මතට ලොල් වී ගැහැනු බයිට් එකට ගන්න රටක්

2404

මද්‍යසාර, මත්ද්‍රව්‍ය භාවිතයත් සමග ගෘහස්ථ හිංසනය වැඩි වෙලා…

මෙරට මත්පැන් දුම්වැටි පරිභෝජනය සඳහා දිනක වියදම රුපියල් කෝටි 100 යි…

මද්‍යසාර, මත්ද්‍රව්‍ය නිසා රටේ සංවර්ධනයත් ඇණ හිටලා

ගංජා භාවිතය වේගයෙන් වැඩි වෙලා…

කාන්තාවන් මද්‍යසාර භාවිතයට හුරු කරවන්න අලුත් වැඩක්…

මතට ලොල් වී ගැහැනු බයිට් එකට ගන්න රටක්

මෙරට මත්පැන් දුම්වැටි පරිභෝජනය සඳහා දිනක වියදම රුපියල් කෝටි 100 කි. මද්‍යසාර සඳහා කෝටි 60 කි. දුම්වැටි සඳහා කෝටි 40 කි. ඒ පිළිබඳ තොරතුරු කනවැකෙන විට දෑස් විසල් විය. හීන් දහඬිය දාන තරමට ගත රත් විය. පවතින ආර්ථික අර්බුදයත් සමඟ මත්පැන් මිල විශාල වශයෙන් වැඩි වී රටේ සමස්ත ඇල්කොහොල් පරිභෝජනය අඩු වී තිබෙන පසුබිමක දිනක මත්පැන් පරිභෝජනය සඳහා මෙපමණ මුදලක් වියදම් වීම පුදුම දනවන සුළුය. එහෙත් මේ තොරතුරු වාර්තා වනුයේ කොළඹ, හම්බන්තොට, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්ක පහක වයස අවුරුදු 18 ට වැඩිහිටි පිරිමින් සහ කාන්තාවන් 997 දෙනකු සම්බන්ධ කරගනිමින් කරන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ශ්‍රී ලංකා ඇඩික්) ආයතයනය සහ වයිටල් ස්ට්‍රැටජික් විසින් මෙහෙයවනු ලබන මද්‍යසාර ආශ්‍රිත සෞඛ්‍ය හානි අවම කිරීම සඳහා නව ගෝලීය මුලපිරීමක් වන රීසෙට් ඇල්කොහොල්හි සහාය ඇතිව සිදු කරන ලද එම සමීක්‍ෂණයේදී රටේ සමස්ත ජනගහනයේ 79.9% ක් පසුගිය මාස 12 තුළ කිසිදු මද්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බවත් 29.1% ක් මද්‍යසාර භාවිත කර ඇති බව වාර්තා වේ. මද්‍යසාර පරිභෝජනය කරන කාණ්ඩයෙන් බහුතරය 43.3% පිරිමින් ය. කාන්තාවන් 2.8 කි. එමෙන්ම වාර්තා වන ආකාරයට මෙරට වයස අවුරුදු 18 ට වැඩි පිරිමි ජනගහනයෙන් 35% ක් මද්‍යසාර භාවිත කරති. වාර්ෂික ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය ලීටර් 4.3 කි. මද්‍යසාර භාවිත කරන පිරිසේ ඒක පුද්ගල මද්‍යසාර පරිභෝජනය වාර්ෂිකව ලීටර් 18.9 කි. භාවිත කරන මද්‍යසාර වර්ග අතුරින් බහුතරය පරිභෝජනය කරනුයේ අරක්කුය. දෙවෙනියට පරිභෝජනය වැඩි ම බියර් ය. කසිප්පු පරිභෝජනය 10% ත් පහළ මට්ටමක පැවැතීම විශේෂත්වයකි. එහෙත් අරක්කු මිල වැඩි වී ආදායම ලොස්ට් වන විට රට තුළ නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇති බව හුවා දක්වමින් මත්පැන් මිල අඩු කරගැනීමට තැබෑරුම්කාරයන් ප්‍රයත්න දරමින් සිටින බව පෙනේ. මත්පැන් පරිභෝජනය පහළ වැටීම නිසා රජයට ලැබෙන සුරාබදු ආදායම අඩුවීම බරපතළ තත්ත්වයක් ලෙස හුවා දක්වමින් මත්පැන් මිල පහළ දැමීමට රජයට යෝජනා ඉදිරිපත් කරන රාජ්‍ය නිලධාරීන් ද එමටය. මැති සබය දෙවනත් වෙන්න දොඩවන දේශපාලන කාන්තාවන් අරක්කු මිල අඩු කිරීමට විවිධ තර්ක ඉදිරිපත් කරති. එම තර්ක බිඳීමට ප්‍රති තර්ක ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් අපි පුදුම නොවෙමු. තැබෑරුම්කාරයන් බහුතරයක් නියෝජනය කරන එම මැති සබයේදී එවැනි ප්‍රති තර්ක බලාපොරොත්තු විය නොහැකි බව අප තේරුම් ගෙන සිටිමු.

මෙරට ආර්ථිකයට දේශීය ආදායම් ලැබෙන මූලාශ්‍ර අතර සුරාබදු සහ දුම්කොළ නිෂ්පාදන බදු ආදායම ඉහළ අගයක් ගන්නා බව සැබෑය. 2021 වර්ෂයේ සුරාබදු හා දුම්කොළ බදු ආදායම රුපියල් බිලියන එකසිය තිස් අටකට වැඩිය. එමෙන්ම 2022 වර්ෂයේ එම ආදායම තවදුරටත් වර්ධනය වී බිලියන එකසිය අසූවක ආදායමක් ලැබී ඇත. එහෙත් එම ඉලක්කම් දැක අපට සතුටු විය නොහැක. සුරාබදු හා දුම්කොළ බදුවලින් ලැබෙන ආදායමට වඩා විශාල වියදමක් මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතයෙන් රෝගීන් වන පුද්ගලයන් සුවපත් කිරීමට රජයට දැරීමට සිදුව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද අධ්‍යනයකින් හෙළිදරව් වී ඇති ආකාරයට 2015 වර්ෂයේ ලැබුණු සුරාබදු ආදායම රුපියල් මිලියන 105,234 කි. මද්‍යසාර භාවිතය නිසා එම වර්ෂයේදී රජයට සිදු වී ඇති ආර්ථික හානිය රුපියල් මිලියන 119,660 කි. එමෙන්ම ලෝකයේ සෙසු රටවල මද්‍යසාර භාවිතය සමඟ සසඳනවිට මෙරට මද්‍යසාර භාවිත කරන පුද්ගලයන් ශරීරගත කරගන්නා මද්‍යසාර ප්‍රමාණය ඉතා ඉහළය. ඉහළ මාත්‍රාවකින් මද්‍යසාර භාවිත කිරීමෙන් ශරීර සෞඛ්‍යයට සිදුවන හානිය ද වැඩිය.

මතට ලොල් වී ගැහැනු බයිට් එකට ගන්න රටක්

මද්‍යසාර භාවිතයට ඇබ්බැහිවීමත් සමඟ හටගන්නා හෘද රෝග, සිරෝසිස් සහ පිළිකා වැනි බෝ නොවන රෝග හේතුවෙන් මෙරට වසරකට 15000 ක් මිය යන බව වාර්තා වේ. එමෙන්ම මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 40 දෙනකු රටට අහිමි වේ. දුම්පානයට දැඩිව ඇබ්බැහි වී විවිධ රෝගාබාධවලට ගොදුරු වන පුද්ගලයන් 20000 ක් වසරකට මිය යන බවත් වාර්තා වේ. සෙසු මත්ද්‍රව්‍ය භාවිතය නිසා තවත් පුද්ගලයන් 2000 ක් පමණ වසරකට අහිමි වේ. එසේ මිය යන සංඛ්‍යාවෙන් අති බහුතරය පිරිමි පුද්ගලයන්ය. කුටුම්භයක කසේරුකාව බිඳී කුඩු වී ගිය පසු වසරකට නන්නත්තාර වන පවුල් සංඛ්‍යාව ද තිස්දහසකට වැඩිය. දරු දැරියන් විශාල පිරිසකට පියවරු අහිමි වේ. එය, මහා සමාජ ඛේදවාචකයකි. එමෙන්ම මද්‍යසාර, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිත කරන බහුතරය අඩු ආදායම්ලාභී කාණ්ඩයට අයත් වන බැවින් වෙහෙස මහන්සි වී උපයාගත් මුදලින් වැඩි කොටසක් මත්වීමට වියදම් කිරීම ගෘහස්ථ ප්‍රශ්න පත්තරය තවත් පුළුල් කිරීමක් බව ද පැහැදිලිය. මේ වන විට රට තුළ ගෘහස්ථ හිංසනය ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ. මත්පැන් පරිභෝජනයත් සමග ගෘහස්ථ හිංසනය ඉහළ යෑම ගැන කරුණු පැහැදිලි කරගැනීමට මහාචාර්ය චන්ද්‍රදාස පෙරේරා මහතාව දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළගැසෙනුයේ අපගේ පැනයට ඔහු ලබා දුන් පිළිතුරය.

“ගෘහස්ථ හිංසනයයි, මද්‍යසාර භාවිතයයි අතර සෘජු සම්බන්ධතාවක් තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ගෘහස්ථ හිංසනය වැඩි වෙලා තියෙන්නෙ මද්‍යසාර භාවිතයත් සමඟ. ස්වාමිපුරුෂයාගේ බීමත්කම නිසා බිරින්දෑවරු, දරුවන් නිරන්තරයෙන් හිංසනයට ලක් වෙනවා. මෑත කාලයේදී ගෘහස්ථ හිංසනය වැඩිවීමට පවතින ආර්ථික පීඩනය විශාල වශයෙන් හේතු වී තිබෙනවා. මේ ගැටලුව නිසා පවුල් ජීවිත විශාල සංඛ්‍යාවක් කඩාකප්පල් වෙලා තිබෙනවා. දිවි නසාගැනීම් වැඩි වෙලා තියෙනවා…”

මද්‍යසාර භාවිතයත් සමඟ ගෘහස්ථ හිංසනය වැඩි වෙන්නෙ කොහොමද?

“මද්‍යසාර භාවිතයත් එක්ක මිනිසුන්ගේ ලැජ්ජාව, බය නැති වෙලා යනවා. කෙනෙකුට ගහන්න, බණින්න බිය, ලැජ්ජාසහගත පුද්ගලයා මද්‍යසාර ගත්තට පස්සෙ සදාචාරසම්පන්න ජීවිතය අහිමි වෙලා තිරිසන් ගතිපැවතුම් ඇඟට එනවා…” මහාචාර්යවරයාගේ පැහැදිලි කිරීම කෙටිය.

මද්‍යසාර භාවිතයත් සමඟ පෞරුෂ වර්ධනයක් සිදු වනවා කියන මතය මිථ්‍යාවකි. මද්‍යසාර රසායනය මිනිස් ශරීරය අවපීඩනයට ලක් කරන බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ. මද්‍යසාර භාවිතයෙන් සත්‍ය වශයෙන්ම සතුටක් නොලැබෙන බවත්, සතුට සීමා වන බව හොඳින් විමසා බැලීමේදී පැහැදිලි වනු ඇත. මද්‍යසාර භාවිත කරන්නාගේ පමණක් නොව පවුලේ සතුට සහ යහපැවැත්ම ද මද්‍යසාර භාවිතයෙන් විනාශ කර දමන බව සැබෑය. විශේෂයෙන්ම මෙරට දුප්පත් පවුල්වල ආදායමෙන් තුනෙන් එකක් අරක්කු, බියර්, කසිප්පු සහ මත්ද්‍රව්‍යයට වියදම් කරයි. මෙරට ජන ඝනත්වයට අනුව වැඩිම සුරාසල් ප්‍රමාණයක් පිහිටා ඇත්තේ ආර්ථිකව දුප්පත් ජනතාව ජීවත්වන ප්‍රදේශවලය. එමෙන්ම රට පුරා, ගම් ගොඩේ හොර අරක්කු ජාවාරම සිදුවන බව සැබෑය. ඇතැම් කසිප්පු ජාවාරම්කාරයන් පෙරන අරක්කු ගෙඩි පිටින් බාර්වලට යන බව ද වාර්තා වේ. බාර් තුල සීල් අරක්කු සහ කසිප්පු කළවම් කර අමුතු අරක්කු එකක් හදන බව ද සැබෑය. ප්‍රමිතියක් නැති ‘කොක්ටේල් අරක්කු’ බොන බේබද්දන් මෝළේ විකාරෙන් නිවසට පැමිණ බිරිඳට, දරුවන්ට, අසල්වාසීන්ට කරදරයක් වන ආකාරයට හැසිරීම අරුමයක් නොවේ. එහෙත් අදාළ ආයතනවල ඉහළ නිලධාරීන් හොර අරක්කු ජාවාරම නතර කිරීමට කටයුතු කරනවා වෙනුවට මද්‍යසාර මිල ඉහළ යෑමත් සමඟ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩි වී ඇති බව හුවා දැක්වීමට වළි කන බව පෙනේ. මෙරට නීති විරෝධී මද්‍යසාර භාවිතය ඉහළ යෑම හේතුවෙන් සෞඛ්‍ය වියදම ඉහළ ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ අධ්‍යයනයකින් සනාථ වී ඇති බව ද වාර්තා වේ. එහෙත් අපට ලැබෙන තොරතුරුවලට අනුව මද්‍යසාර භාවිතය නිසා රෝහල්ගත වන පුද්ගලයන් නීත්‍යනුකූල මද්‍යසාර භාවිත කර රෝගී වූ පුද්ගලයන් සහ නීති විරෝධී මද්‍යසාර භාවිත කර රෝගී වූ පුද්ගලයන් ලෙස වෙන් කර හඳුනාගැනීමක් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ තවම නොකෙරේ. නීති විරෝධී මද්‍යසාර පාලනය කළ හැක්කේ පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ශක්තිමත් කර වැටලීම් කර දැඩි දඬවුම් නියම කිරීම තුළ පමණි. 1995 වර්ෂයේදී ද නීති විරෝධී මද්‍යසාර භාවිතය අඩු කිරීමට බියර් සඳහා පනවා තිබූ බදු විශාල ලෙස අඩු කළ අතර ඒ තුළින් සිදු වූයේ බියර් භාවිතය ඉහළ යෑම පමණි. මෙරට සමාජයේ පවතින විෂමතාව තුළ නීත්‍යනුකූල මද්‍යසාර මිල වැඩි වූ පමණින් මිනිස්සු කසිප්පු, හැළි අරක්කු, සයිඩර් (වෙල් පැන්ටා) පානයට යොමු නොවන බව බුද්ධියක් සහිත නිලධාරීන්ට වැටහෙනු ඇත.

එමෙන්ම මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි ව්‍යාප්තිය වැඩිවීම මෙරට සංවර්ධනයට ද දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බව සැබෑය. එහෙයින් මද්‍යසාර පාලනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම රටකට සෑම විටම වාසිදායක වන අතර, එරට මද්‍යසාර කර්මාන්තයට අවාසිදායකය. එහෙයින් මද්‍යසාර ආයතන, දුම්වැටි නිෂ්පාදන ආයතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් අහිමි වන පාරිභෝගිකයන්ට සරිලන අලුත් පරිභෝගිකයන් එකතු කරගැනීමට විවිධ උපක්‍රම භාවිත කරන බව සැබෑය. විශේෂයෙන්ම මේ දිනවල මද්‍යසාර, මත්ද්‍රව්‍ය භාවිතය සඳහා කාන්තාවන් නැඹුරු කරගැනීමට විවිධ ක්‍රම උපායන් භාවිත කරන බව පෙනේ. සමාජ මාධ්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍ය හරහා මද්‍යසාර, මත්ද්‍රව්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ඉදිරිපත් කරති. රට තුළ දුම්වැටි පරිභෝජනය අඩු වන විට ගංජා වගාව නීතිගත කරවමින් ගංජා ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙමින් ඒ තුළින් පාඩුව අවම කරගැනීමට දුම්වැටි නිෂ්පාදකයන් කටයුතු කරමින් සිටින බව ද මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම්, මිතුරු මිතුරෝ සංසදයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවෝ අප සමඟ පැවසූහ.

“දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට ගංජා ඕන කියලා පාර්ලිමේන්තුවේදී දේශපාලන කාන්තාවක් තර්ක ඉදිරිපත් කළා. විද්වතුන් මාර්ගයෙන් විවිධ මත ඉදිරිපත් වුණා. සමාජය තුළත් ගංජා ප්‍රවර්ධන මත ඉදිරිපත් වෙනවා. ඒ හැම මතයක්ම ඉදිරිපත් වෙන්නෙ මෑතක ඉඳලා. ඒත් කාලයක ඉඳල දේශීය වෛද්‍ය ප්‍රතිකාර කෙරුණා. ඒ ප්‍රතිකාරවලට ගංජා භාවිත කළා. ගංජා බීපු මිනිස්සු වගේ හිටි හැටියේ ඉදිරිපත් කරන මේ කතා ගොතන්නෙ කවුද කියලා අපි නම් දන්නවා. ඒ වගේම මේ වෙනකොට ගංජා වගා කිරීම පාඩුයි කියලා ලෝකයේ බොහෝ රටවල තහනම් කරගෙන යනවා. එවැනි පසුබිමක අපනයන බෝගයක් විදිහට අපේ රටේ ගංජා වගා කරන්න යනවා. මොන විහිළු වැඩද? මැදපෙරදිග රටවලට ඉල්ලුමට සරිලන ආකාරයට ඇඹුල් කෙසෙල් දී ගන්න බැරි වෙලා තියෙනවා. බිංකොහොඹවලට ලෝක වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා. ගංජා වගා කරන පොළොවේ කෙසෙල් හෝ බිං කොහොඹ වගේ වටිනා බෝග වගා කරලා අපනයනය කළා නම් රටට මොනතරම් වටිනාකමක් තියෙනවද? මේ ගංජා ප්‍රවර්ධන වැඩසටහන්වලින් පෙන්නුම් කරන්නෙ අපනයනයට ගංජා වගා කිරීම නෙමෙයි, ගංජා මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් කරගෙන ජාවාරම්කාරයන් සහ බහුජාතික සමාගම් පෝෂණයවීම. ඒ වගේම මෙරට සංචාරක කර්මාන්තය දියුණු කරන්න මද්‍යසාර මිල අඩු කළ යුතු යැයි මත ඉදිරිපත් කරනවා. අපේ රටේ අරක්කු බොන්න විදේශිකයො මෙරටට එන්නෙ නෑ. ඒ රටවල ඇති වෙන්න අරක්කු තියෙනවා. මේවා විහිළු කතා…” කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවන්ගේ කතාව අවසානය.

මතට ලොල් වී ගැහැනු බයිට් එකට ගන්න රටක්

මාලදිවයින රාජ්‍ය සංචාරක කර්මාන්තය අතිශය දියුණු රටකි. එහෙත් මාලදිවයින තුළ මද්‍යසාර, මත්ද්‍රව්‍ය පාලනය ඉහළ මට්ටමක පවතින බව සැබෑය. මාලදිවයිනට පැමිණෙන සංචාරකයන්ට විදේශීය මද්‍යසාර රැගෙන ඒම සපුරා තහනම්ය. මද්‍යසාර භාවිත කිරීමට අවශ්‍ය විදේශීය සංචාරකයන්ට, ස්වදේශිකයන්ට මතින් සප්පායම් වීමට වෙනම දූපත් තිබේ. එමෙන්ම එරට මද්‍යසාර මිල ද අතිශය ඉහළය. රටින් පිටත් වන විදේශීය සංචාරකයන් එරට නිෂ්පාදන මද්‍යසාර රැගෙන යෑමට බාධාවක් නැත. එවැනි ප්‍රතිපත්ති නිසා මාලදිවයින රාජ්‍ය තුළ මද්‍යසාර භාවිතයේ මනා පාලනයක් තිබෙන අතර, මද්‍යසාර අලෙවියෙන් ඉහළ ආදායමක් උපයා ගන්නා බව ද වාර්තා වේ. හොර අරක්කු නිෂ්පාදනය කොට නීතියේ රැහැනට කොටුවන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදීමත් සමඟ මාලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ද ඉතා අවම මට්ටමක පවතින බව වාර්තා වේ.

මද්‍යසාර, දුම්වැටි විකිණෙන මිලෙන් 75%ක් පමණ බදු අය කිරීමේ ලෝක සම්මතයක් පවතිනුයේ එම භාණ්ඩ පරිභෝජනය අවම කිරීමටය. එහෙත් මද්‍යසාර සහ දුම්වැටි අලෙවියෙන් මෙරට ආර්ථිකයට ලැබෙන බදු ආදායම 18% කි. ඒ ලැබෙන බදු ආදායමට වඩා විශාල ගුණයකින් මද්‍යසාර සහ දුම්වැටි භාවිතයෙන් සිදුවන හානිය පූර්ණ කිරීමට රජයට දැරීමට සිදුව ඇත. එමෙන්ම මෙරට ජීවන වියදම වැඩිවීමට සාපේක්‍ෂව මද්‍යසාර, දුම්වැටි මිල වැඩි වී නොමැත. එවැනි මිල වැඩිවීමක් සිදු වෙන්න අඩුම අරක්කු බෝතලයක් රුපියල් 4500 ක් හෝ මිල විය යුතුය. එහෙත් මද්‍යසාර පරිභෝජනයේ පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කෙරේ. එහෙයින් කඩා වැටී තිබෙන මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ යථාවත් කිරීමට මද්‍යසාර සමාගම්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්, තැබෑරුම්කාර දේශපාලුවන් තුප්පහි නිලධාරීන් බහුභූත දොඩමින් විවිධ නාඩගම් නටන බව සැබෑය. එහෙත් පෙනෙන වාසියට වඩා නොපෙනෙන අවාසිය ඉතා ප්‍රබල බව තේරුම්ගෙන අදාළ බලධාරීන් පෙළගැසෙන ගැටලුව සම්බන්ධයෙන් බුද්ධියෙන් කටයුතු කරන බව අපගේ විශ්වාසයයි.

එමෙන්ම මෙරට මද්‍යසාර සහ දුම්වැටි නිෂ්පාදන ආයතන අතුරින් කිහිපයක් බහුජාතික සමාගම්ය. එහෙයින් රටේ මිනිසුන් මත්වීමට දිනකට වියදම් කරන රුපියල් කෝටි 100 න් වැඩි මුදලක් බැර වනුයේ පිටරට බැංකුවලය. ඩොලර් අහේනියක්, ජීවන වියදම අහස උසට නඟ ඇති මෙවැනි කාලයක තවදුරටත් මත් වතුරට, දුම්වැටියට මුදල් දිය කර රටට සාපයක් වෙනවා ද යන්න ඔබ තීරණය කළ යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment