නෞකාව පාලමේ ගැටීම නිසා බෝල්ටිමෝර් වරාය නැව් ගමනාගමනය අත්හිටුවයි

179

ඇමරිකා එක්සත් ජනපදයේ බෝල්ටිමෝර් නගරයේ පිහිටි පාලමක් කන්ටේනර් නෞකාවක් හා ගැටීමෙන් කඩා වැදීමේ සිද්ධිය හේතුවෙන් ලොව පුරා වාහන ඇතුළු නැව් භාණ්ඩ සැපයුම් ජාලය අඩාල වන ලකුණු පහළ වී ඇති බව ජාත්‍යන්තර වෙළෙඳ ආයතන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. බෝල්ටිමෝර් නගරයේ පිහිටි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කන්ටේනර් නෞකාවක් හා ගැටීමෙන් ගඟට කඩා වැටීමෙන් අනතුරුව එම පාලමට සම්බන්ධ වන පිවිසුමක් ඇති බෝල්ටිමෝර් වරාය හරහා නැව් ගමනාගමනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට බලධාරින් විසින් පියවර ගැනීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබේ.

ඉකුත් වසරේදී ඇමරිකාවේ කාර්යබහුලම වරායක් වන බෝල්ටිමෝර් වරාය හරහා විදේශීය නැව් භාණ්ඩ ටොන් මිලියන 47 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය වී ඇති බව වාර්තා වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අපනයනය හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ආයතනය පවසා ඇත්තේ මෙසේ අදාළ වරාය හරහා නැව් ගමනාගමනය අත්හිටුවීමෙන් ලොව පුරා නැව් භාණ්ඩ සැපයුම් ජාලවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි. මේ අතර ඉකුත් වසරේදී බෝල්ටිමෝර් නගරය හරහා මෝටර් රථ ඇතුළු වාහන හත් ලක්ෂ පනස්දහසකට අධික සංඛ්‍යාවක් ලොව පුරා රටවලට ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ. මේ අතර පාලමේ ගැටීමෙන් පසු අතරමග සිරවී තිබෙන අනතුරට පත් කන්ටේනර් නෞකාවේ දත්ත ගබඩා කර ඇති රෙකෝඩරය පරීක්ෂා කර බලා නෞකාව පාලමේ ගැටීමට මුල් වූ නිශ්චිත හේතුව සොයාගැනීමට විමර්ශකයෝ සැලසුම් කර තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment