ඔලිම්පික් වරම් පතා – බර උසුලන්නට අපෙන් තිදෙනෙක් අද පිටත් වෙති

78

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය

මෙම වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩකයන්ට හිමිවන අවසන් අවස්ථාව වන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ තිදෙනෙක් තායිලන්තය බලා අද (28 වැනිදා) පිටත් වෙති.

ලබන 31 වැනිදා සිට අප්‍රේල් 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන මෙම ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙසින් පැවැත්වේ.

එමෙන්ම ප්‍රංශ පැරිස් ඔලිම්පික් උළෙල ඉලක්ක කර ගනිමින් ඊට සුදුසුකම් සැපිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමට ඉදිරි කාලය තුළ හිමි වන අවසන් තරගාවලිය ද මෙය වේ.

එබැවින් මෙම තරගාවලියේ දක්වනු ලබන දස්කම් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් තීරණාත්මක සාධකයක් වනු ඇති අතර ඒ අනුව ඉන්දික චතුරංග දිසානායක, ඩිලංක ඉසුරු කුමාර සහ හංසනී ගෝමස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වෙති. ඉන්දික චතුරංග දිසානායක කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පන්තිය යටතේ ද, ඩිලංක ඉසුරු කුමාර කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තිය යටතේ ද, හංසනී ගෝමස් කිලෝ ග්‍රෑම් 49 ට අඩු බර පන්තිය යටතේ ද මෙවර තරගාවලියට සහභාගි වෙති.

ඒ අතරින් ඉන්දික චතුරංග දිසානායක පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභියකු වන අතර මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියලු දෙනා දේශීය බර ඉසිලීමේ තරග බිමේ තමන් නියෝජනය කරන බර පන්තියේ අංක එක ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව සිටිති.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ලත් අත්දැකීම හා පළපුරුද්ද උපයෝගී කර ගනිමින් මෙවර තරගාවලියේදී උපරිම දක්ෂතාව ප්‍රදර්ශනය කරන්නට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළඹුණු ඇතැයි ද ජාතික පුහුණුකරු ආර්.බී. වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාතික පුහුණුකරු ලෙස ආර්.බී. වික්‍රමසිංහ මහතා සහ සහාය පුහුණුකරු ලෙස රුක්ෂාන් ගුණතිලක මහතා යටතේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පුහුණුව ලබති.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment