ආරාධිත තරගාවලිය ආසියානු සහ ලෝක කුසලාන තරගාවලියට හොඳ රුකුලක්

166

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කමිටු සභාපති සමන්ත දොඩන්වෙල

ආසියානු ක්‍රිකට් තරගාවලියට සහ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුම ක්‍රීඩකයන් තෝරා ගැනීමේ අරමුණෙන් ආරාධිත ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ සංවිධායක කමිටුවේ සභාපති සමන්ත දොඩම්වෙල මහතා කොළඹ දී ඊයේ (08 වෙනිදා ) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එම තරඟාවලිය මේ වනවිට සාර්ථක අන්දමින් පැවැත්වෙන බවත් නවක ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට එක්විම සඳහා මෙවැනි තරගාවලියකදී හොඳ අවස්ථාවක් ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය. තරගාවලියේ ක්‍රීඩකයන් ට වැඩි වශයෙන් ලකුණු ලබා ගැනීමට හැකි වන පරිදි තණතීරු සකස් කිරීම පිළිබඳව ඉදිරියේදී අවධානය යොමුකරන බවත් ඒ මහතා කීය. මෙම තරගාවලියෙන් උපරිම ප්‍රයෝජන ගනු ලැබීම තම අපේක්ෂාව බවද දේශීය ක්‍රිකට් තරගාවලියක් ජාත්‍යන්තර මට්ටමෙන් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ අනුග්‍රාහක ආයතනවලින් ලැබෙන සහයෝගය ද අගය කරන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

හොඳ තරඟකාරීත්වයක් තුළින් ඉදිරි තරඟාවලි සඳහා දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් සොයා ගැනීමට මෙම තරගාවලිය ඉවහල් වනු ඇති බවට තමා විශ්වාස කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

ආරාධිත ක්‍රිකට් තරගාවලියේ සෙසු කණ්ඩායම් නායකයන් වන අශාන් ප්‍රියංජන්, චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment