බොක්සිං තරඟ විනිසුරුවරියක් ලෙස අපේරටින් ඔලිම්පික් ගිය මුල්ම කාන්තාව… රජරට බෙක්සිංශූරයා කියන්නෙ මගෙ තාත්තට!

483

boxing

* අපේ පවුලෙ කෙල්ලොම හතරක්.තාත්තගෙ ඉල්ලීම මත මම බොක්සිං තෝරගත්තා
* ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන්. ඒ සඳහා කාන්තා, පිරිමි භේදයක් නෑ.

 

මෙරටට මුල්වරට කාන්තා බොක්සිං ක‍්‍රීඩාව හඳුන්වා දෙනු ලබන්නේ 2001 වර්ෂයේදීය. මෙරට තරුණියන්හට බොක්සිං වළල්ලට පිවිසීමේ සුවිශේෂී වරම හිමිවන එම කාල වකවානුව වනවිට ‘රජරට බොක්සිං ශූරයා’ ලෙස විරුදාවලිය ලද ටී. සෙල්වම් ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ බොක්සිං පුහුණුකරු ලෙස සේවය කළ අවධිය විය. ඔහු බොක්සිං ක‍්‍රීඩාවේ කෙතරම් ප‍්‍රවීණයෙක්ද යත් වසර 22 ක් පුරා නාවික හමුදා බොක්සිං පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ටී. සෙල්වම් මහතා විසින්ය. දියණියන් සිව් දෙනෙකුගේ පියෙක් වූ ටී. සෙල්වම්ගේ අඩිපාරේ ගමන් කිරීම පිණිස පුත‍්‍රරත්නයක් නොසිටීම පිළිබඳ කනස්සල්ලෙන් පසුවූ ඔහුට මෙරටට කාන්තා බොක්සිං ක‍්‍රීඩාව හඳුන්වා දුන් බව සඳහන් පුවත ‘සුබාරංචියක්’ බවට පත්ව ඇත.

අපගේ කථා නායිකාව වන නෙල්කා ශිරෝමාලා මහත්මිය ක‍්‍රීඩිකාවක් ලෙස බොක්සිං වළල්ලට පිවිසෙන්නේ එම සුබාරංචියේ ප‍්‍රතිඵලයක් ලෙසය. ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියක්් වන ඇය මේ වනවිට සිය පියාණන් පෙන්වූ අඩිපාරේ දිගු දුරක් ඇවිද ගොස් අවසන්ය. එහි කූටප්ප‍්‍රාප්තිය සිදුවන්නේ මෙවර ජපානයේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බොක්සිං තරග තීරක හා විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමේ සුවිශේෂී අවස්ථාව ඇය විසින් හිමිකර ගැනීමත් සමගය. මෙම සටහන තබන අවස්ථාව වනවිට ද ඒ සඳහා ඇය ජපානය බාලා පිටත්ව ගොස් අවසන්ය.

මීට වසර කීපයකට පෙර එක්තරා පුවත්පත් සාකච්ඡාවකට සහභාගිවූ නෙල්කා ශිරෝමාලා මහත්මිය තමන් බොක්සිං ක‍්‍රීඩාවට අවතීර්ණවූ අයුරු සඳහන් කර සිටියේ මේ ආකාරයටය.

‘මගේ තාත්තා නාවික හමුදාවේ බොක්සිං පුහුණුකරු ලෙස කටයුතු කරමින් ඉන්න අතරතුර තමයි අපේ රටේ කාන්තා බොක්සිං ක‍්‍රීඩාව මුල්වරට ආරම්භ කරන්නෙ. හරියට ම කිව්වොත් ඒ සිද්ධිය වෙන්නෙ 2001 වර්ෂයේදීය. අපේ පවුලෙ ගෑනු ළමයින් ම හතර දෙනෙක් විතරයි. මම තමයි පවුලෙ වැඩිමලා. තාත්තා මගෙන් අහනවා බොක්සිං සෙල්ලම් කරන්න කැමැතිද කියලා. ඒ වෙනකොට මම පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන උප පොලිස් පරීක්‍ෂකවරියක්. පාසල් අවධියේ ඉඳලම මම ක‍්‍රීඩාවට ඇලූම් කරන කෙනෙක්. ඒ කැමැත්ත සහ තාත්තගෙ ඉල්ලීම ඉවත දමන්න තිබුණු අකැමැත්ත හින්ද මම ඒ සඳහා යොමු වෙනව. ඒ කාලෙ පොලිස් බොක්සිං සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තංගවේලූ මහත්තයා. එතුමාගෙන් ඒ සඳහා අවසරය ගන්න ඕන. මම එතුමාගෙන් කරන ලද ඉල්ලීමට අනුව ඒ අවසරය ලැබෙනවා. එදා ඉඳලා මගේ බොක්සිං පුහුණුකරු වුණේ මගේ තාත්තා. පුහුණුවීම් කටයුතු සිද්ධ වුණේ නේවි එක ඇතුළේ සති දෙකක පුහුණු වීමකින් පසු පන්නල පැවැති පළමු ආසියානු කාන්තා බොක්සිං තරගාවලියට මම සහභාගි වෙනවා. ඒ තමයි මගේ ගමනේ ආරම්භය…..’’

1997 වර්ෂයේදී කාන්තා උප පොලිස් පරීක්‍ෂකවරියක් ලෙස රාජකාරී දිවිය අරඹන ඇය ඉන් වසර 04 කට පසු 2001 වසරේදී පොලිස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් බොක්සිං ක‍්‍රීඩිකාවක් ලෙස කරළියට පැමිණ ඇත්තේ ඉහත විස්තර කළ ආකාරයෙන්ය. එතැන් සිට අඛණ්ඩව වසර 05ක් මුළුල්ලේ පොලිස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් බොක්සිං ක‍්‍රීඩාවේ නිරතවන ඇය එම වසර පහ තුළම දක්ෂතම බොක්සිං පරාජිත ක‍්‍රීඩාකාවට (Best Looser) හිමි සම්මානය ද හිමිකර ගැනීමට සමත්වී ඇත.

අදින් වසර 20කට පමණ පෙර තම පියාණන්ගේ සිහිනයක් සැබෑ කිරීම පිණිස බොක්සිං වළල්ලට පියමනින ඇය මේ වනවිට ඉමහත් ජයග‍්‍රහණ රැසක් අත්පත්කර ගෙන ඇත. මෙරට ඔලිම්පික් ඉතිහාසය තුළ පළමු බොක්සිං තරග තීරක හා විනිසුරුවරිය ලෙස මෙවර පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ඇය ඒ හරහා ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්පත් කරදීමට සමත්ව සිටින්නීය.

2009 වර්ෂයේ පැවැති ශ‍්‍රී ලංකා කාන්තාවන් සඳහා වූ බොක්සිං තරඟ තීරක විභාගයෙන්් සමත්වන නෙල්කා ශිරෝමාලා ඉන් අනතුරුව 2011 වර්ෂයේදී පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් ලෙස උසස්වීම් ලබා ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම වර්ෂයේදීම ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක් විනිශ්චය කිරීමේ සුවිශේෂී වරම හිමිකර ගෙන ඇත. එහිදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් ලන්ඩන්හිදී අන්තර්ජාතික දෙවන පෙළ විනිසුරුවරියක් ලෙස ශ්‍රේණිගතවන ඇය තම විනිසුරු දිවියේ සුවිශේෂී කඩඉමක් වෙත ළඟා වන්නේ 2013 වර්ෂයේදීය. ඉතාලියේ පැවැති බොක්සිං තරඟ තීරක හා විනිසුරු විභාගයෙන් සමත්වන ඇය එවර අන්තර්ජාතික 3 වන පෙළ විනිසුරුවරියක් බවට පත්ව ඇත. බොක්සිං විනිසුරු ක්‍ෂේත‍්‍රයේ ඉහළම ස්ථානය වන එම තනතුරට පත් මුල්ම ශ‍්‍රී ලංකා කාන්තාව මෙන්ම අග්නිදිග ආසියානු කලාපයෙන් එම තනතුරට පත් පළමු කාන්තාව වීමේ ගෞරවය ද ඒ හරහා ඇය විසින් අත්පත් කරගෙන ඇත. එය එතකින් නතර වන්නේ නැත. 2017 වර්ෂයේ බොක්සිං විනිශ්චය සඳහා පැවැති ජාත්‍යන්තර සම්මාන ප‍්‍රධාන උළෙලකදී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරිය ලෙස නෙල්කා ශිරෝමාලා මහත්මිය සම්මානයට පාත‍්‍ර වන අතර එය ආසියානු කාන්තාවක් එම තනතුරට පත් ප‍්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වීම ද විශේෂත්වයකි.

මේ වනවිට විනිසුරුවරියක් ලෙස බොක්සිං ලෝක ශූරතා පිරිමි සහ කාන්තා තරගාවලිය, යොවුන් කාන්තා හා පිරිමි බොක්සිිං ශූරතාවය, පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි, ආසියානු මහද්වීප බොක්සිං තරගාවලිවය, ඔලිම්පික් තේරීම් තරගාවලි ආදී දෙස් විදෙස් තරග රැසක් ඇය විසින් විනිශ්චයකොට ඇත. වරක් ඇය විසින් පවසා ඇති පරිදි තම විනිසුරු දිවියේ සිහිනයක්ව පැවැති ලොව අසිරිමත් මෙන්ම අති දක්ෂයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ඔලිම්පික් බොක්සිං තරග විනිශ්චයට සහභාගිවීමේ සුවිශේෂී වරම මෙවර සැබෑවක් බවට පත්ව ඇත. ඒ මඟ හෙළි පෙහෙළි කර ගැනීම පිණිස ඇය විසින් කරන ලද කැපකිරීම ඉමහත්ය.

2001 වර්ෂයේදී කී‍්‍රඩිකාවක් ලෙස බොක්සිං වළල්ලට පිවිසෙන නෙල්කා ශිරෝමාලා කී‍්‍රඩාව පිණිස පමණක් තම කාලය මිඩංගු කළ තැනැත්තියක් නොවීය. පොලිස් නිලධාරිනියක් ලෙස තම රාජකාරිය ඉටුකරන අතර බිරිඳක්, මවක් ලෙස ද ඇය වෙත පැවරුණ වගකීම් බොහෝය. ඔලිම්පික් විනිසුරු වරම් හිමිවීමට පෙර ඇය විසින් සිදුකළ පුවත්පත් සාකච්ඡාවකදී තමන් එතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳව විස්තර කරමින් ඇය මෙසේ පවසා සිටියා ය.

”මට පාර පෙන්නුවෙ තාත්තා. නමුත් තමන්ගෙ දරුවකුට තාත්තා කෙනකු විසින් පාර පෙන්නල දුන්න කියල හැම දරුවෙක්ම ඒ ඉලක්කවලට යන්නෙ නෑ. එහෙම යන්න නම් ලොකු කැප කිරීම් කරන්න ඕන. විශේෂයෙන්ම බොක්සිං කී‍්‍රඩාව වැනි ද්වන්ධ කී‍්‍රඩාවකදී ඒ කැප කිරීම වැඩි වැඩියෙන් සිදුකළ යුතුයි. ඒ සඳහා වෘත්තිමය වශයෙන් කී‍්‍රඩාවේ නිරත විය යුතුයි. නමුත් පොලිස් නිලධාරිනියක් ලෙස මට ඒක කරන්න බැරි වෙනව. එතැනදි තමයි මම බොක්සිං තරග තීරක සහ විනිසුරුවරියක් විදිහට අලූත් ගමනක් ආරම්භ කරන්නෙ. ඇත්තට ම ඒ සඳහාත් ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනව. මවක්, බිරිඳක් ලෙස මගෙන් වෙන්න ඕන යුතුකම් ඉටුකරමින් තමයි මම මෙපමණ දුරක් මේ ගමන ඇවිත් ඉන්නෙ. මම වගේම මගේ මහත්තය සේවය කරන්නෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ. අපි දෙන්නම එක වගේ අවිවේකී ජීවිත ගතකරන ගමන් මට මේ ක්‍ෂේත‍්‍රයේ කටයුතු කරන්න මහත්තයගෙන් ලොකු සහයෝගයක් හිමිවුණා. මට මතකයි ඒ කාලේ ඇතැම් තරග විනිශ්චය සඳහා මගේ කුඩා දියණියවත් අරන් තමයි මම ඒ ඒ තරග පැවැත්වෙන ස්ථානවලට ගියේ. ඒ ගිහින් තරග අතරතුර ලැබෙන කෙටි විවේක කාලයේදී දරුවව අතට අරන් එයාට කිරි දෙනව. ඕනෑම ක්‍ෂේත‍්‍රයකින් ඉදිරියට යන්න නම් කැප කිරීම් කළ යුතුයි. එතැනදි වැදගත්ම දේ තමයි කාලය නිසියාකාරව කළමනාකරණය කිරීම”

මෙතැනදි බොක්සිං විනිශ්චය පිළිබඳවත් යමක් සඳහන් කළ යුතුයි. බොක්සිං කී‍්‍රඩාව විනිශ්චය කිරීමේදී තරගය පාලනය කරමින් ඒ කටයුත්ත සිද්ධ කළ යුතුයි. අපි ලබාදෙන නිවැරදි විනිශ්චය මත තමයි ඒ කී‍්‍රඩකයන්ගේ අනාගතය රැඳිල තිබෙන්නෙ. උද්වේගකර කී‍්‍රඩාවක් වන බොක්සිං විනිශ්චයේදී විනිසුරු භූමිකාව කියන්නෙ ඉතාමත් ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව සිදු කළ යුතු කටයුත්තක්. ඉතින් මම විශ්වාස කරනව කාන්තාවක් ලෙස මේ ක්‍ෂේත‍්‍රයේ දිගින් දිගට ම රැඳී ඉන්න පුළුවන්වෙලා තියෙන්නෙ සංයමය, ඉවසීම කියන ගුණාංගත් මා විසින් ප‍්‍රගුණ කළ නිසා වෙන්න ඇති කියල. ඊට අමතරව හර්බට් ඇඹුල්දෙණිය, නීටා ඇඹුල්දෙණිය යුවළ මේ වෙලාවෙ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. එම යුවළ විසින් මා වෙත දක්වන ලද සහයෝගයත් මට ලොකු ශක්තියක් බවට පත්වුණා.

මේ වනවිට ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 9 දෙනෙක් තරග කිරීමට නියමිතය. දෙකෝටියකට අධික මෙරට ජනතාවගේ සිහිනය බවට පත්ව ඇත්තේ ඔවුන් නියෝජනය කරන තරග ඉසව්ව හරහා රටට ජයග‍්‍රහණ අත්පත්වනු දැකීමය. ලොව දැවැන්තම කී‍්‍රඩා උළෙල සඳහා තරග වැදීම මෙන්ම එය විනිශ්චය කිරීමේ වරම් හිමිවීමද ඕනෑම කෙනකු ලබන දුර්ලභ අවස්ථාවක්ය. ඉහත විස්තර කරන ලද්දේ වසර 20 ක් තිස්සේ සිදුකළ ඉමහත් කැපවීම් ආදියේ ප‍්‍රතිඵලයක් ලෙස එම වරම හිමිකරගත් ශී‍්‍ර ලාංකික කාන්තාවක් පිළිබඳ ආදර්ශමත් කතාවක්ය. පොලිස් දෙපාර්තමේන්තුවට මෙන්ම මුළු මහත් ශී‍්‍ර ලංකාවට ම ආඩම්බරයක් වූ ඇය දැයේ දියණියන්හට පරමාදර්ශී චරිතයක් බවට පත්කර ගත හැක.

– රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment