අනාථ නොවී සනාථ වෙමු

261

මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද බොහෝ දෙනාට සැප පිණිසද, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිසද,චාරිකාවේ හැසිරෙන්න. දෙදෙනෙක් එක් මගක නොයන්න. මුල මැද අග යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසන්න. පිරිසිදු බ්‍රහ්මචර්යාවම ප්‍රකාශ කරන්න

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වන්නේ එකම එක ඉලක්කයක් උදෙසායි. එනම් තමන්ට තමන් අවබෝධකර ගන්නා ආකාරය කියාදීම උදෙසායි. තමා තමන්ගෙන් නිදහස් වෙන ආකාරය අබෝධ කර ගන්නා වැඩපිළිවෙළ නම් චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගැනීමයි. එමගින් ලෝ සතුන්ට සසරේ අනාථ නොවී සනාථ වීමට හැකියාව ලැබේ.

ඉල්පුර පසළොස්වක පොහොය දිනය ශාසනික වශයෙන් වැදගත් කරුණු රාශියක් සිදුවූ පොහෝ දිනයකි. එම වැදගත් සිදුවීම් අපේ ජීවිතයට ද බොහෝ මග පෙන්වීම් ලබා දෙති.

  1. කඨින චීවරය පූජා කළ හැකි අන්තිම දිනය
  2. පසුවස් පවාරණය කරන දිනය
  3. ප්‍රථම ධර්ම දූතයන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට යොමු කිරීම
  4. බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම
  5. සැරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් මග ඵල ලැබීම
  6. සාරිපුත්තයන් වහන්සේ මෑණියන්ගේ නිවසේ පිරිනිවන් පෑම
  7. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම

අටමහ කුසල් අතර පළමු පිංකම කඨින චීවර දානයයි. එය සැදැහැවතුන්ට වසරකට එක් වරක් පමණක් කළ හැකි පිංකමකි. වප් පෝදා සිට ඉල් පෝදා දින දක්වා ලෝකයේ බොහෝ විහාරස්ථානවල මෙම අසිරිමත් පිංකම කඨින පිංකම කියා සිදු කරනු ලබයි. වස් තුන් මාසය මෙන්ම කඨින චීවර මාසයද ආගමික නැඹුරුවකින් සැදැහැවතුන් කටයුතු කරන කාලයකි. චීවර මාසයේ කඨින චීවරයක් පිදිය හැකි අවසන් දිනය ඉල් පෝදා දිනයයි.

යම් භික්ෂූන් වහන්සේ තමනට ඇසළ පොහෝදා වස් ආරාධනාව භාරගෙන අව පෑල වියදා වස් සමාදන්වීමට නොහැකි වුවහොත් ඒ භික්ෂූන් වහන්සේට මහා පවාරණයේ පවාරණය කිරීමට අවස්ථාවක් නොලැබෙන අතර කඨින චීවරයක් භාර ගැනීමට ද නොහැකි වේ. එම භික්ෂුව නිකිණි පුර පොහෝදා වස් සමාදන් වී පවාරණය හෙවත් පසුවස් පවාරණය ඉල්පුර පොහෝදා සිදු කළ යුතුය.

ප්‍රථම ධර්ම දූතයන් වහන්සේලා හැටනම ධර්ම ප්‍රචාර කටයුතු සඳහා වැඩම කිරීම සිදු වූයේ ඉල්පුර පොහෝදා දිනකදීය. බුදුරජාණන් වහන්සේ එදා භික්ෂූන් අමතා වදාළේ.

“චරථ භික්ඛවේ චාරිතං, බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානු කම්පාය, අත්ථාය හිතාය, සුඛාය, දේවමනුස්සානං, මා ඒකේන මග්ගේන ද්වේ අගමිත්ත, දේසේථ, භික්ඛවේ ධම්මං ආදි කල්්‍යාණං, මජ්fක්‍ඩ් කල්්‍යාණං, පරියෝසාන, කල්‍යාණ, සාත්ථං සබ්්‍යඤ්ජනං කේවල පරිපූණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියා පතාසේථ”

මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද බොහෝ දෙනාට සැප පිණිසද, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිසද, හිත පිණිසද, සැප පිණිසද, චාරිකාවේ හැසිරෙන්න. දෙදෙනෙක් එක් මගක නොයන්න. මුල මැද අග යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසන්න. පිරිසිදු බ්‍රහ්මචර්යාවම ප්‍රකාශ කරන්න යනුවෙනි.

ශ්‍රාවකයන් වහන්සේලා ධර්මදූත සේවයට යොමුකොට තමන් වහන්සේද නේරන්ජනාවේ උරුවෙල් ජනපදයට වැඩම කොට උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප යන තුන් බෑ ජටිලයන් සමග පිරිවර සේනාව දහසක් මහා කරුණාවෙන් ධර්ම මාර්ගයට යොමුකොට සසුනේ උතුම් පැවිදි බව ලබා දුන්හ. ආදිත්‍ය පරියාය සූත්‍රය මෙම පිරිස උදෙසා දේශනා කළ සේක.

සැරියුත් මහරහතන් වහන්සේ ගෞතම බුදු සසුනේ වැඩ සිටි අති විශේෂ උතුමන් වහන්සේ නමකි. ප්‍රඥාවන්තයන් අතර අගතනතුර, අග්‍රශ්‍රාවක දෙනම අතරින් දකුණත් ශ්‍රාවක පදවියද, මහා ධම්ම සේනාධිපති තනතුරුද, උන්වහන්සේ ලැබූහ. ඉවසීම අනතිමානිකම, කීකරුකම, අවවාද ඉවසීම එකී චරිතයේ උදාර ගුණයෝය. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා පිරිනිවන්පාන්නට සිය ජාත ග්‍රාමය වන නාලක ගමට වැඩියේ සිය මෑණියන් මිසිදුටු බවින් ගලවා මාර්ගඵල අවබෝධය ලබාදී මෑණියන්ගේ සසර ගමන සුවපත් කරවීම පිණිසය. මෑණියන්ට ධර්මය දේශනාකොට මිසිදුටු බවින් ගලවා ඇය සෝතාපත්ති ඵලයට පත් කළේය. එදිනම සිය නිවසේදීම මහ පොළොවද කම්පා කරවමින් උන්වහන්සේ පිරිනිවන් පා වදාළේ උතුම් ඉල් පොහෝදා දිනකය.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේම මෛත්‍රී බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුතව දඹදිව සංකස්ස නුවර සිටු කුලයක සිරිවඩ්ඩ නම් සිටුතුමාට දාව උපත ලැබීය. ධනවත් කුලයක උපත ලද මෙතුමා මවුපියන්ගේ ඇවෑමෙන් එකී සම්පත්වල හිමිකරු බවට පත්විය. බුදුරජාණන් වහන්සේ සංකස්ස නුවරට වැඩම කළදා සියලු සම්පත් අතහැර සසුනේ උතුම් පැවිදිබව ලැබුවේය. එක් වස් කාලයක් අවසානයේ තමන්ට ලැබුණු වටිනා වස්ත්‍ර දෙකක් බුදුරජාණන් වහන්සේට පූජා කොට එකත්පසව වැඩ සිටියේය. බුදුරජාණන් වහන්සේ මේ උතුම් පුරුෂ රත්නය හඳුනාගෙන භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කළේ. “මහණෙනි, මේ උදාර භික්ෂුව දෙස බලන්න. මේ භික්ෂුව අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෙස ලොව පහළ වන්නේය යයි නියත විවරණ ලබා දුන්නේය. මේ මහා භද්‍ර කල්පයේ පස්වෙනි සහ අවසාන බුදුරජාණන් වහන්සේ ලෙස දහසය අසංඛ්‍යලක්ෂ ලක්ෂයක් ගිය තැන සම්මා සම්බුදු වන්නේය. කේතුමතී රාජධානියේ සංඛ නම් සක්විති රජුගේ පෙරෙවි බ්‍රහ්ම බමුණා පියාණන් වන අතර බ්‍රහ්මවති බැමිණිය මව වන්නේය. නාගසක් බෝධීන් වහන්සේ වන අතර එකල මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු අසූ දහසක් වන්නේ යැයි තොරතුරු කථාව දේශනා කළේය. භික්ෂූන් වහන්සේලා දොහොත් මුදුන් දී සාදු කාර දුන්හ. දෙවියන් බඹුන් දිව්‍යමල් ඉසිමින් සාදු කාර දුන්නේය.

මෙවැනි අසිරිමත් සිදුවීම් රැසකට ඉල් පොහෝදා දිනය පසමුබිම් වී තිබේ. මෙවැනි උතුම් පොහෝ දිනක තම තමන්ට හැකි ආකාරයෙන් දාන, සීල, භාවනා යන පිංකම්වල යෙදීම තමාටම සිදුකර ගන්නා යහපතකි. සසර අනාථ කර නොගෙන සනාථ කර ගැනීමට සම්බුදු දහමම පිහිට කර ගනිමු.

දඩල්ල, වාලුකාරාම විහාරයේ අනුශාසක
ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment