පාතාල කල්ලි නායකයකුගේ බිරිඳක විසින් කතරගම රුහුණු මහා දේවාලයට පූජා කරන ලද පවුම් තිස් අටක රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන කපු මහතා සහ ගබඩා බාර කපු මහතා අත්අඩංගුවට පත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඒ එම අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිසිය විසින් කරන ලද විමර්ශන වලින් අනාවරණය වූ කරුණු මුල් කර ගනිමිනි. දේව පූජා වශයෙන් දේවාලවලට ලැබෙන වටිනා දේ ඒවායේ සේවය කරන කපුවන් විසින් පැහැර ගන්නා පුවත අප සමාජයට අලුත් එකක් නොවේ. දෙවියන්ට හිමි දේ එසේ පැහැර ගන්නවුන් මිය යන මොහොතේ දී අනේක විධ දුක් පීඩාවන්ට ලක්වන බවට අප සමාජය පුරා මුල් බැස ගත් විශ්වාසයක් පවා තිබේ.

දේව වන්දනයේ අවිචාරය

වර්තමාන ජන සමාජයේ අතිශය ජනප්‍රිය දෙවි පුදබිම කතරගම බවට සැකයක් නැත. එහෙත්, මෙම ජනප්‍රියතාව දීර්ඝ කාලීනව අඛණ්ඩව පැවැති එකක් නොවේ. 1817 වසරේ වෙල්ලස්ස අරගලය දියත් කළ විල්බාවේ හෙවත් දොරේසාමි හා කතරගම දේවාලය අතර පැවැති සබැඳියාවක් අනාවරණය වීම මත ඉංග්‍රීසි රජය විසින් නොතකා හරින ලද කතරගම දේවාලය දහනව වන සියවසේ මැද භාගය තෙක් ජනප්‍රිය ගරා වැටෙන පුදබිමක් වීම දක්වා පරිහානි ලක්ෂණ පළ කළ බව ඉංග්‍රීසි පාලන වාර්තාවන් හි සඳහන් වේ. ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයකු හා දේශ ගවේෂකයකු වූ ජෝන් ඩේවි නම් වෛද්‍යවරයා 1821 වසරේ එළි දැක් වූ An account Interior of Ceylon and it`s Inhabitants කෘතියෙහි කතරගම පුදබිම දිනෙන් දින ගරා වැටෙන්නක් බවත් ඒ අනුව මතු එය තිබූ තැනක ලකුණක් වත් සොයා ගත නොහැකි වනු ඇති බවත් සඳහන් කොට ඇත. නමුදු දහ නව වන සියවසේ අග භාගයේ සිට යළි කෙමෙන් ඉස්මතු වී ඇති එහි ජනප්‍රියතාව අද වන විට අතිශය ජනකාන්ත මට්ටමක් තෙක් ඉහළ නැංවී තිබේ.

වර්තමාන සිංහල බෞද්ධ ජන සමාජය අන් බොහෝ කරුණු වලදී මෙන්ම දේව වන්දනයේ දී ද යම් අවිචාරවත් බවක් පළ කරනු පෙනේ. අප එසේ පවසනුයේ නූතනයේ එකිනෙකා පරයා නැගෙන ජනප්‍රිය සංස්කෘතික ධාරාවන්ට හෙවත් රැලි වලට නතු වීමට අප සමාජයේ බොහෝ දෙනකු තුළ පහසු නැඹුරුවක් පවතින බැවිනි.

වෙළෙඳුන්ගේ දෙවියන්

ගමේ දෙවිවරුන්ට උන් හිටි තැන් අහිමි කළ නිසා සිද්ධ වෙන කතරගම දෙවොලේ සොරකම්

අප රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් නැතහොත් මිලියන ගණනක් වාර්ෂිකව මෙලෙස කතරගම පුදබිම කෙරෙහි ඇදී යාම තුළ ද ඒ සමාජ විද්‍යාත්මක කරුණ සැඟවී තිබේ. ඇත්ත ඇති සැටියෙන් කිව හොත් අද පවතිනුයේ පරිභෝජනවාදී සමාජ අර්ථ ක්‍රමයකි.කතරගම දෙවියන් නූතනයට අතිශය ගැළපෙන දෙවියා බවට පත් වීමට මෙම කරුණ ද බලපා තිබේ. දර්ශනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වන මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි සූරීන් කතරගම දෙවියන් “වෙළඳුන් ගේ දෙවියන්” ලෙස නම් කොට ඇත්තේ ද වත්මන් සමාජයේ වාණිජවාදී ප්‍රවර්ධනය හා කතරගම දෙවියන් වර්තමාන ජන සමාජයේ අතිශය ජනප්‍රිය දෙවියා බවට පත්වීම මුල් කර ගනිමිනි. නාස්තිකාර පරිභෝජනය යනු අති ප්‍රාමාණික බව මත පදනම් වූ පරිභෝජනවාදය තුළ පවත්නා දුර්දාන්ත ලක්ෂණයකි. තම පරිභෝජනවාදී අවශ්‍යතා උපරිම ලෙස සංතෘප්ත කර ගැනීම මෙහි ප්‍රධාන ලක්ෂණයකි. තම මූලික පාරිභෝගික අවශ්‍යතා සතෘප්ත කර ගැනීම පිණිස සාමාන්‍ය වෙළෙඳ සල් පසු කොට සුපිරි වෙළ සල් සොයා යෑම සේම මූලික වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු රෝගයක දී පවා එක් වරම විශේෂඥ වෛද්‍යවරුන් හමුවට යෑම ද මේ සඳහා වන නිදසුන් දෙකකි. ඒ අනුව වත්මන් වෙළඳ ප්‍රචාරක කටයුතුවල දී ද හොඳම, උපරිම, විශිෂ්ඨතම, සුපිරිතම ආදී වදන් ආටෝපකාරී ලෙස හුවා දක්වනු පෙනෙයි. ඒ අනුව අද වාර්ෂිකව අප සමාජයේ මිලියන ගණනක් ජනතාව කතරගම යනුයේ දැනට සිටින හොඳම දෙවියාගෙන් පිහිටාධාර පැතීමට බව අතිශය පැහැදිලි ය. ආගම් සම්බන්ධ සංවිධාන ව්‍යුහය පුළුල් වත්ම පළමුව ගනුදෙනු ද දෙවනුව ව්‍යාපාර ද තෙවනුව ජාවාරම් ද බිහිවීම වැළකිය නොහැකි බව ලෝක ප්‍රකට ඉන්දීය දාර්ශනිකයකු වූ ජිඩ්ඩු ක්‍රිශ්ණමූර්ති සූරීහු පවසති. එක් දහස් නවසිය හැටේ දශකයේ මුල් භාගයේ බල දේව දේශබන්දු නමින් නිකුත් වූ “සර්ව දේව යාදිනි සහිත දේව කන්නලව්ව” නම් කෘතියේ (රත්න පොත් ප්‍රකාශකයෝ) පෙර වදනේ සඳහන් වන අන්දමට කතරගම වැනි දේවාල වල කපුවෝ රුපියල බැගින් පගාව නොදුන්නහොත් පූජා වට්ටි ප්‍රතික්ෂේප කරන අතරම උත්සව කාලවලදී බැතිමතුන් ඉදිරියේ දීම පූජා වට්ටි ගෝනිවලට හළා ගෙන යති.

එමෙන්ම කතරගම පුදබිම තුළ මෙම අවිචාරවත් චර්යා මේ වන විට හිස ඔසවා තිබේ ද?යත් අසීමාන්තික ධන තෘෂ්ණාවෙන් ඔද වැඩී ගත් කපු පාර්ශ්වයන් දේවාලයේ සාම්ප්‍රදායික පරිපාලන ව්‍යුහයට එරෙහිව සාපරාධී ක්‍රියාවනට පවා පෙළඹීමේ නැඹුරුවක් තිබේ. නීතිමය වශයෙන් පුද්ගල චර්යාවන් ලෙස අර්ථ කතනය කළ හැකි මේවා සමාජ මානව විද්‍යාත්මකව විස්තර කළ හැක්කේ තත් කාලීන සමාජමය සංසිද්ධීන් ලෙස පමණි. එමෙන්ම දෙවියන් වෙනුවෙන් කැප වූ යන අරුතින් කපු යනුවෙන් හැඳින්වෙන මොවුන් වත්මන් නොවිධිමත් සමාජ ආර්ථික පරිසරය මත කෙතරම් තෘෂ්ණාධික වී තිබේ ද යන්නට මෙය තවත් එක් නිදසුනක් පමණි. මෙම අගතිගාමිත්වයේ ඊළඟ අදියර ලෙස අසීමාන්තික ධන තෘෂ්ණාව මත පදනම් ව “දෙවියන් ඉදිරියේ මිනී මරා ගැනීම”ක් වාර්තා නොවීමට වඩා වාර්තා වීමට ඇති ඉඩ කඩ බහුල බව ඒ සම්බන්ධ ශාස්ත්‍රීය අධ්‍යයනයක දී පෙනී යනු ඇත.

සමාජය විසින් ඇදහිය යුතු දෙවියා හෝ දෙවිවරු කවරහු ද

නමුදු සමාජය විසින් ඇදහිය යුතු දෙවියා හෝ දෙවිවරු කවරහු ද? එසේ ඇදහීම පිණිස දෙවියකු හෝ දෙවි කෙනකු තෝරා ගත යුත්තේ කවර පදනමින් ද යන්න සම්බන්ධයෙන් සාම්ප්‍රදායිකත්වය මත පදනම් වන මතවාද මුල් කොට විචාරවත් අනාවරණයක් වර්තමාන විද්වතුන් වෙතින් ප්‍රකාශ වන බවක් නොහැඟේ. එහෙත්, එය දෙවියන්, ඇදහීම පිළිබඳ නැඹුරුවක් දක්වන ජන සමාජයක් තුළ එය අනිවාර්ය වශයෙන් සිදුවිය යුත්තකි. මෙහි දී සමාජය දේව වන්දනයට යොමු කිරීම හෝ සමාජය ඉන් ඉවතට ඇද දැකීම මානව විද්‍යාඥයන්ගේ කාර්ය භාරය නොවන නමුදු කිසියම් ජන සංස්කෘතියක් මුල් කොට ගත් සාධනීය හෝ නිශේධනීය සංසිද්ධීන් සම්බන්ධයෙන් විචාරශීලී පදනමක් මත ශාස්ත්‍රීය කරුණු තුලනාත්මක ලෙස ඉදිරිපත් කිරීම සමාජ මානව විද්‍යා විෂය පථයට අයත් වෙයි.

ඉටු දෙවිවරුන් හෙවත් ඉෂ්ට දේවතාවන් පිළිබඳ සාමාන්‍ය ජන වහරේ කතාබහට ලක් වෙයි. නමුත් අප ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ මෙම ඉෂ්ට දේවතාවන් ඇදහීම එතරම් ව්‍යාප්තව ඇති බවක් නොපෙනෙයි. අපගේ බිත්ති ලිත්වල සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දැක්වෙන කොටසේ නොනගතය හෙවත් පුණ්‍ය කාලය පිළිබඳ විස්තර කිරීමේදී ‘ඉෂ්ට දේවතානුස්මරණයෙහි යෙදී’ යන වදන සඳහන් වෙයි. මෙය පුණ්‍ය කාලය යන වදන ‘පුණ්‍ය කාලම්’ යන හින්දු වදනට අනුරූපව ඈපා ලිතේ නිර්මාතෘ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි විසින් සිංහල බසට එක් කර ගන්නා ලද්දකි. එහෙත් අපගේ සිංහල බෞද්ධ ජන සමාජය පුණ්‍ය කාලය මුල්කොට තෙරුවන් වන්දනා කරනු මිස එම ලිතේ සඳහන් අන්දමට ‘ඉෂ්ට දේවතානුස්මරණයේ’ යෙදෙන බවක් නොපෙනෙයි.

ගමේ දෙවිවරුන්ට උන් හිටි තැන් අහිමි කළ නිසා සිද්ධ වෙන කතරගම දෙවොලේ සොරකම්

මෙම ඉටු දෙවියන් පිළිබඳ සංකල්පවල දී ඇතැම්හු තමන් ජීවත් වන ප්‍රදේශයට අධිගෘහිත දෙවිවරුන් තම ඉටු දෙවිවරුන් වශයෙන් හඳුන්වා ගනිති. සබරගමුවේ ගැමි ජනතාව තම ඉටු දෙවියා ලෙස සමන් දෙවියන් හඳුන්වා ගන්නා අතර ශ්‍රී ලංකාවේ උතුරු උතුරු මැද සහ වයඹ ආදී පළාත්වල බොහෝ දෙනකු තම ඉටුදෙවියන් ලෙස වනයට අධිපති වන්නිනායක දෙවියන් තෝරා ගෙන ඇති බව පෙනෙයි.

එහෙත් මෙලෙස අප ජන සමාජයේ සම්භාවිත ප්‍රධාන හෝ දෙවිවරුන්ට අමතරව තවත් අඩවි, ගම්, තුලාන භාර දෙවිවරුන් ද පරම්පරාගත පවුල්වලට අධිගෘහිත දෙවිවරුන් ද යම් යම් පුද්ගලයන්ගේ හා පරම්පරාවල ඉටු දෙවිවරුන් වශයෙන් හඳුන්වන බව පෙනේ. අංජනම්, පේන, නිමිති ආදී ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවලට අමතරව සිහින මගින් ද එවැනි ඉටු දෙවි වරුන් පිළිබඳ ඉඟි ලැබෙන බව අද වන විට සමාජයෙන් යටපත්ව ඇති පැරණි මතවාදයකි. මේ අතර අප ගේ අතීත ජන සම්ප්‍රදාය අනුව තම එදිනෙදා ජීවිතයේ කටයුතු

ග්‍රාම දේවතා ඇදහීම් ජාලය

සම්බන්ධයෙන් ගුප්ත පිහිටාරක්ෂාව ලබා ගැනීම පිණිස ප්‍රාදේශීය අප රටේ ප්‍රාදේශීය දෙවිවරුන් අතර ග්‍රාම දේවතා නමින් කොටසක් සිටිති. ඔවුන් හුදෙක් ආධිපත්‍යය දරනුයේ ඒ ගම්මානවලට පමණි. ඒ අතරේ ඇතැම් ප්‍රදේශවල ‘ගම් කොටු’ යනුවෙන් හඳුන්වන ගම්මාන වලින් කොටස්වලට ආධිපත්‍යය හොබවන වෙනම දේවතා කොටසක් ද වෙති. මොවුන් ඒ එක් එක් කුල හා පරම්පරාවලට පමණක් ආධිපත්‍යය දරන බව පෙනෙයි. පොදුවේ ගත් කල ‘ගම්බාර’ වශයෙන් හැඳින්විය හැකි දේවතා කුලයකට අයත් මෙම දෙවි වරුන් ගෙන් වැඩි දෙනකු ‘මුත්තා’ යන නමින් හැඳින්වීම විශේෂයකි. එම ‘මුත්තා’ යන නමින් ගැමියන් හැඟවනුයේ එම දෙවියන් තම පරපුරේ ආදිතමයකු බව ය. ඒ අනුව මොවුන් ඥාති දෙවි වරුන් ලෙස ද නම් කළ හැකිය. නමුදු එම චාම් සරල ගැමි සංස්කෘතික ධාරාව බිඳ වැටී සමාජය පරිභෝජනවාදය තුළ නිමග්නවත්ම ඉහත සඳහන් ග්‍රාම දේවතා ඇදහීම් ජාලය පවා බිඳ වැටී තිබේ. දිවයිනේ සිව් දෙසින් කතරගම රුහුණු මහා දේවාලයට පූජා කරන ලද අගනා දේවල් කපුවන් විසින් අස්ථානගත කිරීම් සම්බන්ධයෙන් අසන්නට ලැබෙනුයේ ඒ අනුවය.

බෞද්ධ සාහිත්‍යයට අයත් පන්සිය පනස් ජාතකයේ එන කුඩ්ඩකපුව ජාතකයට අනුව ධනවතුන් වනස්පතීන් හි වැඩ හිඳින දෙවි වරුන් පුදන අතරේ එක් දිළිඳු මිනිසකු තමන්ගේ දිළිඳු බව මුල්කොට එඬරු ගසක වැඩ වෙසෙන අප්‍රකට දේවතාවකු පිදීමෙන් මහා ධන සිටු වරමක් ලබයි. යමකු ඉටු දෙවියකු තෝරා ගැනීමේදී ද එම දෙවියන්ගේ අල්පේශාක්‍ය බව මහේශාක්‍ය බව බලනොපාන බවට එම ජාතක කතාව කදිම නිදසුනකි. එය ජාතක කතාකරු සමකාලීන දේව ඇදහීම් ජාලයේ ඒකාධිකාරීත්වයට එල්ල කළ ටොකු ප්‍රහාරයකැයි ද මට සිතෙයි. එමෙන්ම වර්තමානයේ අසන්නට ලැබෙන ඉහත ආකාරයේ සිදුවීම් අනුව බුදු දහම හා සෘජුව සම්බන්ධ විය නොහැකි අප සමාජය එම ජාතක කතාවෙන් හෝ පාඩමක් ඉගෙන ගන්නේ නම් එය පොදු සමාජයේ යහපතට හේතු වන බව ද අප ගේ වැටහීමය.

මානව විද්‍යා මහාචාර්ය
ප්‍රණීත් අභයසුන්දර

advertistmentadvertistment
advertistmentadvertistment