නිවෙසක වෙනස් කිරීම් වාස්තුවලට එකඟව කරන්න

295

ගෙවල්වල වෙනස්කම් අපිට හිතෙන විධියට ගෙදර සාමාජිකයන්ට අවශ්‍ය විධියට හිතු මනාපයට කරන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි. අපිට නම් ගෙයක් කියන්නේ වැලි, සිමෙන්ති, කොන්ක්‍රීට්, දැව, යකඩ එකතු කළ නිර්මාණයක් පමණයි. නමුත් ගෙයක් කියන්නේ එයට වඩා ගැඹුරු අර්ථයක් ඇති ජීවියකුට සම කළ හැකි විශ්වයේ සම්බන්ධතාවය එකතු කිරීමට සමත් විශ්වයට අයිති වස්තුවකි. මේ ගෙය කියන ජීවියා විශ්වයේ ශක්තීන් නිවස තුළට ලබා ගනිමින්ද තැන්පත් කරමින්ද, බෙදාහරිමින්ද ක්‍රියාකරයි.

එසේ නම් මෙම විශ්වයට අයිති මේ නිවසේ කරන සෑම වෙනස්කමක්ම විශේෂයෙන්ම වහලය, අත්තිවාරම අපට හිතුසේ වෙනස් කළ නොහැක. (වහලය සම්බන්ධව කරන වෙනස් කිරීම්වල ප්‍රතිඵල ගැන මම මෙයට කලින් ලිපියක පෙන්වා දුන්නෙමි.) එසේ කිරීමට පුළුවන්කම පවතින්නේ විශ්ව නීතියට අනුකූලවයි. එනම් පංච භූත ධාතුන්ට ගැලපෙන ආකාරයටයි. එසේ නොකිරීමෙන් කලින් කොතරම් වාස්තු විiානුකූලව කටයුතු කර ගෘහ පින්ඩය ශුභාකාරයට ගලපා 11 පොරොන්දම් ගලපා ගෘහ හිමියාගේ, බිරිඳගේ, දරුවන්ගේ නැකැත්වලට සීහුම් කර තිබුණ ද අත්තිවාරම අඟලකින් හෝ දික්කිරීම, කොටකිරීම, පළල් කිරීමක් යන කුමන ආකාරයක වෙනස්කමක් කළ ද කලින් පැවති සියල්ල කනපිට පෙරලෙනු ඇත. මනුෂ්‍ය ශරීරයේ පුංචි ධමනියක ලේ කැටියක් අවහිර වුණොත් එක්කෝ මරණය හෝ ඇඳට වැටී සදාකාලික රෝගියකු බවට පත්වනවා සේම මුළු නිවසම අක්‍රිය වී නිවැසියන් ද අක්‍රියවීමට පුළුවන. එසේ නිවසේ වෙනස්කම් කළ හැකිය. කරනවා නම් වාස්තු ශිල්පියකුගේ උපදෙස් මතම කළ යුතුයි. වාස්තු ශිල්පියා ද දැන උගත් පළපුරුදු අයෙක් විය යුතුය. ගෙයක් තම අභිමතය පරිදි වෙනස් කිරීම් කිරීමෙන් ඇතිවෙන ප්‍රතිඵල

  1. බ්‍රහ්ම පාදය වෙනස්වේ

පැවති නිවසක කොටස් එකතු කිරීම නිසා අත්තිවාරමේ දැනට පවතින දිග, පළල, වෙනස්වේ. ඒ සමගින් බ්‍රහ්ම පාද ලක්‍ෂය කලින් පැවති ස්ථානයෙන් විතැන් වේ. සමහර විට මේ විතැන්වීම බිත්තියක් මතට බාල්කයක් යටලීයකට ඍජුව පිහිටීමක් ලෙසින්ද බිත්තියකින් පඩි පේලියකින් යටවීමක් ලෙසින්ද විය හැකිය. එහි ප්‍රතිඵලය නිවසේ හදිසි අනතුරු, හදිසි හෘද රෝගී තත්ත්වයන්, ධන හානි, ණය තුරුස්, ගෙවාගැනීමට නොහැකිවීම, ලීසිං එරියස්වීම, ධනය විනාශ වීම අමනුෂ්‍ය දෝෂ ඇතිවීම යන මේවා ඇතිවී නොයෙක් පීඩාවන්ට ලක්වීම

  1. ගෘහ පින්ඩය වෙනස්වීම

නිවසක දිග, පළල වෙනස් වූ විට එහි ක්‍ෂේත්‍ර ඵලය වෙනස්වේ. ඒ අනුව නිවසේ ගෘහ පින්ඩය වෙනස්වේ. ගෘහ පින්ඩය අශුභාකාරයට වැටුන හොත් නිවස වර්ගීකරණයේදී මනුෂ්‍ය වාසයට නොගැලපෙන නිවසක් වැරදි අය මාර්ගයක් ලැබීමට ඉඩ තිබේ. ඉන්පසු එම ගෘහ පින්ඩය තුළින් ගණනය කරන අය – වැය – යෝනි – නැකත අංශක – දින – තිථි – රාශි – වංශ – දේවතා – ආයුෂ යන එකොළොස් පොරොන්දම් නොගැලපෙනු ඇත.

උදා- කලින් පැවති අය – 12 වැය 4

ගෘහ පින්ඩය වෙනස් වූ පසු

අය – 7 වැය 8

කලින් නැකත – පරම මෛත්‍රි/සම්පත්

වෙනස් කළ පසු – විපත්/වධ/ජන්ම මේ අයුරින් ශුභව පැවති ගෘහ පින්ඩය අශුභව පිහිටීමෙන් එම නිවසේ වෙසීම පවා එපා වේ. ජීවිතය පවා අහිමිවීමට ඉඩ පවතී.

  1. ද්වාර සටහන වෙනස්වීම

නිවසක ද්වාර සටහන ශුභ ද්වාර සටහනක් වීමට නම් එය ධන ද (උතුර/නැගෙනහිර/දකුණ) හෝ සුමුඛ (නැගෙනහිර/දකුණ/බටහිර) හෝ විපුල වර්ගයට (උතුර/දකුණ/බටහිර) දිශාවන්ට පැවතිය යුතුය. ඒ තුළින් ධනය, නිරෝගිකම, සෞභාග්‍ය උදාවේ. මේ ආකාරයට තිබෙන නිවසක ද්වාරය අලුතින් කාමරයක් එකතු කිරීමෙන් එම පවතින ද්වාරය ද්වාර සටහනින් වෙනස් වීමට ඉඩ තිබේ.

උදා – විපුල වර්ගයට පැවති ද්වාර සටහන උතුරු ද්වාරය වසා කාමරයකට එක් කිරීමෙන් නිවසේ පැවති ද්වාර සටහන දකුණ – බටහිරට සීමා වේ. එවිට එය ‘මනෝරාම’ ගණයට අයිති ද්වාර සටහනකි. එවැනි ද්වාර සටහනක් යෙදුන විට ආර්ථික දුෂ්කරතා දරුඵල හීනවීම කෙරෙහි බලපානු ඇත.

  1. නිවස අඳුරුවීමට හැකිය.

නිවසේ කාමරයක්, කොටසක්, ගරාජයක් වැරන්ඩාවක් නිවසට හිතුමතයට එක් කිරීමට, ඇදගැනීමට යෑමෙන් එම පවතින නිවසේ දිශාවන්ගෙන් ලැබෙන ශුභ ශක්තීන්ට බාධා පැමිණීමට ඉඩ තිබේ. ඔබගේ නිවස නැගෙනහිර දිශාවෙන් නැගෙනහිර අඳුරු වෙන අයුරින් ගරාජයක්, වැරැන්ඩාවක් ගැනීම නිසා නැගෙනහිර දිශාව අඳුරු වී නිවසේ ඇතුළත ආලෝකය අහිමිවේ. එය අශුභය. මේ තුළින් නිවසට අශුභ ශක්තීන් වර්ධනය වේ. අපට නොමිලේ ලැබෙන හිරුගේ ආලෝකයෙන් නිවසේ දියුණුව ඇතිවේ. සෙනසුරු අපලයෙන් පීඩා විඳින අයට රවි හෙවත් සූර්යාගේ කිරණ විශාල ආශිර්වාදයකි. නිවස ඇතුළත ආලෝකය නොලැබී අඳුරුවීම අමනුෂ්‍ය දෝෂ ඇති කරයි. ධන හානි, ලෙඩ රෝග බහුලවේ.

  1. පාද සටහන වෙනස්වේ

නිවසක බිත්ති, බිත්ති සන්ධි උළුවහු තැබීම සඳහා නන්දා – ඡායා – පුර්ණා යන ශුභ පාද මත පිහිටවයි. නමුත් අත්තිවාරම දිගින් පළලින් වෙනස් වන ආකාරයට හිතුමතයට කොටස් එකතුකර ගැනීමට යෑමේදී නිවසේ දැනට ශුභ පාදවල පවතින බිත්ති සන්ධි උළුවහු මෙම සියල්ල වෙනස් වී අශුභ පාද වන භද්‍රා – රික්ටා යන පාදවලට හසුවීමට ඉඩ තිබේ. එමගින් ධනය, නිරෝගිකම, සතුට විනාශ වේ.

  1. මුල්ගල වෙනස් වේ

නිවසක හිතුමතයට අත්තිවාරමේ කොටස් වෙනස් කිරීමට යෑමේදී කලින් තිබූ මුල්ගල පැවති ස්ථානය පෑගීමට ලක්විය හැකිය. නැතිනම් නාන කාමරයක බිත්තියකට පැමිණීමට ඉඩ තිබේ. එසේ කුමන ආකාරයකින් හෝ මුල්ගල පෑගීමට ලක්වුවහොත් ගෘහ හිමියා මරණයට පත්වීම නිවස හැර යෑමට ලක්වීම සිදුවිය හැකිය. විශේෂයෙන්ම අත්තිවාරමක වෙනස් කිරීමකදී මුල්ගලට පීඩාවක් වන අයුරින් පිහිටීමක් පැමිණේ නම් ශුභ වේලාවක මුල්ගල ඉවත් කර ජලයේ ගිල්වා ශුභම හෝරාවක යළි මුල්ගලක් තැබිය යුතුය.

  1. නිවසේ වහලය වෙනස්වීම

නිවසේ කොටස් එකතු කිරීමේදී අනිවාර්යයෙන්ම වහලය ද වෙනස් කිරීමට සිදුවනු ඇත. මෙහි භයානක දෙය නම් ඉදිකළ කොටස යාකිරීමට පීල්ලක් වහලයට දැමුවහොත් හා එම පීල්ල නිවසේ මධ්‍යයෙන්, බ්‍රහ්ම පාදය මතින්, එල්ලවීම නිවසේ ධනය විනාශ වීමට, කරදර විපත් අනතුරුවලට හේතුවන බැවිනි. තවද යටලී, කුරුපා, යටලී මූට්ටු මරමස්ථානවලට හසුවිය හැක.

advertistmentadvertistment
advertistmentadvertistment