පහන් දැල්වීම සිදු කරන්නේ කෙසේද?

1779

අප කුඩා කල සිට ම පහන් දැල්වීම විවිධ අවස්ථාවන්හි දී සිදු කරයි. ප්‍රාථමිකව ම රාත්‍රී කාලයේ තමන්ගේ නිවස ආලෝකමත් වීම උදෙසා පහන් දල්වනු ලබයි. පහනක් කී විගස අපට මතකයට නැඟෙන්නේ විහාරස්ථානයට හෝ කෝවිලට ගොස් බුදුන් උදෙසා හෝ දෙවියන් උදෙසා දල්වන මැටි පහනය. ඊට අමතරව පිත්තල පහන්, විවිධ ලෝහවලින් සෑදු පහන්, ශෛලමය පහන්, දොළොස්මහේ පහන, පහන් වැටවල්වල පහන්, දෙහි ලෙල්ල කණපිට හරවා දැල්වන පහන්, ගස්ලබු ගෙඩිය දෙකට කපා තෙල් දමා දල්වන පහන් ප්‍රධාන තැනක් ගනී.

නිවසේ දල්වන බල්බය ද පහනකි. එයින් ද අපට ලැබෙන්නේ ආලෝකයයි. කුමන වර්ගයේ පහනක් දැල්වුව ද එහි අරමුණ එම ස්ථානය අනුව එහි අර්ථය වෙනස් වේ. විහාරස්ථානයකට ගොස් පහන් දැල්වෙන්නේ පිං ලබාගැනීම, ලෙඩ දුක් සුවකර ගැනීම, දුක් කරදර අපල උපද්‍රව දුරු කර ගැනීම ආදී දේ සඳහා ය. එමෙන්ම කෝවිලට ගොස් පහන් දල්වනුයේ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතා ය. එමෙන්ම අඳුර සහිත අවස්ථාවක නිවසේ හෝ යම් ස්ථානයක පහන් දල්වනුයේ ආලෝකය ලබාගැනීම සඳහා ය. එමෙන්ම මෘත දේහයන් අසල හා මෘත දේහය සොහොනට ගෙන ගිය පසු එම ස්ථානයේ පහන් දල්වනුයේ මෘත දේහයෙන් පිටවන විෂබීජ නැසීමටය. මීට අමතරව අධිෂ්ඨාන පූජා තැබීමට, මියගිය තැනැත්තන් සිහිකිරීමට සොහොන් කොත්වල, ගෙවල් ආරක්ෂා කිරීමට නිවසේ 8 කොනේ ද පොල් තෙල් පහන් දැල්වීම දැක ගත හැක. තවද අෂ්ටකර්ම කිරීමේ දී මෙන්ම ශාන්ති කර්ම කිරීමේ දී ද පහන් දල්වනු ලබයි. දැරිවියක් වැඩිවියට පත් වූ පසු ඇයව රඳවා තබන කාමරය තුළ පහනක් දැල්වීම සිදු කරයි. එපමණක් ද නොව ඕනෑම උත්සව අවස්ථාවක ආරම්භය සිදුවනුයේ පොල් තෙල් පහන දැල්වීමෙන්ය. එමෙන්ම වෙසක්, පොසොන්, නත්තල්, තෛපොංගල් වැනි ආගමික උත්සවවල දී ද පහන් දැල්වීම ප්‍රමුඛ ස්ථානයක් ගනී.

අපගේ ජීවිතේ බොහෝ අවස්ථාවන්හි දී උපයෝගි කර ගන්නා පහන් දැල්වීම අතරින් බුදුන් උදෙසා මෙන්ම දෙවියන් උදෙසා පහන් දැල්වීම සුලභව සිදු කරන්නෙකි. ලක්ෂ්මි දේවිය උදෙසා පහන් දල්වා යස ඉසුරු ප්‍රාර්ථනා කරනවා සේම ගණ දෙවියන් උදෙසා පහන් දල්වා ඥානය හා බුද්ධිය ප්‍රාර්ථනා කරයි. එමෙන්ම සරස්වතී දේවිය උදෙසා පහන් දල්වා සංගීතයට මෙන්ම අනෙකුත් කලාවන්ට ද හැකියා, දක්ෂතා වැඩි වේවායි ප්‍රාර්ථනා කරයි. කතරගම හා විෂ්ණු දෙවියන් උදෙසා පහන් දල්වා ව්‍යාපාර දියුණුව, රථවාහන ලාභ ආදිය ප්‍රාර්ථනා කරයි. කාලි මෑණියන්, සූනියම් දෙවියන්, දැඩිමුණ්ඩ දෙවියන්, කඩවර දෙවියන් වැනි දෙවිවරු උදෙසා පහන් දල්වා ජීවිතයට ආරක්ෂාව, අණවින කොඩිවින ආදී දෝෂ නිවාරණය භූත, ප්‍රේත දෝෂවලින් ආරක්ෂාව, වැරදි කරන අසත්පුරුෂයින්ට දඬුවම් ලබාදීම ආදිය ප්‍රාර්ථනා කරයි.

ඉහත දෙවියන් උදෙසා පහන් දැල්වීම, පූජා කිරීම ක්‍රම දෙකකට සිදු කරයි. එනම් අදාළ දෙවියන් වැඩ සිටින දේවාලයට හෝ කෝවිලට ගොස් දවසේ ඕනෑම වේලාවක පහන් දල්වා තමන්ගේ අවශ්‍යතාවය පවසා දෙවියන්ට කන්නලව් කිරීම අනෙක් දාමය වන්නේ තම නිවසේ දිනපතා දෙවියන් උදෙසා පහන් දැල්වීමයි. මෙසේ කිරීමට තමා පිහිට පතන දෙවියන්ගේ බැල්ම වැටෙන වේලාව සොයා එම වේලාවේ පහන් දැල්විය යුතුයි. එසේ අදාළ වේලාවට පහන් දැල්වීම තුළින් පමණක් එම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනු ඇත.

එක් එක් දෙවියන් උදෙසා පහන් තැබිය යුතු නිවැරදි වේලාවන් මෙසේය.

හවස 5.00 – 5.24 – ධර්ම දේවතා දිෂ්ටිය-

ගොම්මන 5.24 – 5.48 – මහා බ්‍රහ්ම දේව දිෂ්ටිය- බුදුපහන තබයි

රාත්‍රී මුල යක්ෂ දිෂ්ටි සඳහා පහන් තබයි

6.00 – 6.24 – මහ සොහොන් දිෂ්ටිය

6.24 – 6.48 – රිරි යක්ෂ දිෂ්ටිය

6.48 – 7.12 – සූනියම් ඔඩ්ඩි යක්ෂ දිෂ්ටිය

7.12 – 7.36 – කඩවර දිෂ්ටිය

7.36 – 8.07 – කළුකුමාර දිෂටිය

8.07 – 8.24 – භද්‍රකාලී දිෂ්ටිය

8.24 – 8.48 – මදන යක්ෂ දිෂ්ටිය

8.48 – 9.12 – ගොපලු යක්ෂ දිෂ්ටිය

9.12 – 9.36 – බහිරව දිෂ්ටිය

9.36 – 10.01 – කොහොඹ යක්ෂ දිෂ්ටිය

රාත්‍රී මැදියම දේවතාවුන් උදෙසා පහන් තබයි.

10.01 – 10.23 – ගම්භාර සූනියම් දේව දිෂ්ටිය

10.23 – 10.47 දැඩිමුණ්ඩ දේව දිෂ්ටිය

10.47 – 11.36 – කතරගම දේව දිෂ්ටිය

11.36 – 12.00 – සත්පත්තිනි දේව දිෂ්ටිය

12.00 – 12.12 – සරස්වතී දේව දිෂ්ටිය

12.12 – 12.24 – විෂ්ණු දේව දිෂ්ටිය

12.24 – 12.36 – ඊශ්වර දේව දිෂ්ටිය

12.36 – 1.00 – සතරවරම් දේව දිෂ්ටිය

1.00 – 1.24 – සුමන සමන් දේව දිෂ්ටිය

1.24 – 1.48 – විභීෂණ දේව දිෂ්ටිය

1.48 – 2.00 – ශක්‍ර දේව දිෂ්ටිය

2.00 – 2.24 – නව ග්‍රහයන්

2.24 – 3.00 – යම රජු

3.00 – 3.24 – මරු

3.24 – 3.48 – මුහුදු මණි මේඛලා

3.48 – 4.00 – අසුර

4.00 – 4.24 – පංච ශිඛ

4.24 – 5.00 – චිත්‍රිනී මරදූති

5.00 – 5.24 – ධර්ම දේවතාවා

5.24 – 5.48 – මහා බ්‍රහ්මයන්

5.48 – 6.00 – සන්නි දේවතාවා

මෙයට අමතරව,

4.30 – 6.00 – ලක්ෂ්මී දේවිය

4.30 – 4.56 – දෙවොල් දෙවියන්

6.12 6.24 – නාථ දෙවියන්

මෙම වේලාවන් භාවිතයේ දී එදින ඉර උදාව අනුව සංශෝධනය විය යුතු බව ද වටහා ගත යුතුයි. එය වඩාත් පැහැදිලි කිරීම සඳහා මෙම එක් දෙවියෙකුට පහන් තැබිය යුතු නිවැරදි වේලාව සාදා ගන්නා ආකාරය පහත වේ.

2018.07.03 පහන් තබන්නේ නම්,

7.3 ඉර උදාව = 5.59

දෙවියන් උදෙසා පහන් තබන ඉහත වේලාවන්, ඉර උදාව උදේ 6.00 ට සිදු වූවා යැයි සලකා සාදා ඇත.

එම නිසා 7.3 වැනි දින ඉර උදාව සිදු වී ඇත්තේ 5.59ට ය. එනම් සම්මත වේලාව වන උදේ 6.00 ට වඩා විනාඩියක් අඩුවෙනි. එමනිසා ඉහත දෙවියන් උදෙසා පහන් තබන සියලු වේලාවන් හා අවසන් වන වේලාවන් විනාඩියක් අඩු කර සාදා ගත යුතුයි.

උදාහරණයක් ලෙස කාලි මෑණියන් උදෙසා ජූලි 3 වැනි දින පහන් තැබිය යුත්තේ රාත්‍රී 8.07 ට නොව 8.06ට ය.

ඉර උදාව උදේ 6.00ට සිදුවන ඕනෑම දිනක ඉහත සඳහන් වේලාවන් කිසිදු සංශෝධනයක් නොකර ගත හැක.

උදාහරණයක් ලෙස 2018.07.05 සිට 2018.07.09 දක්වා ඉර උදාව ලිතේ සඳහන්ව ඇත්තේ උදේ 6.00ටය. මෙම දිනයන්හී කාලි මෑණියන් උදෙසා තබන පහන රාත්‍රී 8.7ටම තැබිය හැක.

පහන් දැල්වීම උදෙසා බහුලව භාවිත කරන පොල් තෙල්වලට අමතරව විවිධ තෙල් වර්ග භාවිත කර ගනු ලබයි. ඒ අතර එළගිතෙල්, පස්තෙල්, අබතෙල් ප්‍රධාන තැනක් ගනී. මෙම එක් එක් තෙල් වර්ගය එක් එක් දෙවියන්ට විශේෂ වේ. එනම් සූනියම් දෙවියන්, ගණ දෙවියන් හා විෂ්ණු දෙවියන්ට එළගිතෙල් පහන් දැල්වීම විශේෂ වේ. ලක්ෂ්මී දෙවියන්ට පස්තෙල් පහන් ද, ශිව දෙවියන්, කතරගම දෙවියන් හා සමන් දෙවියන්ට අබතෙල් පහන් ද විශේෂ වේ.

බුදුන් උදෙසා එනම් බුද්ධ, ධර්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය උදෙසා, සර්වඥධාතූන් වහන්සේලා අරමුණු කරගෙන දල්වන පහන් මහා බලයක්, මහා ශක්තියක් ලැබන දෙලොව හිත සුව පිණිසම හේතු වන උතුම් පිංකමක් වනු ඇත.

පහන් සර්වඥ ධාතුන් තැන්පත් වෙහෙරක් අරභයා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස ත්‍රිපිටකයේ සඳහන් පරිදි මෙසේය.

  1. දීප්තිමත් ස්ථානවලට උත්පත්තිය ලබයි.
  2. යන සෑම තැනකම බබළන පුද්ගලයෙක් වේ.
  3. සියලු දෙනා මැඬ පැවැත්වීමේ ශක්තිය ලැබේ.
  4. කිසිදිනක අපහාස සිදු නොවේ.
  5. දුරදක්නා නුවණ ඇති වේ.
  6. දිවැස් ඇත්තෙක් වේ.
  7. මහා ප්‍රඥාවන්තයෙක් වේ.
  8. තමා යන සෑම තැනම ආලෝකමත් වේ.
  9. මහත් බලසම්පන්න පුද්ගලයෙක් වේ.
  10. ප්‍රභාව පතුරවන්නෙක් වේ.
  11. මැණික් මෙන් දිලිසෙන ඇස් ඇත්තෙක් වේ.
  12. උපදින සෑම විටම උසස් කුලයකම උත්පත්තිය ලබයි.
  13. යසස වැඩී ජීවිතය දීප්තිමත් වේ.
  14. විෂම ස්ථානවලට යනවිට සම වේ.
  15. වටිනා මන්දිර පරිහරණයට ලැබේ.
  16. අඳුරු ස්ථානවල දී වුව ද ආලෝකය ලැබේ.
  17. පෙර භවය දැකීමේ ශක්තිය ලැබේ.
  18. බොහෝ ධන ධාන්‍ය ඇත්තෙක් වේ.
  19. මහා ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයෙක් වේ.
  20. මවු කුසෙහි ද ඇස් මිලින නොවේ.

නිවැරදි වේලාවට පහන් තබා දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව ලබාගන්නවා සේම, බුදුන්ගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා, පහන් දල්වා අඳුරෙන් එළියට යන පුද්ගලයෙකු හෝ එළියෙන් එළියට යන පුද්ගලයෙකු වන්න. එමෙන්ම පහන් දල්වා මහා ප්‍රඥ්ඥාවන්තයෙකු වන්න.

දීපදෝ හෝතු චක්කුදෝ ලෙස බුදු පියාණන් දේශනා කර ඇත. ඒ පහන් පත්තු කරන්නාට දිවැස් ලැබේ යන්නයි.

ලැබෙන සෑම අවස්ථාවකම හැකිතාක් පහන් දල්වා පරිසරයේ අඳුර මකනවා සේම, ඔබගේ ආත්මය තුළ ඇති අඳුර ද මනා ආලෝකමත් කර ගන්න.

පහන් දැල්වීම සිදු කරන්නේ කෙසේද?

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය
මංජුලා පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 0779-282653

advertistmentadvertistment
advertistmentadvertistment