ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව බැංකු දෙකකින් ගත් කෝටි 28ක ණය හිර වෙලා

113

සීමාසහිත ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් මෙරට රාජ්‍ය බැංකු දෙකකට හිඟ ණය හා පොලී මුදල් වශයෙන් රුපියල් විසිඅට කෝටි හැත්තෑහත් ලක්ෂ හතලිස්හතරදහස් නමසිය හැට තුනක (287,744,963) මුදලක් ගෙවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් එක් රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 150ක ණය මුදලක් හා අනික් රාජ්‍ය බැංකුවෙන් රුපියල් මිලියන 500ක ණය මුදලක් භාණ්ඩාගාර ඇපයක් මත ලබා ගෙන තිබුණි. මෙකී ණය මුදල ණය ලබා ගැනීමේ අරමුණට පටහැනිව සමාගමේ පඩි නඩි ගෙවීම, සේවක ප්‍රසාද දීමනා ගෙවීම, සේවක ආර්ථසාධක භාරකාර අරමුදල් ගෙවීම, ණය පොලී හා අයිරා පියවීම, ස්ථාවර වත්කම් මිලදී ගැනීම වෙනුවෙන් වැය කර තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

මෙකී රාජ්‍ය බැංකු දෙක මගින් ලබාගත් ණය මුදල නියමිත පරිදි පියවීමට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට නොහැකි වී තිබුණි. සංස්ථාව විසින් මින් එක් රාජ්‍ය බැංකුවකට ගෙවිය යුතු හිඟ ණය හා පොලී මුදල රුපියල් දහඅටකෝටි පනස් තුන් ලක්ෂ තිස්හය දහස් හයසිය අසූවකි. මෙකී රාජ්‍ය බැංකුවට ගෙවිය යුතු දඩ මුදල රුපියල් එක්කෝටි හතළිස්හතර ලක්ෂ හැටතුන්දහස් හයසිය පනස්අටක් (14,463,658) බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම අනික් රාජ්‍ය බැංකුව සඳහා ගෙවිය යුතු හිඟ ණය සහ පොලී මුදල රුපියල් දසකෝටි විසිහතර ලක්ෂ අටදහස් දෙසිය අසූතුනක් (102,408,283) බව ද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment