ශ්‍රී ලංකාව තරගාවලි තුනම පරදී

188

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පන්දු වාර විස්සයි-20 තරගාවලියෙන් ද ජයග්‍රහණය කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම පෙරේදා (08 වැනිදා) සමත් විය.

කණ්ඩායම් දෙකම 1-1ක් ලෙස තරග දෙකක් අවසානයේ සමතැන් ගෙන තිබීම හේතුවෙන් ජයග්‍රාහකයන් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් වූ අවසන් අවස්ථාව ක්වින්ස්ටවුන් හිදී පැවැත්විණි.

එම තෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 4 ක තියුණු ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව නවසීලන්ත සංචාරයේ දී සහභාගි වූ තරගාවලි 3 ම පරාජයට පත් වූ අතර මීට පෙර පැවති ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත්විණි.

කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 73 ක අනර්ඝ ඉනිම මත ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණ 182 ක ලකුණු සංඛ්‍යාව හඹා ගිය නවසීලන්ත පිතිකරුවෝ පන්දුවක් ඉතිරිව තිබියදී අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වූහ. අවසන් පන්දු වාරයේදී ලකුණු 10 ක් බේරා ගැනීමේ අභියෝගය ඇතිව පන්දුව අතට ගත් ළහිරු කුමාරගේ පළමු පන්දුවට මාක් චැප්මන් විසින් හයේ පහරක් එල්ල කළද ඉතිරි පන්දු තුනේදී චැප්මන් ඇතුළු පිතිකරුවන් තිදෙනකු පිට පිට පන්දු 3 කදී දැවී යෑම නිසා තරගය යළිත් ශ්‍රී ලංකාවට විවෘත විය. එහිදී ජිමී නීශම් දැවී ගියේ දුවද්දී දැවී යෑමකිනි.

පන්දු 3 කදී ජයග්‍රහණය සඳහා ලකුණු 3 ක් ලෙස සටහන්ව තිබියදී ළහිරු කුමාර විසින් යවන ලද පන්දුව කඩුලු රකින කුසල් මෙන්ඩිස් අතට ගොස් නැවතත් ලබා දෙන අවස්ථාවේදී ළහිරු කුමාරට හරියාකාරව එය රැක ගැනීමට නොහැකිවීම නිසා සිව්වැනි කඩුල්ල දවා ගැනීමේ තිබූ අවස්ථාව මඟ හැරිණ.

එම ඉලක්කය හඹා යෑමේදී දැවැන්ත කාර්යය භාරයක් කළ ටීම් සෙයිෆර්ට් පන්දු 48 කදී ලකුණු 88 ක් ලබා ගත්තේ පසු පෙළට පීඩනය අඩු කරමිනි. සෙෆර්ට්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.

බෝව්ස් සමඟ ලකුණු 53 ක සම්බන්ධතාවක් පැවැත්වූ සෙයිෆර්ට් නායක ලෙතම් සමග ලකුණු 84 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වීම නිසා නවසීලන්ත කණ්ඩායමට ඉලක්කය පහසු විය.

10 වැනි පන්දු වාරය වන විට ආරම්භක පිතිකරුවා වූ පැතුම් නිස්සංක දැවී යන විටත් ශ්‍රී ලංකා පිල ලකුණු 76 ක් ලබා සිටියේය. වේගවත් ඉනිමක් කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කළත් කඩුල්ල ආරක්ෂා කරගත් පැතුම් නිස්සංක පන්දු 25 කදී රැස් කරගෙන සිටියේ ලකුණු 25 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු වාරයේදී පිතිකරුවන් රැස් කිරීමට සමත් වූයේ ලකුණු 03 ක් පමණක් වීමේ වාසිය නවසීලන්ත පිල සතුවිය.

ශ්‍රී ලංකාව පන්දු වාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 182 යි – (පැතුම් නිස්සංක 25, කුසල් මෙන්ඩිස් 73, කුසල් පෙරේරා 33, ධනංජය ද සිල්වා 20, දසුන් ශානක 15, බෙන් ලිස්ටර් 37/2)

නවසීලන්තය පන්දු වාර 19.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 183 යි – (ටිම් සීෆර්ට් 88, චැඩ් බෝව් 17, ටොම් ලේතම් 31, ඩැරල් මිචෙල් 15, මාක් චැප්මන් 15, ළහිරු කුමාර 38/3, මහීෂ් තීක්ෂණ 22/1, ප්‍රමෝද් මදුශාන් 38/1)

advertistmentadvertistment
advertistmentadvertistment