බෙහෙත් කල් පැනලා මිලියන 156.5ක පාඩුවක්

76

ඉකුත් වසර දෙකේදී (2021, 2022) ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 156.5 අලාභයක් සිදුවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මූල්‍ය ප්‍රකාශනවලට අනුව සංස්ථාවේ අලෙවිය සඳහා මිල දී ගෙන තිබූ නමුත් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදාට තත්ත්වයෙන් අසමත් හා කල් ඉකුත් වූ සහ හානි වූ ඖෂධවල මුළු පිරිවැය මිලියන 344.23කි. ඉන් මිලියන 156.5ක් හැර ඉතිරි මුදල් අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගෙන තිබේ.

ඉකුත් වර්ෂයේදී තත්ත්වයෙන් අසමත් කල්ඉකුත් වූ හානිවූ ඖෂධවල මුළු පිරිවැය රුපියල් මිලියන 60.40ක් බව විගණන වාර්තාවේ සඳහන් වේ. ඉකුත් වසර දෙකේදී කල් ඉකුත් වූ සහ හානි වූ ඖෂධ වෙනුවෙන් සැපයුම්කරුවන්ගෙන් අය වීමට ඇති රුපියල් මිලියන 55.975ක මුදලක් මෙම වර්ෂයේ මාර්තු මස 31 වැනිදා වන විටත් අය කර ගෙන නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.

තත්ත්වයෙන් අසමත් ඖෂධවල වටිනාකම සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමටත් ඖෂධ කල් ඉකුත් වීමට හේතු සොයා බලා ඒ සඳහා පිළියම් යෙදීමටත් එම හේතුවලට වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අය කර ගැනීමට කටයුතු කළයුතු බවටත් විගණනය මගින් නිර්දේශ කර ඇත. මේ පිළිබඳ ඖෂධ සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ සෑම මූල්‍ය වර්ෂයකම කල් ඉකුත්වූ සහ හානිවූ ඖෂධවල විස්තර ඇතුළත් වාර්තාවක් අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි වෙත අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කරනු ලබන බවය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment