විදුලි සංදේශ බදු ආදායම 29.4%කින් නගී

230

විදුලි සංදේශ බද්දෙන් උපයන ලද ආදායම 2023 වර්ෂයේ පළමු මාස නවයේ දී රුපියල් බිලියන 13.8 දක්වා සියයට 29.4කින් වැඩි වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

2022 වර්ෂයේ පළමු මාස නවයේ දී විදුලි සංදේශ බදු ආදායම රුපියල් බිලියන 10.7ක් විය. 2022 වසරේ ජුනි මස 01 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි විදුලි සංදේශ බදු අනුපාතය සියයට 11.25 සිට සියයට 15 දක්වා සංශෝධන කිරීම මීට එක් හේතුවක්ව තිබූ බව ද මෙම වාර්තාවේ සඳහන්ය.

කෙසේ වුවද රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් භාවිතා කරනු ලබන ස්ථාවර හා ජංගම දුරකථන සංඛ්‍යාව ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස හයේ දී පිළිවෙළින් සියයට 19.4කින් හා සියයට 5.3කින් පහත වැටී ඇත. එමෙන්ම ජංගම අන්තර්ජාල සම්බන්ධතා ඇතුළු අන්තර්ජාල ග්‍රාහකයින් සංඛ්‍යාව 2023 වර්ෂයේ පළමු මාස හයේ දී මිලියන 21.9 දක්වා සියයට 1.0කින් පහත වැටී ඇති බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි.

2022 වර්ෂයේ පළමු භාගයේ දී මෙරට පුද්ගලයින් 100කට ජංගම දුරකථන හා වෙනත් දුරකථන 146.9ක් පැවැති අතර 2023 වර්ෂයේ මෙම කාලසීමාවේ දී පුද්ගලයින් 100කට ඇති ජංගම හා වෙනත් දුරකථන සංඛ්‍යාව 137 දක්වා සියයට 6.8කින් අඩු වී ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment