති නැහැ. එය අහිමිවීම වැළැක්වීමට ඔවුන් කළ හැකි සියලු දේ කරනවා. ඒත් පීඩිත ජනාතව අද එක පෙරමුණක් වෙත ගොනුවෙලා.

බලය මාරු වෙන්නේ මහින්දලාගෙන් සජිත්ලාටනම් ඔවුන් බය වෙන්නේ නැහැ. නමුත් අද රට වෙනසක් අබියස සිටින්නේ. ඡන්දය දින කිහිපයකට කල් දමා මේ ජනතා නැගිටීම වැළැක්වීමට රනිල් රාජපක්‍ෂලාට හැකියාවක් නැහැ.

ජාතික ජන බලවේගය සමඟ හිටගෙන සිටින ජනතාව සෑම මොහොතකම ජනතාව වෙනුවෙන් හිටගන්නා පිරිසක්. ඡන්දය පරක්කු වෙන සෑම මොහොතකම ජනතාව අප වෙත එකතුවීම නතර කරන්න බැහැ. ආරම්භයේ අපට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. නමුත් අපි දන්නවා තව ඉදිරියට යන්න යන්න ඔවුන් අප හා එකතුවීම ස්ථිරයි. අද ජනතා අපේක්‍ෂාව මාලිමාවයි. පවුල් කිහිපයක පාලනයෙන් රට මුදාගැනීම වැඩි ඈතක නැහැ. රනිල් කියනවා ඔහු හිට්ලර්ලු. ඇත්තටම හිට්ලර් තවම ජීවතුන් අතර නම් ඔහු තවපාරක් වෙඩි තියා ගන්නවා.

පොලිසිය අවුස්සන්න හැමදාම ආණ්ඩුවට බැහැ. ඒ පවුල්වල පිරිස් පොලිසියේ නැහැ. පොලිසියේ මහත්වරු අප ඉදිරියෙන් බැරියර් දමා සිටියත් යුනිෆෝම් එකට පිටින් සිටින පොලිසියේ සහෝදරවරු සිටින්නේ අප සමගයි. ඒ නිසා පොලිසිය හා හමුදාව හරහා බලය රැකගන්න ආණ්ඩුව හිතනවානම් එය සිහිනයක් පමණයි. පොලිසිය සිටින්නේ හොරු රකින්න නෙමෙයි. පොලිසියට පඩි ගෙවන්නේ මහජනයාගේ මුදල්.

අපි මේ කරන්නේ ළාමක ටින් ටින් දේශපාලනයක් නෙමෙයි. මේ සටන වතුර ප්‍රහාරවලට, කඳුළු ගෑස්වලට නතර කරන්න බැහැ. බයිනෙත්තුව තිබුණට එය ගස්සන්න ඒ පිටුපස මිනිසෙකු සිටිය යුතුයි. එය කරන්නේ වයසට ගිය රනිල්ද? රනිල් අද ජනතාව සමඟ තරහින් සිටින්නේ. ජනතාව මෙතරම් පීඩාවට පත් කරන්නේ ඒ නිසයි.

අප රාජ්‍ය නිලධාරීන්ට යම් දෙයක් සිහිපත් කරන්න කැමැතියි. ජනාධිපතිවරු අගමැතිවරු එනවා යනවා. නමුත් ඔවුන් දිගටම රාජකාරි කළ යුතුයි. රජයේ මුද්‍රණාලයට ආරක්‍ෂාව දෙන්න 65 ක පොලිස් නිලධාරීන් පිරිසක් නැති බව පොලිස්පති කියනවා. නමුත් මේ තැන්වලට දහස් ගණනක් පොලිසිය යොමු කරනවා. මේ බොරුව අපි පිළිගන්න ඕනද. සල්ලි නැත්නම් බැලට් පේපර් මුද්‍රණය කරන්න බැරි බව මුද්‍රණාලයාධිපතිනිය කියනවා. මේ බොරු පිළිගන්න ඕනද?

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තව එක කඳුළක් හෝ ලේ බිඳුවක් හොලවන්න අපි කැමති නැහැ. රනිල් කිනම් ආකාරයේ ක්‍රියාමාර්ගයන්ට ගියත් අවසන් මොහොතතෙක් ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව දිනා ගැනීමට කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය කඩන එක රනිල්ගේ වැඩක්. හැබැයි එයට ඇත්තේ තව ටික දවසයි. නැවත නැවත කඳුළු ගෑස් ගහන්න සූදානම් නොවන ලෙස අප පොලිසියට සිහිපත් කර සිටිනවා. මේ සටන අපි කෙක්කෙන් හෝ කොක්කෙන් දිනනවා. නීතියක් නැති රටක, දුප්පත් ජනතාව වෙනුවෙන් ලෙඩ ඇඳේ මියැදෙන අපේ සහෝදර ජනතාව ඇතුළු සමස්ත රටවැසියා වෙනුවෙන් ආ මේ සටන දිනනවාමයි.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා

මේ ජන ගඟ වළක්වන්න මෙම ආණ්ඩුවට බැහැ. ජනමතයත් සමඟ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා යැයි රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවට අප දන්වා සිටිනවා. මෙම සටන නතර වන්නේ මාලිමාවේ ජයග්‍රහණයෙන් පමණයි. අප ලබන මාසයේ අටවැනිදා සහ නමවැනිදා මහා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා.

මෙහිදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජනබලවේගයේ විධායක සභික හර්ෂණ නානායක්කාර මහතා ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment