ක්‍රිෂ් නඩුව විමර්ශනය කළ රවී වෛද්‍යලංකාර එතන ජොබ් එකට ගිහින්

1180

සී.අයි.ඩී.ය අධිකරණයට කියයි

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව විමර්ශන කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර යන අය 2023 ජනවාරි මස සිට ක්‍රිෂ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ පැවසීය.

ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බවත් එහිදී සඳහන් විණි.

ඇප මත මුදා හැර ඇති සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් දිනට පසු දින ක්‍රිෂ් සමාගමට එරෙහිව කිසිදු විමර්ශනයක් ආරම්භ කර නැති බවට දුන් ලිපිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව අල්ලස් කොමිසම වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කීවේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා වන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර යන අය ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගය අනුව ඔහුගෙන් ඉදිරි දිනයක ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිත බවත් ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කීවේය. එම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment