හොර පාරෙන් ලංකාවට රත්තරං ගෙන්වන්නේ මෙහෙමයි… බර කිලෝ 16යි වටිනාකම රුපියල් කෝටි 22යි…

927

ඩුබායි සිට මෙරටට ගෙන්වයි.. වාහන අමතර කොටස් අතරින් රන් තොගය මතුවෙයි…

හොරකම්, ජාවාරම් ඇතුළු තවත් නීති විරෝධී කටයුතුවල නිරතවන්නන් තම ජාවාරම් මෙහෙයවනු ලබන්නේ විවිධ මුහුණුවර යටතේය. විවිධ උපාය උපක‍්‍රම අනුගමනය කරමින්ය. එම කූඨ උපක‍්‍රම අනුගමනය කරනු ලබන්නේ නීතියේ රැහැනට හසු නොවීම පිණිසත් පිටස්තර සමාජයෙන් වසන්වී එම ජාවාරම් ආදියෙහි දීර්ඝකාලීනව නිරත වීම පිණිසත්ය. ඒ සඳහා දිය හැකි උදාහරණ ඕනෑ තරම්ය. ධන උල්පත් මවන එවැනි නීති විරෝධී ක‍්‍රියාවන් අතරින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ රන් ජාවාරමට හිමි වන්නේ ඉහළ ස්ථානයක්ය. කලක පටන් මෙරට කේන්ද්‍රකොට ගෙන නීති විරෝධී ආකාරයෙන් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම ඉන් එකක්ය. ඇතැම් පිරිස් එම ජාවාරම සිදු කරනු ලබන්නේ ධීවර කර්මාන්තයට මුවාවෙමින්ය. පසුගිය දිනවල මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත‍්‍රා රැසක් එකක් පසුපස එකක් මෙරටට යාත‍්‍රා කරමින් තිබියදී නාවික හමුදාව විසින් සිදුකරන ලද මෙහෙයුම් හේතුවෙන් නීතියේ රැහැනට කොටු වන්නේ මහ මුහුද මැදදීය. ඒ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම තදින් ක‍්‍රියාත්මකව පවතින වටපිටාවක ඊට නොදෙවෙනි වේගෙකින් රන් ජාවාරම ද රට තුළ ක‍්‍රියාත්මකය. කලක් තිස්සේ කටුනායක ගුවන්තොටුපළ හරහා මෙරටට නීති විරෝධී ආකාරයෙන් ‘‘රන් බිස්කට්”කැරට් 24 රනින් නිම කරන ලද ස්වර්ණාභරණ රැගෙන එන ජාත්‍යන්තර ජාවාරමක් ක‍්‍රියාත්මක විය. වෙනත් රටවල සිට මෙහෙයවනු ලබන එම ජාවාරම පිණිස ගුවන්තොටුපොළ සේවකයන්ගේ සහාය ද හිමි වූ අවස්ථා පිළිබඳවද වාර්තා විය. දිගින් දිගටම සිදු කළ රේගු පරික්ෂා කිරීම් සහ මේ දිනවල පවතින සීමිත ගුවන් ගමන් හේතුවෙන් ගුවන් තොටුපොළ හරහා සිදුකළ එම ජාවාරම තාවකාලික මට්ටමින් අකර්මණ්‍ය තත්ත්වයකට පත්ව ඇත.

එවැනි තත්ත්වයක් තුළ ජාවාරම්කරුවන් විසින් සිය ‘‘මාදිලිය” වෙනස් කරමින් තවදුරටත් නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වීමට තැත්කළ රන් තොගයක් ඉකුත් 27 දා ශ‍්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත්හ. එහිදී සැකකරුවන් දෙදෙනකු ද රේගු අත්අඩංගුවට පත්වී ඇත. ව්‍යාජ ව්‍යාපාර නාම භාවිතා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සිට එම රන් තොගය මෙරටට ගෙන්වා ඇත. මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීම්වලට අමතරව මෙරටට ආනයනය කරනු ලබන සැකකටයුතු භාණ්ඩ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කරන ලද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් රන් තොගයේ වෙළඳ වටිනාකම රුපියල් කෝටි 22ක් ය. කිලෝ ග‍්‍රෑම් 16ක පමණ බරකින් යුත් මෙම රන් තොගය මෙරටට ගෙන්වීමේ දී ජාවාරම්කරුවන් විසින් වෙනස්ම මාදිලියේ උපක‍්‍රමයක් භාවිතා කොට ඇත. සැකකටයුතු ආකාරයෙන් මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ‘‘රේගු ඇස” යකඩ අතරින් මතුවන මෙම රන් තොගය සොයා ගෙන තිබෙන අතර වාර්තාවන ආකාරයට එම සිදුව පෙළගැසෙන්නේ පහත සඳහන් ආකාරයටය.

ඉකුත් 27 දා එක්තරා පුද්ගලයෙක් කොළඹ පිහිටි ගුවන් සහ මුහුදු මාර්ග ඔස්සේ බඩු ප‍්‍රවාහන පහසුකම් සපයන ආයතනයක් වෙත පැමිණ තමන්ට අයත් භාණ්ඩ තොගයක් රේගුවෙන් මුදා ගනු පිණිස අවශ්‍ය ලියකියවිලි කීපයක් රේගුව වෙත ඉදිරිපත් කොට ඇත. ඉන් අනතුරුව එළඹෙන්නේ එහි සඳහන් භාණ්ඩ රේගුව විසින් පරීක්ෂාකර බැලීමය. එම පරික්ෂා කිරීම්වලින් වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ ලිපිලේඛන ආදියෙහි සඳහන් භාණ්ඩ සහ ගෙන්වන ලද භාණ්ඩ අතර අසමානකම් දකින්නට නොමැති බවය. එම පාර්සල් අතර තිබී ඇත්තේ මෝටර් රථ අමතර කොටස් සහිත පාර්සල් කිහිපයක් සහ කෝපි සකසන යන්ත‍්‍ර කීපයක් පමණය.

මේ අතර රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරින් කිහිපදෙනෙකුගේ ඇස් මෙම භාණ්ඩ මුදාගැනීම පිණිස පැමිණි පුද්ගලයා දෙස හොර රහසේ යොමුවී ඇත. එම පුද්ගලයාගේ හැසිරීම් රටාව සහ ඉරියව් සියුම්ව නිරීක්ෂණය කරන රේගු නිලධාරීන් ඒ ඔස්සේ එම පුද්ගලයා පිළිබඳව යම් සැකයක් ඇතිකර ගන්නා අතර ඊට හේතුව බවට පත් වන්නේ නීති විරෝධී ආකාරයෙන් මෙරටට ආනයනය කරනු ලබන සැකකටයුතු භාණ්ඩ සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව යම් යම් හෝඩුවාවන් රේගුව වෙත වාර්තා වී තිබීමය. වාහන අමතර කොටස් යැයි සඳහන් පාර්සල් කීපය සහ කෝපි සකසන යන්ත‍්‍ර කීපය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය නිලධාරීන්ගේ වැඩිදුර නිරීක්ෂණයට ලක් වන්නේ ඉන් අනතුරුවය. එහිදී මෝටර් රථ අමතර කොටස් අතර ඒ ආකාරයටම රනින් සකසන ලද කොටස් ගණනාවක් සහ කෝපි සකසන යන්ත‍්‍ර අභ්‍යන්තර කොටස් ලෙස සකසන ලද තවත් රන් තොගයක් ද රේගුව විසින් සොයාගෙන ඇත. ඉතාමත් සූක්ෂ්ම ලෙස රේගුව පවා නොමඟ යවන ආකාරයෙන් මෙම රන් තොගය මෙරටට ගෙන්වා තිබෙන අතර රේගු අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ රන් ජාවාරම්කරුවන් තම ජාවාරම් කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යෑම පිණිස මෙවැනි ‘‘මාදිලියක්” අනුගමනය කරන්නට ඇති බවය. බහුල ලෙස මෝටර් රථ අමතර කොටස් මෙරටට ගෙන්වීම සිදුකරන බැවින් ඒ අතර සඟවමින් ද වෙනත් වෙනත් තාක්ෂණික උපකරණ අභ්‍යන්තර කොටස් ලෙස රනින් නිමවන ලද කොටස් එම තාක්ෂණික උපකරණය ආදියට නැවත සවිකොට රේගු සැකයට භාජනය නොවන ආකාරයෙන් මෙරටට ගෙන්වන්නට ජාවාරම්කරුවන් විසින් කටයුතු කර ඇති බවය.

කෙසේ වෙතත් මේ දිනවල මෙරට රන් මිල ඉස්තරම් ලෙස ඉහළ ගොස් ඇත. ඒ අනුව රන් පවුමක වෙළඳපොළ වටිනාකම රුපියල් එක්ලක්ෂ විසිදහස ඉක්මවා ගොස් ඇත. පවුමක බරින් යුත් රන් ආභරණයක් මිලදී ගන්නේ නම් රන් පවුමක වෙළෙඳපොළ වටිනාකමට අමතරව සෑදුම් කුලිය ඇතුළු තවත් අයකිරීම් ඇතුළත්ව පවුමක බරින් යුත් ස්වර්ණාභරණයක් මිලදී ගැනීම පිණිස රුපියල් එක්ලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් ගෙවිය යුතුය.

මෙරට රන් වෙළෙඳපොළ එලෙස ක‍්‍රියාත්මක වන අතර ජාත්‍යන්තර රන් ජාවාරම පිණිස ද මෙරට ප‍්‍රචලිතය. නීති විරෝධී ආකාරයට ජාවාරම්කරුවන් විසින් මැදපෙරදිග සිට මෙරටට ගෙන්වන රන් තොග නැවත ගෙන්වන ලද ආකාරයෙන්ම හෝ සුළු වෙනස්කම් සිදුකර වෙනස් හැඩයන් යටතේ ඉන්දියාවට යැවීම සිදු කරන අතර එහිදී ශ‍්‍රී ලංකාව යනු හුවමාරු මධ්‍යස්ථානයක් පමණය. රටවල් කීපයක සිට ක‍්‍රියාත්මක වන මෙම මහා පරිමාණ ජාවාරම පිණිස දේශීය එජන්තයන් පිරිසක් ද සම්බන්ධය. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ ජාවාරම්කරුවන් විසින් ලබාදෙන රන් තොග නිරුපද්‍රිතව ඉන්දියාව වෙත රැගෙන ගොස් එරට නියෝජිතයන් අතට පත් කිරීම පමණය. ගුවන් මගින් සිදුවන මෙම ජාවාරම පිණිස අවශ්‍ය කරන ගුවන් ගමන් බලපත‍්‍ර මිලදී ගනු ලබන්නේ ජාවාරම්කරුවන් විසින්ය. ගුවන් ගමන් බලපත‍්‍රය සහ අදාළ රන් තොගය ඒජන්තයන් අතට පත්කරන ජාවාරම්කරුවන් ඒ සඳහා අමතර මුදලක් ද ඒජන්තයන් වෙත පිරිනමනු ඇත. කලක පටන් මෙම මහා පරිමාණ ජාත්‍යන්තර රන් ජාවාරම මෙරට තුළ ක‍්‍රියාත්මකය. මෙවැනි නීති විරෝධී ක‍්‍රියා නතර කිරීම පිණිස අදාළ අංශ විසින් නිරන්තර වෙහෙසක් දරන අතර ජාවාරම්කරුවන් තම ජාවාරම සිදුකර ගෙන යනු ලබන්නේ එලෙස නීතිය තදින් ක‍්‍රියාත්මක වටපිටාවක වීම මෙම ජාවාරම් සම්බන්ධයෙන් තවමත් හෙළි නොවූ රහසක් ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment